ගංවතුරෙන් පසුව පැතිරෙන රෝගාබාධ

ජුනි 21, 2024

කාලගුණික විපර්යාසයත් සමඟ ජන සමාජය තුළ පැතිර යන විවිධ රෝගාබාධ යළි ඉස්මතු විය හැකිය. දිවයින පුරා ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර නිසා පහත්බිම් මෙන්ම නාගරික ප්‍රදේශද ගංවතුරින් යටවී ඇත. මිනිස් ජීවිත කීපයක්ම බිලිගනිමින් බොහෝ ජනතාවට උන්හිටිතැන් පවා අහිමි වී තිබේ. ගංවතුරෙන් පැල්පත් හා නිවාස ද අර්ධ වශයෙන් හා සම්පූර්ණයෙන් විනාශ වී ඇත. ගංවතුර කෙමෙන් බැස ගිය ද එහි අතුරු පල බොහෝය.

ගංවතුර බැසයාමට දින සති ගණන් ගත වීම නිසා බෝවන රෝග හා මළ මුත්‍ර ආශි‍්‍රත රෝග පැතිරයාමේ තත්ත්වයක් ඇතිවිය හැකිය. ගංවතුර ඇති වී බැසයාමෙන් ඇතිවන සෞඛ්‍ය ගැටලු ගැන දැඩි අවධානයක් යොමුකළ යුතුය. එනම් ගංවතුර නිසා විශේෂයෙන් පරිසරය ජලය අපවිත්‍ර වීමට ප්‍රධාන වූ කරුණු ගැන අප දැනුම්වත් විය යුතු ය.

පරිසරය හා ජලය අපවිත්‍ර වීමට හේතු බොහොමයක් ඇතත් විශේෂයෙන් මිනිසුන්ගේ හා සතුන්ගේ අසූචි හා මුත්‍රා සමඟ රසායනික ද්‍රව්‍යයන් ගංවතුරට මුසුවී මියයන සතුන්ගේ සිරුරු කොටසුත් හා ගංවතුරට සේදී එන සමහර පණුවන් හා සර්පයන්ගෙන් සිදුවන විපත් ප්‍රමුඛය. මෙලෙස මිශ්‍රව පවතින නොයෙකුත් රසායනික ද්‍රව්‍ය හා වැසිකිළිවළවල් උතුරායන විෂ සහිත ජලයත් නිසාත් පවතින ජලය බොහෝ සෙයින් අපවිත්‍රවන තරමට ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලුත් බොහෝ ය. මේ නිසා අපවිත්‍ර ජලයේ රැඳී සිටීම හා එම ජලයෙන් අතපය ඇඟ සේදීම නොකළ යුතු ය.

අපවිත්‍ර ජලය ශරීරගත වීම නිසා ඇතිවන රෝග අතර හෙපටයිටීස් රෝගයද වේ. හෙපටයිටිස් ඒ නමැති රෝගයෙන් පෙළෙන රෝගියෙකුගේ අසුචි සමග හෙපටයිටිස් වෛරසය ගංවතුරත් සමඟ මිශ්‍රවී එම ජලය සමඟ පැවතීමෙන් ජලය නීරෝගි පුද්ගලයකුට ගෑවීමෙන් හෝ පාවිච්චි කිරීමෙන් ඔහුට හෝ ඇයටද හෙපටයිටීස් ඒ රෝගය වැලඳේ. හෙපටයිටීස් රෝග කාරක කීපයක්ම ඇතිමුත් දැනට පවතින්නේ ඒ සහ බී කාණ්ඩවලට අයත් රෝග වාහක වෛරස දෙවර්ගය පමණකි.

සෙංගමාලය හා කහ උණ නමින් ද ප්‍රචලිතව ඇති හෙපටයිටිස් රෝගය බෝවන්නේ නීරෝගි පුද්ගලයකුගේ ශරීරයට වයිරසය ඇතුළු වී දින විසි අටක් තිහක් ගත වීමෙනි. එම විෂබීජ වෙනත් කෙනෙකුගේ ආහාර මාර්ගයට ඇතුළු වුවහොත් ඔහුට ද රෝගය බෝවේ. එසේ වන්නේ බීමට ගන්නා ජලයෙන් හා ආහාර මාර්ගයෙනි. රෝගියා පාවිච්චි කරන භාජන තුළින්ද රෝගය බෝවීමට හැකියාව ඇත. ආහාර පිළියෙළ කිරීමේ දී උතුරවා නිවාගත් ජලය යොදා ගැනීමට ද අමතක නොකළ යුතු ය.

 

හෙපටයිටිස් රෝගී තත්ත්වය

ශරීරය අප්‍රාණික වීම, ඔක්කාරය, ඇඟපත රුදාව වමනය මෙන්ම උණගතිය, මහන්සිය, හිසරදය, උදරයේ වේදනාවද රෝග ලක්ෂණ වේ. ශරීරය කහ පැහැවීමක්ද ඇතිවේ. නියපොතු, සුදු ඉංගිරියාව කහ පැහැ වීම මෙන්ම මූත්‍ර ද කහපැහැයට පිටවේ. මේ රෝගය වැලඳෙන සමහරුන්ට රෝග ලක්ෂණ මතු නොවේ. රෝගය ඇති රෝගියකුගෙන් තවත් අයකුට බෝ වන්නේ සෞඛ්‍යාරක්ෂිත විධි අනුගමනය නොකිරීමෙනි. එය රෝගියා මළපහ කිරීමෙන් පසු සබන් ගා අත් සෝදා නොගෙන ආහාර පිළියෙළ කිරීම එමෙන්ම ආහාරපාන නිසි ලෙස නොසෝදා ආහාර පිළියෙළ කිරීම මඟින්ද රෝගය බෝවිය හැකිවේ.

