තුන් දොස් කෝපයෙන් හට ගන්නා දෙවියන්ගේ ලෙඩ

ජුනි 28, 2024

ගම්බදව ජීවත්වන අය අම්මාවරුන්ගේ ලෙඩ නැතහොත් දෙවියන්ගේ ලෙඩ යැයි හඳුන්වනු ලබන පැපොල රෝගය හා කම්මුල්ගාය වඩාත්ම පැතිරෙන්නේ දරුවන්ටය. ගෙදරක එක් රෝගියකු සිටී නම් අනිකුත් අයටත් එය වැලඳේයැයි කියමින් බෝවේ යැයි කියමින් රෝගය වැළැක්වීම සඳහා විවිධ වත්පිළිවෙත් ක්‍රියාමාර්ග අනුගමනය කෙරෙයි. කිසිවිටකත් රෝගයේ නම කීවේ නැත. ඔවුන් කියා සිටියේ දෙවියන්ගේ අසනීපයක් කියාය. රෝගියාට කිළි අසුවුවහොත් අමාරුවේ යැයි කියමින් රෝගියා ආරක්ෂා කෙරිණි.

නිවෙස ඉදිරිපිට කඩුල්ලෙත් නිවෙසේ ප්‍රධාන උළුවස්සේත් ගොක්කොළ එල්ලා තැබිණි. ඒ නිසා ඥාති මිත්‍රාදීහු පවා නිවෙසට නොගියහ. පත්තිනි දේවිය මුල්කොට පඬුරක් ගැට ගසා රෝගියා ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලා රෝගියා සිටි නිවෙසට කිළි හසුවන දේවල් පවා නොගත්තේය. රෝගියා නිදන ඇඳට රෝගියාගේ පිටට ස්පර්ශ වනසේ කොහොඹ කොළ දමා ඇතිරිල්ලක් මෙන් සකස් කළේය.

 

රෝග ලක්ෂණ

රෝගය හටගන්නා අවස්ථාවේදී උණ ඇඟපත වේදනාව හා සාමාන්‍ය උණ රෝගයට අයත් රෝග ලක්ෂණ මතු වෙයි. ඇස් රතු වර්ණ වේ. රෝගය හට ගෙන පැය විසිහතරක් තුළ සිරුරෙහි රතු ලප මතුවී ඒවා බිබිලි බවට පත්වේ. බිබිලි වැඩි වශයෙන් හටගන්නේ පිටේ සහ පපු ප්‍රදේශයෙහිය. එසේ හටගන්නා බිබිලි සිවුවැනි දිනයේදී පිපිරීමට පටන් ගනී. සිරුරෙහි බිබිලි හටගෙන පුපුරා යෑම දින දහයක් පහළොවක් අතර කාලයක් තුළදී සිදුවේ. රෝගය සුවවන්නේ රෝගියා ජලස්නානය කරන මේ කාලය තුළදීය.

පැපොල රෝගය සෑදුණු රෝගියකු දිය නාන අවස්ථාවේ එය සිදුකරනු ලබන්නේද කිසිවකුටත් නොපෙනන පරිදිය. රෝගය වැලදුණු අයකු තද බල උණ රෝගයෙන් පසුවන විටත් නාසයෙන් සොටුදියර ගලන විටත් නිතර නිතර කිවිසුම් යවන විටත් ඔහුගෙන් හෝ ඇගෙන් පිටවන විෂබීජ වාතයට එකතුවීමෙන් ස්වශනය මඟින් තවකෙනෙකුට රෝගය බෝවීමේ හැකියාව පවතී. පැපොල රෝගය දරුණු තත්ත්වයට පත්වන්නේ රෝගියාගේ නොසැලකිලිමත් භාවය අනුවයි. බොහෝ සෙයින් කෑමෙන් බීමෙන් ප්‍රවේසම් විය යුතුය. මත්පැන් පානය කිරීම මස්මාංශ කෑමට ගැනීම නොකළ යුතුය. විශේෂයෙන් හරක්මස්, ඌරුමස් කෑම ඉතාම අහිතකරය. එම මස් වර්ග රෝගියා සිටින නිවෙසට නෙ ඒම පවා නොකළ යුතුයයි විශ්වාසය පවතී. එවැනි මස් මාංශ නිසා බිබිලි කැසීමට පටන්ගන්නා බවත් බිබිලිවලින් තදබල වේදනාවක් හටගන්නා බවත් කියයි.

