නවීන සමාජය හා ආයුර්වේද ‘ස්පා’

ජූලි 5, 2024

 

ආයුර්වේදය යනු සැපවත්, පී‍්‍රතිමත් හා සුවදායී ලෙස ජීවිතයේ උපරිම පල භුක්ති විඳීම සඳහා ඈත අතීතයේ සිට උපයෝගී කරගත් ජීවන දර්ශනයකි. වර්තමානයේ බොහෝ පිරිසක් ජීවන පරමාර්ථ පසෙක තබා හුදු අරමුණක් උදෙසා හැල්මේ හඹා යමින් සිටින අතර එනයින් මංමුලා වී විඩාවට පත් වී සිටිති.

ශාරීරික, මානසික, ආධ්‍යාත්මික සංතුලනය තුළින් පුද්ගලයාට තාවකාලික සහනයක් ලබා දීම හා දිගු කාලීනව එය සංවර්ධනය කර ගනිමින් පවත්වා ගෙන යෑමට අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම් ලබා දීමත්, පීඩා විඳින්නා වූ ශාරීරික මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබා දී සුඛී සුවපත් භාවයට පත් කිරීමත් අරමුණු කොටගෙන ආයුර්වේද සුවතා මධ්‍යස්ථාන සංකල්පය වර්තමාන සමාජය තුළ ප්‍රචලිතව ඇති ස්පා සංකල්පයට සමගාමී වන ලෙස හඳුන්වා දිය හැකිය.

ස්පා සංකල්පය ලාංකීය සමාජය තුළ ආන්දෝලනයකට තුඩු දී ඇති මොහොතක ඒ ඔස්සේ වර්තමානයේ කිනම් සේවාවක් සැපයේද යන්න නොව, එම ස්ථාන පුද්ගල කායික මානසික අභිවෘද්ධිය ලබා දිය හැකි සුවතා මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීමෙහි ඇති හැකියාව පදනම් කොට සමාජය දිරිමත් කිරීමක් මෙහිදී අපේක්ෂා කෙරේ.

ආයුර්වේදය තුළින් වඩාත් සෞඛ්‍ය හිතෛශී, පරිසර හිතකාමී, ආකර්ෂණීය, සහ සුවිශේෂී ආයුර්වේද සුවතා මධ්‍යස්ථානයක් සකස් කිරීම සඳහා අවශ්‍ය සංකල්ප, සැලසුම් ආයුර්වේදීය පසුබිමක් තුළ ආයුර්වේද වෛද්‍ය ක්‍රමවේදයේ දක්වා ඇත. ආයුර්වේදය තුළ අන්තර්ගත වටිනා ඥානය පුද්ගල සංතුෂ්ටිය හා යහ පැවැත්ම උදෙසා උපයෝගී කර ගැනීමට හැකිවන පරිදි ප්‍රායෝගිකව ගෙනහැර දැක්වීමේ හැකියාවක් ඇත.

ශ්‍රී ලංකාවේ දැනටමත් ශාරීරික සුවතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ පංචකර්ම හා සමගාමීව සිදු කරනු ලබන පූර්ව කර්මයන්ට අදාළ ස්නේහන, ස්වේදන, අභ්‍යංග ආදී සේවාවන් ලබාදීමට අමතරව විවිධ රෝග සඳහා ප්‍රතිකාර ලබාදීමත්, පංච කර්ම හා විවිධ වෛද්‍ය උපදේශන සේවාවන් ලබා දීමත් වැනි පුළුල් පරාසයක සේවාවන් රැසක් ලබා දීමට කටයුතු කරනු ලබන ආයුර්වේද සුවතා මධ්‍යස්ථාන නොමැත්තේ නොවේ. මෙහිදී ආයුර්වේද ප්‍රතිකාර හෝ ස්පා ප්‍රතිකාර පමණක් නොව, සෞඛ්‍ය සම්පන්න ආහාර අත්දැකීම්, යෝග, භාවනා, අධ්‍යාත්මික පුනර්ජීවනය සහ සත්කාරයන් ද සංකලනය කර ගැනීමේ හැකියාවක් පවතී.