සෙංගමාලය ගැන දැනුම්වත්ව සිටීමත් රෝගියෙකුට අවශ්‍ය උපදෙස් හා පැවතුම් ක්‍රම ගැන වෛද්‍යවරයකුට පැවසීමෙන් දැනගත හැකිය. වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරීමෙන් රෝගය සුවපත් කරගත හැකිය. කෙසේ වෙතත් වැස්ස සමඟ ඇතිවන ගංවතුර තත්ත්වය නිසා පවතින අපිරිසුදු තත්ත්වය නිසා ඇතිවන තවත් රෝග තත්ත්වයකි උණසන්නිපාතය. එය පැතිරෙන්නේත් අපිරිසුදු වූ විෂ සහිත ජලයෙනි. එබැවින් දරුවකුට හෝ වැඩිහිටියකුට උණ ගතියක් හෝ වෙනත් අසනීප තත්ත්වයක් ඇති වූයේ නම් වහාම වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර කරගැනීමෙන් තත්ත්වය තේරුම්ගත හැකිය. වැස්ස නිසා ඇතිවන තවත් භයානක රෝගයකි මී උණ, ලෙස්ටොස්පයිරෝමාස් බැක්ටීරියාව මඟින් මේ රෝගය ඇති කරයි.

ශරීරයේ ඇති කුඩාම කුඩා කැපුමකින්, සීරිමකින් හෝ පැවති තුවාලයකින් මේ බැක්ටීරියාව ශරීරයට ඇතුළු වේ. විශේෂයෙන් ජලය රැඳී එක් රැස්වන කානුවලින් කුණු කසල ගොඩවල්වල පවතින එක්රැස් වූ ජලයෙන් ගංගා ඇළ දොළ ඉවුරු හා වගාබිම්වල පවතින ජලය රැඳෙන ස්ථානවලින් හා අත්හැර දැමූ පතල්වල පවතින දූෂිත ජලයෙන්ද මේ රෝගය ඇතිවිය හැකිය.

රෝගලක්ෂණ

රෝග කාරක බැක්ටීරියාව සිරුරට ඇතුළු වී දින දෙකත් විසි එකත් අතර කාලයේදී රෝග ලක්ෂණ මතුවේ. අධික උණ අධික මස්පිඬු වේදනාව හිසරදය ඇතිවේ. ඇස් රතුවීම මූත්‍ර පිටවීම අඩුවීම, හුස්ම ගැනීමේ අපහසුතාව මෙන්ම ක්ලාන්තය ඇතිවිය හැකිය. මෙවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

පාචනය

අසූචි, මුත්‍රා මිශ්‍ර වූ අපවිත්‍ර ජලය ශරීරගතවීමෙන් හා අපිරිසුදු ආහාරපාන ගැනීමෙන් ඇතිවන සුලබ රෝග තත්ත්වයකි පාචනය. පාචන රෝග තත්ත්වය ගංවතුර පවතින ප්‍රදේශවල බෙහෙවින් පවතී. එමෙන්ම රසායනික හා විෂ ද්‍රව්‍ය සමඟ පවතින ගංවතුර බෙහෙවින්ම ඉතාමත්ම අපවිත්‍රය. විෂ සහිතය. එම ජලය ශරීරගත වීමෙන් ඇමීබා අතීසාරය වැනි රෝගද පැතිරිය හැකිය.

දූෂිත ගංවතුර තත්ත්වයත් සමඟ පැතිර යන රෝග අතර තවත් රෝගයකි ස්වසන පද්ධතිය ආශි‍්‍රතව හටගත හැකි කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, සෙම්ගෙඩි සහ කෑම අරුචිය. රෝග ගැන නොතකා ගංවතුර බැස ගියාට පසු රෝගද සුවවේ යැයි කියා බලා සිටියහොත් නිවුමෝනියා තත්ත්වයට පවා රෝගීන් පත්විය හැකිය. කානු පද්ධති වැසිකිළිවළවල් කුණුකසළගොඩවල් කර්මාන්ත අපද්‍රව්‍ය ගරාජ් ආශි‍්‍රතව රසායනික ද්‍රව්‍යය හා විෂතෙල් ආදී මිශ්‍රව ගලා එන මේ ගංවතුර නිසා සම ආශි‍්‍රත දද, කුෂ්ඨ කැසිලි ආදී තත්ත්වයන්ද ඇතිවිය හැකිය. එබැවින් ගංවතුර පවතින ප්‍රදේශවල ජනතාව සෑම විටම උතුරවා නිවාගත් ජලය පාවිච්චි කිරීමට උනන්දු විය යුතුය. බීමට මෙන්ම උයන පිහින දේට මෙන්ම ශරීරය සේදීමට පවා ගත යුත්තේ උණුකර නිවාගත් ජලයයි.

 

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.