කටයි හිතයි හික්මවන්න තරබාරුවෙන් මිදෙන්න

ජූලි 5, 2024

පාසල් දරුවෝ බොහෝ දෙනෙක් තරබාරුව නිසා මහත් පීඩාවට පත්ව මානසික වද වේදනා විඳිති. ළමා වියේදී ගනු ලබන මේද අධික ආහාර මස්, මාංශ වැඩිපුර ගැනීම අහිතකරය. පැණිරස ආහාර වැඩිපුර ගැනීමට කැමැත්තක් දැක්වීම පැණිබීම, චොක්ලට්, අයිස්පලම්, අයස්ක්‍රීම්, වටලප්පන්, කේක්, පිටි කෑම ජාති කොහෙත්ම සුදුසු නැත.

යොවුන් පරපුර මෙන්ම වැඩිහිටියන්ටද ස්ථුලභාවයෙන් බොහෝ රෝගාබාධවලට ලක්වේ. මේදස හෙවත් මේදෝ ධාතුව ශරීරය තුළ වර්ධනය වීම නිසා හටගන්නා මෙය බොහෝ මානසික පීඩනයන්ට හේතු වේ. මේදය උදරීය කලාපයේ බෙහෙවින් තැන්පත්වන බැවින් උදර ප්‍රදේශයේ සැළකිය යුතු වර්ධනයක් ඇතිවේ.

මේ මේදෝ වෘද්ධි රෝගීන්ට අධික කුසගින්න මෙන්ම අධික පිපාසය ද ඇතිවේ. ගින්න නිසා ඇතිවන පිපාසයටත් කොපමණ ආහාර ජලය ගත්තත් ඉන් සෑහීමකට පත් නොවී නිතර නිතර කෑමට කෑදර වේ. එහිදී ඔවුන් වඩාත් පි‍්‍රය කරන කෑම වන්නේ මාංශ මේද ඇති ආහාරවලටයි. එය ශරීරය තුළ, තව තවත් මේද වර්ධනයට රුකුලකි.

මේදෝ වෘද්ධි රෝගීන්ගේ හටගන්නා රෝග ලක්ෂණ අතර හතිය, අධික පිපාසය, නින්ද නොයෑම, හුස්ම ගැනීමේ අපහසුව, අත්පා අප්‍රාණික වීම, නිතර නිතර ඇතිවන බඩගින්න, අධික ලෙස දහඩිය දැමීම, ශරීර දුර්ගන්ධය, ලිංගික ශක්තිය අඩපණවීම ආදිය ද වේ. තවද හෘද රෝග, මධුමේහය, ප්‍රමේහ රෝග, චර්ම රෝග, ඇදුම පක්ෂාඝාතය ආදී රෝගයන්ද මේදෝ රෝගයේ බලපෑමෙන් ඇතිවන රෝග වේ. ශුක්‍ර ධාතුව හීනවීමෙන් ලිංගික ශක්තියද ප්‍රබල ලෙස හීන වේ. අධික නිදිමත ගතියක් ඇතිවීම නිසා ඉන් කම්මැලිකමෙන් පෙළීමට සිදුවේ.

ශරීරය අභ්‍යන්තර ‍ස්‍රෝතස් තුළ පවා මේද තැන්පත්වීමෙන් ඇතිවන රෝග තත්ත්වයන්ද ව්‍යාප්තව පවතී. මෙහීදී විශේෂ වන්නේ පක්ෂාගාත හා ප්‍රමේහ රෝගාදියයි. මේදය ප්‍රධාන වන රෝගාබාධයන්ට හේතු වන්නේ ශරීරය වෙහෙස නොවන සේ සිටීම ව්‍යායාම්වල නොයෙදීම දහවල් කාලයේ නින්දට පුරුදුව සිටීම, සෙම වර්ධනය වන ආහාරපානාදිය ගැනීම, පැණිරස කෑම ගැනීම ආදියෙන් ශරීරය තුළ මේදය බොහෝ සෙයින් වර්ධනය වේ. මෙහිදී සිදුවන්නේ ශරීරයේ ඇති ‍ස්‍රෝතස් ගමන් මාර්ග අවහිරවීමෙන් තරවීමයි. ශරීරය තුළ ක්‍රියාත්මකවීමට බාධා පැමිනුණ විට පපුව, පියයුරු, උදරය සහ තට්ටම් යන ස්ථානවල මේද එකතුවේ. මෙවන් අවස්ථාවක සුළු වැඩක නිරත වූවත් හති ගතිය මහන්සිය ඇතිවේ.