සුවතා මධ්‍යස්ථානය යන සංකල්පය ආයුර්වේදයට පමණක් සීමා වූවක් නොවන බවට ඉපැරැණි ඊජිප්තු පාද සම්බාහනය, මායා වාර්ගික ඩාදිය ස්නානය සහ මිල අධික රෝම මුහුණු ක්‍රීම් පිළිබඳ ඓතිහාසික තොරතුරු මඟින් අනාවරණය වේ. මේ අතුරින් පශ්චාත් වෛදික යුගයේ දී වඩාත් දියුණුව පැවති වෛද්‍ය විද්‍යාවක් ලෙස වර්තමානයේ ද පිළිගනු ලබන ආයුර්වේදයේ උපයෝගීත්වය කෙරෙහි සමාජයේ වැඩි නැඹුරුතාවයක් පවතී. ආයුර්වේදය හෝ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව යනු සෞඛ්‍යය සහ යහපැවැත්ම දිරිමත් කිරීම සඳහා පංචකර්ම, යෝග, සම්බාහන, සහ ශාකසාර වෛද්‍ය විද්‍යාව ඇතුළු ප්‍රතිකාර මාලාවක් භාවිත කරන ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයකට ආවේණික සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයකි. එමෙන්ම ආහාර රටාව, ජීවන රටාව, සමාජ සදාචාරය, මානසික අභිවෘද්ධිය මෙන්ම මරණින් මතු ස්වභාවයක සැපය පිළිබඳව ද පරිපූර්ණ කරුණු ඇතුළත් දර්ශනයක් ලෙස ආයුර්වේදයට ලැබී ඇත්තේ අද්විතීය ස්ථානයකි.

ආයුර්වේදයට අනුව, මිනිසා ඇතුළු විශ්වයේ සෑම දෙයක්ම සමන්විත වන්නේ පංච මහා භූත මත පදනම් වූ අංග පහකිනි. ආකාස (අභ්‍යවකාශය), වායු (වාතය), තේජ/ අග්නි (ගින්න), ජල (ජලය) සහ පඨවි (පෘථිවිය) යන මේවා අනන්ත විවිධ සාපේක්ෂ අනුපාතවලින් මිශ්‍ර වී ඇති අතර එමඟින් එක් එක් ද්‍රව්‍යයේ ස්වරූපය එකිනෙකට වෙනස් ලෙස උත්පත්ති වේ. මේ සිද්ධාන්තයෙහි දෙවැනි පියවර නම්, ඒ අනුව ලෝකය හා පුරුෂයා සමාන වන අතරම එකිනෙකට සමාන වූ පුද්ගලයන් දෙදෙනෙකු ද නොමැති වන තරම් බවයි. එසේ නම් ශරීර මනස් ආත්ම මූලික ව සැකසණු පුද්ගලයා පංච භෞතිකත්වයේ සංකලන අනුපාතය අනුව එකිනෙකාට බොහෝ සෙයින් වෙනස් වන අතරම ඔවුන් සඳහා යැපිය යුතු වූ ආහාර පාන, ඖෂධයන්ගේ පංචභෞතික අනුපාතිකය ඒ අනුව විචල්‍ය වන බව පැහැදිලිය. එනම් ආයුර්වේද චිකිත්සාව ඇතුළු සියලු සුවතා ධර්මයන් පුද්ගලානුබද්ධව වෙනස් වන බව මෙන්ම ආයුර්වේදයට අනුව පුද්ගල සුවතාවයේ පැවැත්ම ස්වභාවධර්මය හා බද්ධවම පවතින බවය. මේ අනුව පුද්ගලානුබද්ධ චිකිත්සා ක්‍රමවේදයක් සඳහා වෛද්‍ය උපදෙස් අනුවම ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය පවතී.

