වකුගඩු රෝගීන්ට සුදුසු ආහාර පාන

ජුනි 28, 2024

වකුගඩු රෝගීන්ට ඖෂධ නියම කරනු ලබන්නේ ගත යුතු ආහාර පාන මෙන්ම නියමිත පරිදි ඖෂධ වර්ග ගනිමින් යම් පැවතුම් ක්‍රමයකට ජීවත්වන ලෙස උපදෙස් ලබා දෙමිනි. රෝගයන් සුව වීමට ලබාදෙන ඖෂධ මෙන්ම ආහාරයද එකසේ බලපායි. රෝගයට ගත යුතු ආහාර පාන නොගැනීමෙන් රෝගය සුවවීම ප්‍රමාදවනවා සේ්ම සංකූලතා ද ඇතිවිය හැකිය. මේ නිසා ඖෂධ වශයෙන් ආහාරපාන ද ගත යුතු ය.

වකුගඩු රෝගය මේ වන විට සමාජය තුළ ප්‍රචලිත ප්‍රබල රෝගයකි. එය උතුරුමැද හා වයඹ පළාත්වල ශීඝ්‍රයෙන් පැතිරී තිබුණි. රෝග අතර සුළුකොට තැකිය නොහැකි තරමේ රෝගයකි. මේ නිසා වකුගඩු රැක ගැනීම අනෙක් අවයව රකින තරම්ම වැදගත් කරුණකි. සාමාන්‍යයෙන් කෙනෙකුට වකුගඩු දෙකක් පිහිටයි. ඒ ශරීර අභ්‍යන්තරයේ පිටුපස සහ පසුපස පෙදෙසෙහි උදර කුහරය තුළය. ප්‍රධාන කොට මුත්‍රා පෙරීමේ කාර්යභාරය වකුගඩු මඟිින් සිදුවේ.

වකුගඩු රෝගයේ මුල් අවස්ථාවේදීම එහි ඇතිවන ලක්ෂණ හඳුනා නොගැනීම හා ඒ ගැන නොසලකා හැරීම රෝගය බරපතළ වීමට එක් හේතුවකි. රෝගය මුල් අවස්ථාවේ දී කකුල් ඉදිමී මුත්‍රා වැඩිවාර ගණනක් පිටවේ. මූත්‍රවල වර්ණය වෙනස් වේ. රාත්‍රී කාලයේ දී වෙනදාට වඩා වැඩියෙන් මුත්‍රා පිට කිරීම සිදුවේ. වකුගඩු පිහිටි ප්‍රදේශවල සාමාන්‍ය වේදනාවන් හටගනී. අධික රුධිර පීඩනයක් පැවතිය හැකිය.

මේ රෝගයේ දී රෝගියා විසින් මූත්‍ර මඟින් පිට කරන ජලය අධික බැවින් එයට සරිලන ලෙස ශරීරයට ද්‍රව ආහාර දියරවර්ග ලබාදිය යුතුය. එනම් පිට කරනු ලබන මූත්‍ර ප්‍රමාණය ගැන සැලකිලිමත් වී පිටකරන ලද මූත්‍ර ප්‍රමාණයට සමාන ද්‍රව ප්‍රමාණයක් ශරීරයට ලබාදීම ඉතාම වැදගත් ය. සමහර විට රෝගියා මූත්‍ර නොකරන්නේ නම් දිනකට ශරීරයට ලබාදියයුතු දියර ආහාර ප්‍රමාණය වැඩි කළ යුතුය. ඇතැම් විට මූත්‍ර පරීක්ෂා කළ විට එහි ඇල්බියුමින් නැමැති ප්‍රෝටීනය පවතින්නේ නම් මූත්‍ර මඟින් පිටවන ප්‍රෝටීන් ප්‍රමාණය මැන ඊට සමාන වූ ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබාදිය යුතු ය. මෙවන් තත්ත්වයකට පත් වූ රෝගියෙකුට ලබාදෙන ප්‍රෝටීන ගුණාත්මක භාවයෙන් ඉහළ හා අවශෝෂණය පහසුවෙන් සිදුවන ඒවා විය යුතුය. ශාක හා සත්ත්ව ප්‍රෝටීන අතරින් වඩාත් ගුණාත්මක වන්නේ සත්ත්ව ප්‍රෝටීන වේ. මේ නිසා සත්ත්ව ප්‍රෝටීන වැඩියෙන් දියයුතුය. ඒ සඳහා කිරි, චීස්, බිත්තර සුදුමදය, මාංශ වර්ග හා මාළු ද සුදුසුය. ඒවාද දිය යුතු වන්නේ පවතින ප්‍රභේදය මත වෛද්‍ය උපදෙස් අනුවය.

