හැම දණහිස් වේදනාවම ආතරයිටිස් නොවේ

ජූලි 5, 2024

දණහිස් වේදනාව මැදි වයසෙන් පසුව ගැහැනු පිරිමි භේදයකින් තොරව සමාජයේ බොහෝ දෙනා පීඩා විඳීන තත්වයක්. ශරීරයේ ඇතිවන අනෙක් සියලු වේදනාවන් මෙන් දණහිස් වේදනාව ද රෝගයක් ලෙස නොව රෝග ලක්ෂණයක් ලෙස හඳුනා ගැනීම වඩා වැදගත් සහ යෝග්‍ය වනවා. දණහිස ආශ්‍රිතව ඇතිවන සන්ධි ප්‍රදාහයික තත්ත්වය හෙවත් Arthritis  රෝගී තත්ත්වය දණහිස් වේදනාවලට ප්‍රධානම හේතුවක් වෙනවා.

මේ අතරින් දණහිස් සන්ධියේ කාටිලේජ් ගෙවීයාම නිසා ඇතිවන Osteoarthritis රෝගය ප්‍රධාන වෙනවා. Osteoarthritis තත්ත්වයට අමතරව අRheumatoid Arthritis සහ Septic Arthritis  වැනි ප්‍රදායික තත්ත්වයන්ද දණහිසට පීඩා ගෙන දෙන්නට පුළුවන්.

දණහිසට වැලඳෙන Osteoarthritis  රෝගී තත්වය

Osteoarthritis  රෝගී තත්ත්වයේදී සන්ධියේ මතුපිට පවතින කාටිලේජ ආවරණය ක්ෂය වීමක් සිදුවනවා. මේ ක්ෂය වීමට බලපාන හේතු ලෙස දවසේ වැඩි කාලයක් සිටගෙන සිටීම, ඇවිදීම සහ පඩිපෙළ නැඟීම බැසීම ආශ්‍රිත රැකියාවල නිරතවීම.

අධික තරබාරුකම නිසා දණහිස් සන්ධිවලට එල්ල වන අනවශ්‍ය පීඩනය

දණහිස් සන්ධිය ඇතුළට දිශානුගතව සිදුවන අස්ථිබිඳීම් නිසා කාටි‍ලේජ් ආවරණය විනාශ වීම. දණහිසට කලින් වැලඳී තිබූ වෙනත් රෝගී තත්ත්වයන් නිසා දණහිසේ කාටිලේජ විනාශ වීම. දණහිස තුළ පවතින Meniscus  නම් මෘදු පටක ව්‍යුහය විවිධ අනතුරු නිසා විනාශ වී ඒ හේතුවෙන් ඇතුළු පැත්තට අනවශ්‍ය පරිදි පීඩනය එල්ලවීම.

මේ ආකාරයට බලපාන විවිධ හේතු නිසා දණහිසට ඉතා ඉක්මනින් Osteoarthritis රෝගී තත්ත්වය වැලඳෙන්නට පුළුවන්. ඔබටත් දණහිස් ආශ්‍රිතව මේ රෝගී තත්ත්වය පවතිනවා නම් පහත රෝග ලක්ෂණවලින් පීඩා විඳීන්නට සිදුවෙනවා.

වේදනාව

මුල් අවස්ථාවේදී පඩි නැඟීම, දිවීම හෝ වැඩි වේලාවක් සිටගෙන සිටීම වැනි දණහිසට ඉතා දැඩි පීඩනයක් එල්ල වන ක්‍රියාකාරකම්වලදී පමණක් වේදනාව ඇතිවේ. රෝගය උත්සන්න වීමේදී කුඩා වේලාවක් සිටගෙන සිටීම හෝ ඇවිදීම වැනි ක්‍රියාකාරකම් වලදීද ඇතිවීම සිදුවනවා. ඉන් පසුව ක්‍රමයෙන් දණහිස විවේකීව තිබෙන විටදී පවා වේදනාව ඇතිවෙන අතර එම වේදනාව ඇවිදීමේදී සහ හිටගැනීමේදී වඩාත් තීව්‍ර වන්නට පුළුවන්. රෝගය වඩාත් උත්සන්න වූ විට දණහිස් බිම නොතබන අවස්ථාවලදී පවා අධික වේදනාවක් ඇතිවන්නට පුළුවන්.

චලන අවහිරතාවය සහ තද ස්වභාවය

කාටිලේජ් ස්තරය ගෙවී යාම සමඟ සන්ධි මතුපිටවල් ක්‍රමයෙන් එකිනෙක ගෑවීමට පටන් ගන්නවා. මෙහිදී දණහිස දිගහැරීමේ සහ නැවීමේ චලන අවහිරතාවය සහ ඇවිදීමේදී දණිස් සන්ධියේ තද ස්වභාවයක් ඇතිවන්නට පුළුවන්. මෙය මුලින්ම සුළු වශයෙන් ආරම්භ වී උත්සන්න වීමේදී දණහිස සම්පූර්ණයෙන්ම චලනය කළ හැකි නොවන පරිදි මට්ටමක් දක්වා පැමිණීමේ හැකියාව පවතිනවා.