ආයුර්වේදය යනු ශරීරයේ, මනසේ සහ ආත්මයේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයක් බැවින් පරිපූර්ණ ප්‍රවේශයක් ලෙස ජීවන රටාව වෙනස් කිරීම, ආහාර, ව්‍යායාමය, භාවනාව ඒකාබද්ධ කරයි. ආයුර්වේද ඖෂධ පැළෑටි සහ කුළුබඩු සමස්ත ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

ආයුර්වේදයට අනුව වර්තමානයේ සාමාන්‍ය ජනතාව අතර ප්‍රාණායාම, යෝග අභ්‍යාස (Yoga and Relaxation) Breathing exercises  (හුස්ම ගැනීමේ අභ්‍යාස), අභ්‍යංග Massage therapy) , අවගාහ (Medicinal bath)  , ආයුර්වේද රූපලාවණ්‍ය (Beauty culture)බොහෝ සෙයින් ප්‍රචලිත වී ඇත. තවද ආයුර්වේදයේ සඳහන් දින චර්යා, ඍතු චර්යා, සද්වෘත්ත යනාදිය පුහුණු කරවීම සඳහා ප්‍රායෝගික සුවතා මධ්‍යස්ථානයක් ලෙස ආයුර්වේද සුවතා මධ්‍යස්ථාන භාවිත කළ හැකිය. මෙහිදී උදෑසන අවදි වීමේ සිට රාත්‍රී නින්දට යාම දක්වා සම්පූර්ණ දින හා රාත්‍රී චර්යාවන් ආයුර්වේදයට අනුව සිදු කිරීම කෙරෙහි ආයුර්වේද සුවතා මධ්‍යස්ථාන වෙත ස්වස්ථ හෝ ආතුර පුද්ගලයන් යොමු කිරීමේ හැකියාවක් ඇත.

ආයුර්වේද සුවතා මධ්‍යස්ථානයක් තුළින් පුද්ගලයාගේ ගොඩනැඟෙන්නා වූ සුවිශේෂී ප්‍රතිලාභයන් ලෙස ආයුර්වේද සුවතා මූලධර්ම පුහුණු කිරීම මඟින් පහත සඳහන් ප්‍රයෝජන ලබාගත හැකිය.

මානසික ආතතිය දුරු කිරීම Stress reduction),, ශරීර බර පාලනය කිරීම (Weght management), විෂ හරණය (Detoxification) , නිසි ලෙස ජීරණය (Digestion) , රුධිර පීඩනය පාලනය (Control blood pressure), ශරීර බලය (Energy) , සුව නින්ද (Improves Sleep Quality)  , ප්‍රතිශක්ති වර්ධනය(Boosts immunity) , ප්‍රදාහ තත්ත්වය අඩු කිරීම (Diminish inflammation)  , රෝග වලින් වැළකීම Preventive healthcare) , වේදනා ශමනය (Analgesic) , හිස කෙස් හා සම රැක ගැනීම air care and skin care) , සම්පූර්ණ සෞඛ්‍ය රැකවරණය (Holistic healing) , නීරෝගී භාවය (Health) , රුධිර සැපයුම වැඩි කිරීම (Increase blood flow) , ජීවිතයේ යථාවබෝධය (Ayurveda defines life) , විඩාව දුරුවීම (Eliminating fatigue) , හෝමෝන සමතුලනය (Hormaonal balance) , ශරීර නම්‍යශීලීතාවය (Improves body flexibility)  , දීර්ඝායුෂ (Increasing longevity) , සහනය (Relaxation) , බුද්ධියEnhances Brain Function) , හෘද්‍ය Supports Heart Health)

මේ අනුව පටු අරමුණුවලින් ඔබ්බට ගිය නිසි කළමනාකරණ පද්ධතියක් තුළින් ස්පා සංකල්පය ආයුර්වේදය සුවතා මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීම මඟින් එය සමස්ත සමාජයේ ශාරීරික හා මානසික සුවතාවය කෙරෙහි අවබෝධය සැපයීමෙහි හා සහයෝගය ලබා දීමෙහි තෝතැන්නක් ලෙස භාවිත කළ හැකි අතර රටට හා සමාජයට ඵලදායී ආයෝජනයක් ද වනු නොඅනුමානය.

 

ආයුර්වේද ජාතික රෝහලේ

වෛද්‍ය එස්.ඒ.ජේ.සී. සමරනායක

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.