රස, රක්ත මාංශ, මේදස්, අස්ථි, මජ්ජා යන සප්ත ධාතූන්ගෙන් සැදුම්ලත් ශරීරය මහා නිර්මාණයකි. මේ ශරීරය රෝගී තත්ත්වයට පත් වන්නේ මේදෝ වෘද්ධි හෙවත් අති ස්ථුල්‍යතාවයට පත්වීමෙනි. සිරුරෙහි පවත්නා වසා හා මේදස් අවශ්‍ය පමණට වඩා වැඩී ගිය විට මේදෝ රෝග තත්ත්වයට පත්වේ. සිරුර පමණට වඩා මහත්වීමත් මේදෝ තත්ත්වයට පත්වන අතර කාන්තාවන් වයස අවුරුදු හතළිහ ඉක්මයෑමෙන් ඔවුන්ට මෙය ලෙහෙසියෙන්ම හටගැනීමට අවස්ථාව ඇති වේ. සමහර ස්ත්‍රී පුරුෂයන්ට මේ තරබාරුව නිසා ඇතිවන වද වේදනාවන්ද බොහෝ ය. වාහනයක ගමනක් යෑමටත් මහ මග ගමන් කිරීමටවත් ඔවුන් කැමැත්තක් නොදක්වති. ඊට හේතුව වන්නේ ඔවුන් දුටු විට ඒ හැම කෙනෙක්ගේම අවධානය ඔවුන්වෙත යොමුවන බැවිනි. අධික තරබාරුවෙන් ජීවත්වන කාට වුවත් නිරෝගිභාවය නැතිවෙයි. රූප ස්වභාවය අවලස්සන කරයි. එය මානසික පීඩාවට පත් කරන්නකි. මේ තත්ත්වය ඇතිවීමට ප්‍රධාන කරුණ වන්නේ ආහාර රටාව හා චර්යා රටාවයි. මෙයට අමතරව නොයෙක් ජානමය විකෘතිතා සහ දීර්ඝකාලීන පෙළෙන ලෙඩ රෝග සහ යම් යම් ඖෂධවල අතුරු ආබාධ හේතු වේ. ශරීරයෙන් දහඩිය පිටවන හා ශරීරය වෙහෙස වන ව්‍යායාම්වලදී නොසෑදීම සැප ජීවිත ගත කිරීම මේ තත්ත්වය ඇතිවීමට මූලික හේතුවන අතර පහත සඳහන් කරුණුද මෙයට බලපායි.

ඇතැම් අයගේ පවුල්වල පැවතෙන තත්ත්වයන් අනුවද තරබාරුකමට පත්වේ. ඇතැම් ජාතිකයන් ස්වභාවයෙන්ම කුඩා අවධියේ සිටම තරබාරුකමට පත්වේ. ඒ අධික ලෙස මේදය පැවතීමෙන් සිදුවන කරුණකි. ඉන්දියාව, ලංකාව, ඇමරිකාව, අපි‍්‍රකාව, ජර්මනිය, ඕලන්දය ආදී රටවල මෙවැනි දරුවන් මෙන්ම වැඩිහිටියන්ද බොහෝය. ඔවුන් කෑමෙන් ප්‍රවේසම විය යුතු යි. එමෙන්ම කෑම පාලනය කරගත යුතුයි. එසේ සඳහන් කරනු ලබන්නේ තරබාරුව රෝගයක් වන බැවිනි.

නිතරම සමබර ආහාර ගැනීමට වගබලා ගත යුතුයි. මේද බහුල ආහාර වර්ග හැකිතාක්දුරට පාලනය කරගත යුතුයි. කැකළු හාලේ බත්, කුරක්කන්, කොල්ලු, කඩල යන ආහාර මේ සඳහා ඉතා යෝග්‍යය. කිරි, බිත්තර, මස්, මාළු, බටර් වැනි දේ මෙන්ම ලුණු භාවිතයද අඩුකර ගත යුතුය. ඒ නිසා තමාට පිළියෙල කරනු ලබන කෑමට ලුණු දැමීම සීමා කළ යුතු ය. උදේ ආහාරයට විශේෂයෙන් සකස් කරගත් කැඳ බීමද සුදුසු ය.