දණහිස සන්ධිය ඇදවීම

Osteoarthritis  රෝගයෙන් දණහිසේ ඇතුළු පැත්ත වැඩි වශයෙන් පීඩාවට ලක්වනවා. මේ නිසා ඇතුළු පැත්ත වැඩියෙන් ගෙවී ගොස් ධනේෂ සන්ධිය ඇතුළට ඇදවීමේ ස්වභාවයක් ඇතිවන්නට පුළුවන්. පාද දෙක පොළොවට තබා සිටගත් විට මේ බව හොඳීන් නිරීක්ෂණය කළ හැකි වෙනවා මෙන්ම ඔ-අචර ඡායාරූප මගින්ද වඩාත් තහවුරු කර ගැනීමේ හැකියාව පවතිනවා. මේ තත්ත්වය රෝගයේ මූලික අවස්ථාවේදී දැකගැනීමට නොහැකි වුවත් ප්‍රතිකාර ලබා නොගෙන කල්ගතවීමේදී වඩා ප්‍රමුඛව නිරීක්ෂණය කළ හැකි වෙනවා.

දණහිස සන්ධිය ඉදිමීම

සන්ධි මතුපිට පවතින කාටිලේජ් ස්තරය ගෙවී යාම නිසා අස්ථි එකිනෙක ගැටීමත් සමඟ දණහිස් සන්ධිය අභ්‍යන්තරයේ පවතින සාමාන්‍ය තත්ත්වය වෙනස්වීමකට ලක්වනවා. මේ නිසා ඉදිමීම සිදුවිය හැකි අතර. මේ ඉදිමීම මූලික අවස්ථාවේදී සන්ධිය ඇතුළත පවතින අතර කල් ගතවීමත් සමඟ සන්ධියට පිටින් පවතින මෘදු පටක දක්වා ද මේ ඉදිරි ඉදිමීම පැතිර යෑමේ හැකියාව පවතිනවා. දනිස් ඉදිමීමත් සමඟ ඒ ආශ්‍රිතව ඇතිවන උෂ්ණත්වය ඉහළ යෑමක් සහ බර ගතියක් ඇතිවී ඇවිදීම තවදුරටත් දුෂ්කර වීමද සිදුවෙනවා.

මුල සිටම නිවැරදිව හඳුනා ගෙන සිදු කරන පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර තුළින් දණහිසට ඇතිවන Osteoarthritis  රෝගය මනාව පාලනය කරගත හැකිවන අතර නිවැරැදිව රෝගය හඳුනා නොගැනීම නිසා සිදුකරන වැරදි ප්‍රතිකාර සහ කිසිදු ප්‍රතිකාරයක් ලබා නොගැනීමෙන් ඇවිදීමට සම්පූර්ණයෙන්ම නොහැකි වන මට්ටමට මේ රෝගය නිසා ඔබගේ දණහිස් දුර්වල වන්නට පුළුවන්.

මීට අමතරව දණහිස් වේදනාවට හේතු වන විවිධ රෝගාබාධ ප්‍රධාන කාණ්ඩ කිහිපයකට වර්ග කරන්නට පුළුවන්.

1.දණහිස ආශ්‍රිතව ඇති මෘදු පටකවලට ඇතිවන අනතුරු සහ රෝගාබාධ නිසා හට ගැනෙන දණහිස් වේදනාව:

දණිස්ස වටා සහ අභ්‍යන්තරයෙහි පවතින විවිධ බන්ධනීවලට සිදුවන අනතුරු නිසාද දණහිස් වේදනාව ඇතිවන්නට පුළුවන්. මේ බන්ධනීවලට අනතුරක් සිදුවීමට නම් දණහිස් සන්ධිය මතට බාහිරින් පීඩනයක් එල්ල වන වැටීමක්, වැදීමක් පෙරළීමක් වැනි අනතුරක් සිදුවිය යුතුයි. අදාළ බන්ධනීය පවතින ප්‍රදේශය අනුව දණහිස් වේදනාව වෙනස් වන්නට පුළුවන්. පාදය බිම තබා ඇවිදීමට නොහැකි වන තරම් වේදනාව වැඩි වන්නටද පුළුවන්.

