රුව ලස්සන, හිසකෙස් වල දීප්‍තිය වඩවා ඉස් හොරි මර්දනයට ගස්ලබු

නොවැම්බර් 12, 2021
ගස්ලබු එහෙමත් නැත්නම් පැපොල් අපි හිතන්නේ නැති තරම් පෝෂ්‍යදායී පලතුරු වර්ගයක්. අපේ රටේ පැපොල් ඕන තරම් තියෙන නිසා අපිට ඒවායේ අගයක් නැහැ. නමුත් වෙනත් රටවල පැපොල් වලට ඇති ඉල්ලුම ඉතා ඉහළයි. පැපොල් සිරුර අභ්‍යන්තරයේ වගේම බාහිරටත් එක වගේ පෝෂණයක් ලබා දෙනවා.
  
සමේ තෙතමනය රඳවා ගැනීමට ගස්ලබු මී පැණි මිශ්‍රණය
හොඳීන් පොඩි කරගත් ගස්ලබු තේ හැන්දකට පිරිසිදු මී පැණි තේ හැන්දක් මිශ්‍රකර මුහුණේ ආලේප කරන්න. පැය භාගයකට නොඅඩු කාලයක් මේ ආලේපනය මුහුණේ තබාගත යුතුයි. හොඳීන් වියළුණු පසු මෙම ආලේපනය සිසිල් ජලයෙන් සෝදා හරින්න. මේ සත්කාරය මඟින් සිදු වන්නේ අධික වියළි බව නිසා සමේ ඇතිවන කොරපොතු සහිත ස්වභාවය නැති වී යාමත් සමට තෙතමනයක් ලබා දීමත් කියන ප්‍රධාන ක්‍රියාවයි.
 
සමේ අඳුරු ලප කැළැල් ඉවත් කිරීමට ගස්ලබු යුෂ.
 
ගස්ලබු යුෂ කොට්න් පුළුන් කැබලි වලට පොඟවා ගන්න. ඉන්පසු මේ කොට්න් පුළුං කැබලි තුනී ස්ථර ලෙස සකස් කර ඔබේ මුහුණේ ලප කැළැල් සහ අඳුරු පැල්ලම් සහිත ස්ථාන මත ස්පර්ශ වන සේ තබන්න. විනාඩි 15 ක් 20 කින්  පමණ මේ පුළුන් කැබලි ඉවත් කරන්න. ඉන්පසු ගස්ලබු යුෂ ගතිය ඉවත් වන ලෙස සිසිල් වතුරින් මුහුණ සෝදා හරින්න. මේ සත්කාරය මඟින් මුහුණේ අඳුරු පැහැති ලප සහිත ස්වභාවය ක්‍රමයෙන්අඩු කරගන්න පුළුවන්.
 
සමේ රැලි ඉවත් කිරීමට ගස්ලබු පොතු සත්කාරය
 
අවුරුදු 35 ඉක්ම යාමත් සමඟ විශේෂයෙන් කාන්තාවන්ගේ මුහුණේ සියුම් රැලි මතු වෙන්න පටන් ගන්නවා. මේ රැලි ස්වභාවය ක්‍රමයෙන් ඉවත් කරන්නත් ගස්ලබු වලට පුළුවන්. මේ සඳහා පාවිච්චියට ගන්නේ ගස්ලබු පොත්තයි. ගස්ලබු ගෙඩියේ මදය කෑමට ගත් පසු ඉතිරිවන පොත්ත  මුහුණේත්, බෙල්ලේත් හොඳීන් අතුල්ලන්න. ඉන්පසු විනාඩි 15 කින් පමණ පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න. ඉදුණු ගස්ලබු පොතු වල ඇති එන්සයිම වර්ග මුහුණේ සහ බෙල්ල ප්‍රදේශයේ ඇති මැරුණු සම ක්‍රමයෙන් ඉවත් කරනවා. මැරුණු සම ඉවත් වීමෙන් වියපත් පෙනුමක් ඇති කරන සමේ රැළි අඩකින් පමණ අඩු වෙනවා.
 
හිසකෙස් හැලීමෙන් වැළකීමට ගස්ලබු යුෂ පානය.
හිසකෙස් හැලීම අඩු කරන්න හොඳම විදිය තමයි දවසකට ගස්ලබු යුෂ වීදුරු දෙකක්වත් (සීනි නොයෙදූ) පානය කිරීම ඉතාම සුදුසුය. ගස්ලබු වල ඇති ෆෝලික් අම්ලය මඟින් හිසේ කෙස් ගස් සහ කෙස් මූල ශක්තිමත් කරනවා. ඒ විතරක් නෙවෙයි හිසකෙස් වල වර්ධනයත් වැඩි කරනවා.
 
නිරෝගි කෙස් කළඹකට ගස්ලබු ආලේපනයක්
දිදුලන කෙස් කළඹකට ඔබත් කැමති නම් කරන්න තියෙන්නේ යෝගට් සහ ගස්ලබු මද සම ප්‍රමාණ වලින් මිශ්‍රකර විනාඩි කීපයක් තබා කෙස් කළඹේ ආලේප කිරීමයි. හිසකෙස් තීරු ලෙස බෙදා ඉහත මිශ්‍රණය හොඳීන් කෙස් ගස්වල වදින ආකාරයට ආලේප කරන්න. පැයක් පමණ තබා සෝදා හරින්න. ගස්ලබු වල විටමින් ඒ බහුලව තිබෙනවා. මේවා සීබම් නොහොත් ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි වල ක්‍රියාකාරිත්වයට ඉතාම වැදගත්. 
හිස්හොරි පාලනයට ගස්ලබු ඇට
ගස්ලබු ඇට අපේ සෞඛ්‍යයට ඉතාම හිතකරයි. ගස්ලබු ඇට හොඳීන් බ්ලෙන්ඩ් කර පේස්ට් එකක් සාදා එය හිස් කබලේ හොඳීන් ආලේප කරන්න. පැයක් පමණ එසේම තබා ෂැම්පු කර සෝදා හරින්න. හිස්හොරි කියන්නේ දිලීරයක්. මේ දිලීරය විනාශ කරන්න ගස්ලබු ඇටවල ඇති ප්‍රති දිලීරකාරක වලට පුළුවන්. මෙම සත් කාරය තුන්  හතර වතාවක් කිරීමෙන් පසු හිස්හොරි නිට්ටාවටම සුව වේවි.නැවත ඉස් හොරි මතුවුණොත් එම සත්කාරයම නැවත වතාවක් කරන්න
 
හෘද රෝග හා කොලෙස්ටරෝල් පාලනයට හිතකරයි
 
විටමින් ඒ බහුල පෝෂ්‍යදායීම පලතුරක් තමයි ගස්ලබු. ගස්ලබු දිනපතා තීරු දෙකක් බැගින් ආහාරයට ගැනීමෙන් හෘද රෝග පවා සමනය වෙනවා. ගස්ලබු කියන්නේ විටමින් සී වලින්ද පරිපූර්ණ පලතුරක්. කොලෙස්ටරෝල් පාලනය කිරීමේ හොඳම පලතුරක් ලෙසද ගස්ලබු හඳුන්වන්න පුලුවන්. කොලෙස්ටරෝල් තත්ත්වය වැඩි වීම නිසා ඇතිවිය හැකි රුධිර නාල ඇහිරී යාම මෙන්ම හෘද රෝග තත්ත්වයන් පවා ඒ මඟින් සමනය වෙනවා.
 
රඹුක්කන, 
කීර්ති එස්. කුමාර
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.