මී කිරි, කෙසෙල්, එළකිරි, මාළු වැනි සෙම් වඩන ආහාරවලින් හැකි තරම් වැළකිය යුතු අතර කැවුම්, කේක්, දොදොල්, මස්කට් වැනි මිශ්‍ර ආහාරවලින් ප්‍රවේසම් විය යුතු ය. මේදය අඩු වී තරමට තමන්ටම දැනෙන සුවය අපමණය. එබැවින් වඩාත්ම උනන්දු විය යුත්තේ ගොරකා මිශ්‍ර ආහාර ගැනීමටය. පොළොස් මාළුවද ගුණදායකය. ඉඟුරු සහ ගම්මිරිස් ද පලාවර්ග ද මේදය අඩු කිරීමට උපකාරී වේ.

ක්ෂණික ආහාර පානාදියෙන් වැළකී සිටීම ලෙස හඳුන්වනු ලබන්නේ අවශ්‍ය ප්‍රමාණයේ පෝෂ්‍ය පදාර්ථ නොලැබෙන ශරීරයට අහිතකර සංඝටක බහුලව අඩංගු පිළියෙල කරන ලද ආහාර වර්ගයි. මේ ආහාරවල තෙල් ලුණු සීනි අධිකව ඇති අතර විටමින් හා ඛනිජ ලවන අඩුය. මේ නිසා ක්ෂණික ආහාරවලින් ලැබෙන්නේ අසමතුළිත පෝෂණයකි.

මින් සිදුවන්නේ සිරුරේ විවිධ වෙනස්කම්වලට යොමුවීමයි. සිරුරේ බර වැඩිවීමත් විවිධ රෝගාබාධවලට මෙන්ම තරවීමත් ඉන් නොවැළක්විය හැකිය. සීනි, ලුණු, කෘත්‍රිම රසකාරක වර්ග සිරුරට අහිතකරව බලපාන අතර නිරෝගීකම බැහැරව රෝගීවීම වැළැක්විය නොහැකිය.

ඉහත කරුණූ මෙන්ම තරබාරුව අඩුකර ගැනීමට ආයුර්වේදයේ බොහෝ ප්‍රතිකාර ඇත. අධික මත්පැන් පානය මෙන්ම දුම්පානයෙන්ද වැළකිය යුතුය. එකතැන නොසිට ඇවිදීම හා ව්‍යායාම්වල නිරතවීම මෙන්ම කාලයක් ගතවන සේ ඇවිදීම සුදුසු ය. දහවල් නිදා ගැනීම නොකළ යුතුය.

කෑම පාලනය කරගෙන පහත ක්‍රම අනුගමනය කිරීම තුළින් මෙම තත්ත්වයට විසදුමක් සොයා ගත හැකිය. විසඳුමද ඔබ තුළම ඇති බව වටහාගෙන ක්‍රමානුකූලව උපදෙස් පිළිපදින්න. මේ සඳහා ඇති බොහෝ ඖෂධ පිළිබඳව වෙළෙඳ ප්‍රචාරණවලට රැවටී තම මිල මුදල් නිකරුනේ නාස්ති නොකිරීමට වගබලා ගන්න.

උසට සරිලන බරට වඩා වැඩි බරක් තිබේ නම් ඔහු හෝ ඇය ස්ථුලභාවයෙන් පෙළෙන බව නිගමනය කෙරේ. අධික සේ ස්ථුලභාවයට පත්ව සිටින්නේ නම් මුළු ශරීර පද්ධතියට හානි සිදුවේ. ස්වශන පද්ධතියට ඇතිවන බලපෑම නිසා පෙනහලුද නිසි පරිදි ක්‍රියා නොකරයි. අභ්‍යන්තර රුධිරනාල හෝ හෘද නාළ අවහිරවීමෙන් බොහෝ ගැටලු ඇතිවන අතර හන්දිවල අමාරු යම් බරක් ඉසිලීමට නොහැකිවීම, දණහිස් හා පාද සන්ධි ආබාධවලට යොමුවීමද වේ.

තරබාරුකමින් සිටින අය ප්‍රධාන වශයෙන් ආහාර පානාදිය ගැන සැළකිලිමත් විය යුතුයි. අධික තරබාරුව නොහොත් ස්ථුලතාව ගැන අවබෝධයක් ලබා සිටීම හැමටම අවශ්‍ය කරුණකි. සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ ස්කන්ධ දේහ දර්ශනය මැනීමෙන් තමන් ස්ථුලතාවයෙන් පෙළෙන්නේද යන්න තීරණය කරගත හැකිය.

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.