පැපොල රෝගය වැලඳුණු රෝගියකුට සුළං වැදීම ඉතාම අහිතකරය. දිය නෑම මෙන්ම අවුවේ ගමන් කිරීමද සුදුසු නැත. ඇඟේ පවතින බිබිලිවලට ප්‍රතිකාර නොකළ යුතුය. බිබිලිවලින් හටගත් තුවාල ද වේලීයාමට ඉඩදිය යුතුය. සමහරුන් රෝගය වැලඳුණු විට බිබිලි ඇඟ පුරාම මතු වුවත් සමහරුන්ට එසේ නොවේ. සමහරවිට මේ බිබිලි ඇස්වටේ මෙන්ම තොල්වටේද ඇතිවිය හැකිය.

ගත යුතු ආහාරපාන

එළවළු සහිත බත්, එළකිරි, පිටිකිරි වර්ග, කොළකැඳ, දොඩම්, නාරං ,කෙසෙල් බෙලි, මුද්දරප්පලම්, ඇපල් හා දියර වර්ගද සුදුසුය. රෝගය උත්සන්න බවක් හෝ බිබිලිවලින් තද වේනාවක් හෝ කෑමට බීමට පි‍්‍රයමනාපයක් නොදක්වන්නේ නම් වෛද්‍යවරයකුට රෝගියාගේ තොරතුරු පවසා හෝ රෝගියා පෙන්නා හෝ ප්‍රතකාර ගැනීම ඉතාම සුදුසුය.

කම්බුල්ගාය

කම්මුල්ගාය අඩප්පරය, ඇතන්සාය හා කර්ණමූලක ස්වරය යන නම්වලින් හඳුන්වනු ලබන රෝගයක් වන කම්මුල්ගාය බෝවන රෝගයකි. ග්‍රාමීය පළාත්වල මේ රෝගය වැලඳුණු විට එම රෝගී දරුවන්ට දෙහි ඇඹුලින් නිල්දියකර කම්මුලේ ගෑම හෝ අලිහක්ක ඇල්දියෙන් ගලගා කම්මුලේ ආලේපකිරීම සිදු කෙරේ. ඊට අමතරව එම රෝගි දරුවාට කොත්තමල්ලි පත්පාඩගම් තම්බා දීමද සිදු කෙරේ. ඉන් දරුවාට සුවයක් ගෙන දේ. කෙසේ වෙතත් කම්මුල්ගාය හැදුණු විට එම දරුවා ප්‍රවේශම් කරගත යුතුය. ඇහැර තන්හාව නමින්ද සමහර ප්‍රදේශවල හඳුන්වනු ලබන්නේ කම්මුල්ගාය දෙයියන්ගේ ලෙඩක් ලෙසද හඳුන්වයි. ඒ සඳහා ඔවුන් දරුවා ප්‍රවේසම් කරගනිමින් පඬුරක්ද ගැටගසා කිළිකුණුවලින්ද ආරකෂා කර ගනියි. වඩාත්ම මේ රෝගය වැලඳෙන්නේ අවුරුදු පහත් පහළොවත් අතර දරුවන්ටය. රෝගී දරුවකුගේ තවත් අයකුට රෝගය බෝවන්නේ ස්පර්ශයෙන් හා පැපොල, සරම්ප, බෝවන ආකාරයටය. සමහර අවස්ථාවලදි යෞවන වයසේ අයට ද රෝගය බෝවීමේ තත්ත්වයන් පවතී. වරක් කම්මුල්ගාය, වැලඳුණු අයට නැවත වරක් රෝගය වැලඳෙන්නේ කලාතුරකිනි. එයට හේතුවන්නේ මේ රෝගය ප්‍රතිශක්තිකාරක අසනීපයක් වන බැවිනි. ආයුර්වේදයේ දැක්වෙන පරිදි වා , පිත්, සෙම් කෝපයෙන් හටගන්නා ජ්වරයක් ලෙස විස්තර කෙරේ.