දණහිස් පොල්කට්ට නමින් සාමාන්‍ය ව්‍යවහාරය හඳුනනPatella නම් අස්ථියක් ජංගාස්ථියත් සම්බන්ධ කරන Patella Tendon කණ්ඩරාව ප්‍රදාහයට පත්වීම නිසාද දණහිස ආශ්‍රිතව වේදනාව ඇතිවන්නට පුළුවන්.Patella Tendinitis  නම් මේ රෝගී තත්ත්වය දණහිස අධික වශයෙන් ක්‍රියාත්මක වන රැකියාවන් සහ ක්‍රීඩාවන් සිදු කරන පුද්ගලයින්ට මේ රෝගය වැලඳීමේ වැඩි අවදානමක් පවතිනවා.

දණහිසට පිට පැත්තෙන් පවතින මාංශ පේශීවලට වැලඳෙන  illiotibial Band Syndrome නම් රෝග තත්ත්වය නිසාද දණහිස් ආශ්‍රිතව වේදනාවක් ඇතිවන්නට පුළුවන්. මෙහිදී දණහිස ඉදිමීමක් සිදු නොවුණත් දණහිස ආශ්‍රිතව චලන අවහිරතාවයක් සහ තද ගතියක් ඇතිවෙනවා.

දණහිස ආශ්‍රිතව වේදනා ඇතිවීමට බලපාන මෘදු පටක ආශ්‍රිත රෝගාබාධවලින් මේවා ප්‍රධානත්වයක් උසුලන නමුත් මීට අමතරව හේතු කාරණා විය හැකි රෝගාබාධ රාශියක් පවතිනවා.

2.දණහිසට අදාළ අස්ථිවලට සිදුවන අනතුරු සහ රෝගාබාධ නිසා ඇතිවන දණිස් වේදනා:

දණහිසේ පහළ කොටස සෑදීමට දායක වන ජංගාස්ථිය ආශ්‍රිතව ඇතිවන Medial Tibial Stress Syndrome  නම් රෝග තත්ත්වය නිසා තණහිසේ ඉදිරියෙන් හෝ පහළින් වේදනාව ඇති වන්නට පුළුවන්. මේ වේදනාව ජංගාස්ථිය දිගේ පහළට ගමන් කිරීමද බොහෝවිට සිදුවනවා.

දණහිස් සන්ධියට අදාළව පවතින දණහිස් පොල් කට්ට හෙවත් Patella නම් අස්ථියේ ඇතුළෙන් තිබෙන කාටලේජ ආවරණය ගෙවී යාම නිසා ඇතිවන Chondromalesia Patella  නම් රෝගී තත්ත්වය නිසාද ධන හිස් වේදනාව ඇති වන්නට පුළුවන්. මෙහිදී දණහිස ඉදිරියෙන් ඇතිවන වේදනාව සහ දණහිස් පොල් කට්ට ආශ්‍රිතව ඇතිවන සුළු ඉදිමීමක් දැක ගන්නට පුළුවන්. මේ රෝගී තත්ත්වයත් මුල් අවස්ථාවේදී ඇවිදීම සිටගෙන සිටීම සහ පඩි පෙළවල් නැඟීම වැනි ක්‍රියාකාරකම්වලදී වේදනාව ගෙන දුන්නත් පසුකාලීනව දණහිස් සන්ධිය විවේකීව පවතින අවස්ථාවලදී පවා වේදනාව ඇති කිරීමට හේතු වනවා.

මීට අමතරව දණහිස් සන්ධිය තුළට සිදුවන බැක්ටීරියා අසාදන, වැටීම් වැදීම් සහ තැලීම් වැනි අනතුරු නිසා දණහිස ආශ්‍රිත මාංශ පේශිවලට සිදුවන පීඩනය නිසාද දණහිස් වේදනාව ඇතිවන්නට පුළුවන්.

දණහිසේ වේදනාවක් ඇති වූ විට නිවසේදී කළ හැකි ප්‍රථමාධාර

සිටගෙන සිටීම ඇවිදීම සහ පඩිපෙළවර නැගීම වැනි ධන හිසට අනවශ්‍ය පීඩනයක් එල්ල වන සියලු ක්‍රියාකාරකම් නවත්වන්න.

සෑම විටම දණහිස් දිගහැරගත හැකි පරිදි සුවපහසු ඉරියව්වක වාඩිවී සිටින්න.

දණහිසේ වේදනාව දැනෙන ස්ථානයට පැය තුනකට වරක් මිනිත්තු 10-15 ක් අයිස් තැබීම සිදු සිදුකරන්න. දණහිහිසට වේදනාවක් ඇති වූ වහාම උණු වතුරෙන් හෝ වෙනයම් උණු දෙයකින් තැවීම සිදු නොකරන්න.

දණහිස ඉදිවී ඇති විටදී අනවශ්‍ය පරිදි පීඩනයක් ඇති නොවන ලෙස වෙළුමක් යෙදීම වුවත් යෝග්‍ය වනවා. මේ පියවරවල් අනුගමනය කරමින් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම ඉතාම වැදගත්.

 

පාරම්පරික දේශීය කැඩුම් බිදුම් සහ

චීන කටු වෛද්‍ය

ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.