වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
සියලු ජය අත්කර දෙන මහානුභාවසම්පන්න බුද්ධ මන්ත්‍රය
බුදුරජාණන් වහන්සේ ඇසතු බෝධි වෘක්ෂ මූලයේ දී දසමාර සේනාව පරාජය කළ අවස්ථාව ඇසුරු කරගනිමින් නිර්මිත සත්‍යක්‍රියා ගාථාව වර්තමානයේ බෞද්ධයන්ට පමණක් නොව අන් ආගම් අදහන භක්තිකයන්ට පවා ආශිර්වාදයක් වී ඇත. එය නම්, “බුද්ධ මන්ත්‍රය” නැමැති ගාථාවයි. එදිනෙදා ජීවිතයේ දී අප අභියෝගවලට මුහුණ දෙන විටදී ඒවාට ශක්තිමත්ව මුහුණ දී ජය ලබා ගැනීමට මානසික ඒකාග්‍රතාවය ඉතාමත් වටිනා සාධකයකි. ඒ සඳහා වර්තමානය වන විට විශ්ව ආකර්ෂණ නීතිය, මනෝ උපදේශනය වැනි විවිධ ක්‍රම භාවිතයට ගැනීම දක්නට ලැබේ. එහෙත්, මේ සඳහා බුදු රජාණන්වහන්සේගේ මාර පරාජය අවස්ථාව පදනම් කරගෙන නිර්මාණය වූ අන් ආගමිකයන් පවා භාවිත කරන ඒ ආශිර්වාද ගුණයෙන් පරිපූර්ණ ගාථාරත්නය වන්නේ,
“ ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහී
උග්ඝෝසයුං දේව ගණා පසන්නා
ඒතේන සච්චේන ජයස්සු තුහියං (මයිහං)”
මේ ගාථාවේ “ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ” යන්නෙන් බුදුරජාණන් වහන්සේ ඇසුතූ බෝධි මූලයේදී මාර පරාජය සිදු කළ බව ප්‍රකාශ වේ. එහිදී මාර පරාජය යන්නෙන් අදහස් කරන්නේ, දසමාර සේනාව පරාජය කිරීමයි. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන කාලය තුළ දරුවන්ට ඇතිවන විවිධ බලවේග මේ දසමාරයෝ අතර වේ. එනම්, කාමය, ආශාව, තෘෂ්ණාව, කම්මැළිකම, බය සහ සැකය වැනි දේවල් ඒ අතර ප්‍රධාන වෙයි.බුදුරජාණන් වහන්සේ දසමාර සේනාව පරාජය කොට උතුම් බුද්ධත්වයට පාත්‍ර වූයේ ඇසතු බෝධි වෘක්ෂය මුලදී බවත්, “උග්ඝෝසයුං දේව ගණා පසන්නා” එය දුටු දෙවිවරු ශබ්ද පූජා හා සාධු නාද පැවැත්වූ බව ප්‍රකාශ කෙරේ. “ඒතේන සච්චේන ජයස්සු තුහියං” එම සත්‍ය ක්‍රියාවේ ආනුභාව බලයෙන් සැමට ජයක් වේවා, සෙතක් වේවා යැයි මේ ගාථාවෙන් ආශිර්වාද කෙරේ.
කෙනෙකුට මේ ගාථාරත්නයෙන් තමන්ට ආශිර්වාද ලබාගත හැකි මෙන් ම අන් අයටද ආශිර්වාද කළ හැකි ය. එදිනෙදා ජීවිතයේදී, විවිධ තරග විභාගවලට මුහුණදීමේ දී, සම්මුඛ පරීක්ෂණවලට ඉදිරිපත්වීමේ දී, නව රැකියා අවස්ථාවන්ට සම්බන්ධවීමේ දී හා විදේශගතවීමේදී එම කාලය පුරා ආරක්ෂා වී, ජය ලබා ගැනීමට මෙන්ම සෙත් ලබාගැනීමට මේ ගාථාව සජ්ඣායනා කිරීමෙන් හැකි වේ. “බුද්ධ මන්ත්‍රය” ලෙසින් හඳුන්වන මේ ගාථාවෙන් තමන්ට ආශිර්වාද ලබාගැනීමට නම්, ගාථාවෙහි අග පේළිය “ඒතේන සච්චේන ජයස්සු මහියං” යනුවෙන් පැවසිය යුතු ය. වෙනත් අයෙකුට සෙතක් බලාපොරොත්තු වන්නේ නම්, “ඒතේන සච්චේන ජයස්සු තුහියං” ලෙස ප්‍රකාශ කළ යුතු ය. අන්‍ය ආගමිකයන් පවා මේ ගාථාව භාවිත කරනු ලබන්නේ, මෙහි විශාල විශ්ව ශක්තියක් ගැබ්ව පවතින නිසාවෙනි.
ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ වැනි විභාගවලදීත්, විවිධ සුබ කටයුතුවලදීත්, බෞද්ධ ආගමට අනුව පිරිත් නූලක් බැඳීම තුළින් එම ක්‍රියාවට ආශිර්වාදයක් ලබා ගනියි. එම පිරිත් නූල බැඳ ආශිර්වාද කිරීම සඳහාද සංඝයා වහන්සේ බොහෝ විට, මේ ගාථාව භාවිත කරති. දසමාර සේනාව පරාජය කළ තැනදී අපට පරාජයක් සිදුවිය නොහැකිය. එම සත්‍යයේ බලයෙන් ආශිර්වාද පැතීමක් මේ ගාථාවෙන් සිදුවේ.
හිස තෙල් ගෑමේ චාරිත්‍රයට අවුරුදු චාරිත්‍රවලදී සුවිශේෂ ස්ථානයක් හිමිවෙයි. එහිදී බොහෝ අවස්ථාවල ස්වාමීන්වහන්සේ සජ්ඣායනා කරනු ලබන්නේ, මේ “බුද්ධ මන්ත්‍රයයි”. අපගේ හිසේ සිට දෙපතුළ දක්වාම තිබෙන්නා වූ දිවි දෝෂ, වින දෝෂ වැනි දෝෂ දුරුකරගැනීම සඳහා ද මේ ගාථාවේ සත්‍ය ක්‍රියා බලයෙන් ආශිර්වාද ලබා ගැනීම සිදුවේ. මේ “බුද්ධ මන්ත්‍රය” තුළ ඇසට නොපෙනෙන, කනට නොඇසෙන අති විශාල විශ්ව බලයක්, ශක්තියක් තිබෙන බව බුදු දහමේ මෙන් ම ඇතැම් අන්‍ය ආගම්වලද විශ්වාසයයි.
ගාථාවක් සජ්ඣායනා කරන වාර ගණන අනුව එහි බලයේ වැඩිවීමක් පවතියි. මේ “බුද්ධ මන්ත්‍රය” එක් වරක් සජ්ඣායනා කළත් ආශිර්වාද ලැබීමක් සිද්ධවෙයි. එහෙත්, මෙය තුන් වරක් පැවසුවහොත් ඊටත් වඩා වැඩි බලයක්ද, විශ්ව ශක්තියක් ද නිර්මාණය වෙයි. සමහර අවස්ථාවලදී, අටවරක්, විසි එක් වරක් හා එකසීය අට වරක් ලෙසින් සජ්ඣායනා කරන අතර මේ ගාථාව තුළින් සෙතක් හා නියත ජයක් ලබා ගත හැකි බව විශ්වාස කෙරේ.
මේ ආශ්චර්යවත් ගාථාරත්නය බුද්ධ දේශිතයක් නොවේ. සංඝයා වහන්සේ විසින් පසු කාලීනව ඡන්දස්, විරිත්, පද, අකුරු හා ශ්‍රැතිය ඉතාමත් සුදුසු හා නිවැරදිව යොදා ගනිමින් සැකසූ ගාථාවකි. මේ ගාථාව තුළ දක්නට ලැබෙන තවත් විශේෂත්වයක් නම්, නිවැරැදි ගණ පිහිටුවීමයි. මේ තුළින් ද මේ ගාථාව වෙත බලයක් එක්කොට තිබෙන බව විශ්වාස කෙරේ. මෙහි තිබෙන එක් අක්‍ෂරයක්වත් සංස්කරණය කළ නොහැකි ය. සුදුසු පද යොදා උචිතම ආකාරයෙන් ගාථාව නිර්මාණය කර ඇත. මෙහි සුවිශේෂී ගණ භේදයේ බලයත් අප හට ආශිර්වාදයක් වේ. ඒ අනුව, මේ මහානුභාවසම්පන්න ගාථාරත්නයෙහි සෙත ලබා දිවි සරු කරගනිමු.
උපදෙස්
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු සහකාර කථිකාචාර්ය,ගාල්ල අක්මීමන මහා විද්‍යාලයේ ධර්මාචාර්ය, රාජකීය පණ්ඩිත, දර්ශනපති
බෙන්ගමුවේ ඉන්දරතන හිමිල්මී සිරිවර්ධන