වකුගඩු රෝගීන් ආහාර ගැනීමේ දී වඩාත්ම සැලකිලිමත් විය යුතු ය. අධික ප්‍රෝටීන් අඩංගු ආහාර ගැනීම සුදුසු නැත. ඉන් වකුගඩු රෝගය වර්ධනය වීමට හැකියාවක් තිබෙන බව පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත. මේ නිසා ප්‍රෝටීන ප්‍රමාණය දිනකට ගත යුත්තේ වෛද්‍ය උපදෙස් පරිදි දෙන ලද ප්‍රමාණය අනුවය. දිනකට ඔබ මේස ලුණු ග්‍රෑම් පහක් වැනි ප්‍රමාණය ලබා ගත යුතු ය. එම ප්‍රමාණය ලබා ගැනීමට නම් රෝගියා වෙනුවෙන් ආහාර පිසීමේ දී ලුණු මිශ්‍ර කිරීම සීමා කළ යුතුය. ලුණු අධික ආහාර සහ ලුණු මිශ්‍ර ආහාර කෑමෙන් වැළකී සිටිය යුතුය. අච්චාරු, චට්නි, ලුණුදෙහි, සුප්කැට, සෝස් වර්ග, ජාඩි කරවල, මාමයිට්, ටින් කරන ලද මාළු, පලතුරු, මාළු, මස්, ටින් කරන ලද එළවළු ඇතුළු ලුණු මිශ්‍ර කෑම වර්ග බොහෝ ඇත. ඒවා ආහාරයට නොගත යුතුය.

ගත යුතු සුදුසු ආහාර බත්, පාන්, ඉඳිආප්ප, රොටි, අල, බතල, මඤ්ඤොක්කා වැනි ආහාර සුදුසුය. වකුගඩු රෝගය විවිධාකාර විය හැකි බැවින් ඒ ඒ වකුගඩු රෝගීන් ආහාර ගත යුත්තේ නිසි වෛද්‍ය උපදෙස් පරිදිය. පොටෑසියම් වැඩි ප්‍රමාණයක් ඇත්තේ පලතුරුවල සහ එළවළුවලයි. එබැවින් ඒවාද ආහාරයට ගැනීම සීමා කළ යුතුය. බීමට ගන්නා අධිපෝෂිත පිටි වර්ග පලතුරු යුෂ, තැඹිලි ආදී දියර වර්ග ගැනීමෙන් වැළකී සිටිය යුතුය. පලතුරු වර්ග අතරින් කෙසෙල් ගෙඩි, දොඩම්, අලිගැටපේර, අඹ ආදි පලතුරු ද කෑමෙන් වැළකිය යුතුය. ඇපල්, පෙයාර්ස්, පේර, පැණි කොමඩු, අන්නාසි ආදී පලතුරුවලින් කුඩා ප්‍රමාණයක් ආහාරයට ගැනීමේ වරදක් නැත. එළවළු වර්ග කෑමට ගැනීමේ දී එළවළු තම්බා පෙරා ගැනීමෙන් සිරුරට ඇතුළු වන පොටෑසියම් අඩුකරගත හැකිය. එමෙන්ම කෑමෙන් පසු ගන්නා බොහෝ අතුරුපස වර්ග අතර චොකලට් හා කජුවල පොටෑසියම් ඉහළ තත්ත්වයක් පවතී. අර්තාපල් අලද ආහාර රසකාරකවල ද පොටෑසියම් බහුල පවතී.

සැලකිලිමත් විය යුතු කරුණු

දිනකට පිටකරන මුත්‍රා ප්‍රමාණය මැන ගැනීම

දවසකට බීමට ගන්නා ජලය කොපමණදැයි මැන ගැනීම

අධික ලුණු සහිත කෑම වර්ග ආහාරයට නොගැනීම

පොටෑසියම් ලුණු අධික ආහාරද නොගැනීම

රසායනාගාර පරීක්ෂණයකට ලක්ව වකුගඩු රෝගී තත්ත්වය ගැන අවබෝධය ලබාගැනීම හැමවිටම වෛද්‍ය උපදෙස් මත දෛනිකව කටයුතු කිරීම ආදි කරුණු වැදගත් වෙයි.

 

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.