රෝගය වැලඳීම

දෝෂ කෝපයට සහ උණ ඇතිවීමට හේතු වන්නේ කම්මුල්ගාය ඇතිකරන විෂබීජයයි. රෝගියා කිවිසුම් අරින විට තදින් ප්‍රශ්වාස කරන විට සහ කසින විට සොටු බිඳිති සමඟ විෂබීජය විසිරී යයි. එම විෂබීජ නිරෝගී අය හා ගැටීමෙන් රෝගය වැලඳේ. එසේ වීමෙන් එක්වරම රෝගය මතුවන්නේ නැත. රෝගය වැලඳෙන්නේ විෂබීජය ශරීරය ගතවී දින දොළහක් විසිඅටක් අතර කාලයේදීය. වැඩිම වුණොත් දින දහඅටක් වේ. රෝගය පවතින කාලසීමාව ලෙස දින හතක් දහයක් ලෙස හෝ තවත් දින කීපයක් තිබිය හැකිය. එහෙත් දෙසතියක් ගිය කල රෝගය සුවවේ.

රෝගී තත්ත්වය

රෝගය ඇතිවූ විට මුලින්ම දැනෙන්නේ හක්කේ වේදනාවයි. යමක් විකිණූූවිට පළමුව වේදනාවක් ඇතිවේ. සමහර අයට මුල්දිනවලදී උණගතියක්ද ඇතිවේ. උණ ඇතිව හෝ නැතිව හක්කේ ඉදිමුම හා තඩිස්සි ගතියක් ඇතිවේ. තවත් අයට තල්ල ඉදිමීම හා වේදනාව ඇතිවේ. එමෙන්ම කම්මුල් දෙකම ඉදිමෙන තත්ත්වයක්ද පවතී. මේ රෝගයේදී ඇතිවන තවත් ලක්ෂණයකි කම්පෙත්තේ ඉස්සීමක්ද ඇති වීම. මෙවැනි රෝගී තත්ත්වයන් ඇතිවූ විට රෝගියා අන් අයගෙන් වෙන්කර තැබිය යුතුය. එසේ කළ යුතු වන්නේ ඉදිමුම බැස යනතෙක් පමණකි. සුවදායක තත්ත්වයක් ඇතිකර ගැනීමට රෝගියාගේ බෙල්ල තුවායකින් හෝ ආවරණය කර වසා තැබිය යුතුය. නිතරම මුඛය පිරිසුදුව තබාගත යුතු අතර කෑමට පහසු දෙයක් ලබා දිය යුතුය. රෝගය සුව වූ විට යම් යම් අසනීපකම් මතුවිය හැකිය. යටිබඩේ අපහසුවක්, උකුලේ වේදනා මෙන්ම වමනේ පවා ඇති විය හැකිය. කෙසේ වෙතත් රෝගියාට විවේකීව සිටීමට ඉඩ සලසා දිය යුතුය. උගුර, කට සේදීමට ලුණු මිශ්‍ර වතුර වඩාත්ම සුදුසුය. මළබද්ධය වුවද ඇතිවිය හැකිය. එවැනි අවස්ථාවලදී පලතුරු වැඩියෙන් කෑමෙන් එය මඟහරවා ගත හැකිය. ළමා වියේ කවර අවස්ථාවක වුවද කම්මුල්ගාය වැලඳීමට හැකියාව ඇත. එම නිසා බටහිර වෛද්‍ය ක්‍රමයේදී මෙවැනි බෝවන රෝග සඳහා එන්නත් කිරීම සිදු කෙරේ. ළමයින්ගේ ආරක්ෂාව සඳහා සිදුකරනු ලබන එම එන්නත් වගේම ප්‍රතිශක්තිකරන වැඩසටහන් මෙන්ම එන්නත් ලබාදීමටත් ඔවුන් පියවරගෙන ඇත. ඒ ගැන සැලකිලිමත්ව බෝවන රෝගයක් ඇතිවුවහොත් ගම්බදව වචනයෙන් කිව හොත් හිතුමතේට ප්‍රතිකාර නොකර වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර ගැනීම වඩාත්ම සුදුසුය.

මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චිස්.එස්.එස්. ප්‍රනාන්දු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.