ශනි කුම්භයේ භූමි සම්පත් සරු වේ මේ හෙළ භූමියේ වගා සටනට නැකත එළැඹේ

දෙසැම්බර් 6, 2024

 

කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ පිළිවෙළින් ග්‍රහ හැසිරීම් රටාව හරහා ගොනු වී ඇත්තේ ශනි පළමුවැන්නේත්, රාහු දෙවැන්නේත්, ගුරු සතර වැන්නේත්, කුජ හය වැන්නේත්, කේතු අට වැන්නේත්, දස වැන්නේ රවි සහ බුධත් සිටින අතර ශුක්‍ර 11 වැන්නේ සිටින පරිදිය.

සමස්ත ග්‍රහ හැසිරීම් රටාව ඔස්සේ නිරීක්ෂණය කරන විට ශනි ලග්නගත වී සිටීමෙන් කෘෂිකර්මය හෙවත් ගොඩමඩ දෙකම සරුකරන සෙනසුරුගේ කිරණ බලශක්තිය මනාව ගොනුවී ඇත්තේය. ග්‍රහ හැසිරීම් රටාව අනුව බලන විට සෙනසුරු ලග්නගතවීම සාමාන්‍ය ජනයාට ගොවියන් සහ කම්කරු ශ්‍රමය ඉහළම තැනකට ඔසවා තැබීමට සමත් වේ. තමාගේ උපන් ගෙදරට සෙනසුරු වසර 30කින් පසු සෙමින් සෙමින් පිය නඟා තිබේ.

අනුන්ගේ ගෙවල අනවසරයෙන් ලැග සිට වෘෂභ, මිථුන, කන්‍යා, තුලා සහ තමාට ළෙන්ගතුම තැනවූ මකරයේ ද ලැග අද වන විට ශනි මහ ගෙදර සතුටින් කල්ගෙවයි.

කුම්භ ලග්නගත කේන්ද්‍රය නොව ශනි උපතේදී සිටි තැන ගැන ද බලනවිට දැන් තත්ත්වය ඉතාම සුබදායකය.

රජයේ වැඩි අවධානය යොමුවී ඇත්තේ කෘෂිකර්මයටය. ආහාර සෑම ජීවියකුටම අනිවාර්ය අවශ්‍යතාවයකි. මේ පිළිබඳව ගැඹුරින් බලන විට දේශය ආහාරපානවලින් සුඛිත මුදිත කිරීමට අදාළ කතිකාවතක් ආරම්භ කිරීමට සුබසෙත පත්‍රයෙන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවාසීන්ට මෙන්ම ගොවි මහතුන්ටත් ඇස් ඇර කඩතුරාව ඉරා බැලීම සඳහා මෙවැනි සටහනක් සුහද පාඨකය පිරිස වෙත තිළිණ කරන්නට කැමැත්තෙමි.

කවුරු කෙසේ පැවසුවත් හෙළ දෙරණට අධිපති දුක සැප දෙකටම ඔරොත්තු දෙන සෙනසුරු උදැල්ල අතට ගෙන ඇත.

අප ශ්‍රී ලංකාව නමැති මාතෘභූමිය විදේශීය ආධිපත්‍යයෙන් නිදහස ලැබුයේ වර්ෂ 1948 පෙබරවාරි මස 4වැනි දිනයේදීය. එතැන් සිට මේ රට පාලනය කළ රාජ්‍ය පාලකයන් ගණනාවකි. එහෙත් අප මාතෘ භූමිය දිනෙන් දින ආර්ථික වශයෙන් මහා ප්‍රපාතයකට පත් වී ඇත.

එම නිසා මේ අවස්ථාවේ හෝ අප රට නිවැරැදි මඟකට යොමුකරමින් රට ආර්ථිකයෙන් ශක්තිමත් කරමින් රට සංවර්ධනය කළ යුතුව ඇත. රටේ පුරවැසියාගේ ආහාර සුරක්ෂිතතාවය, අධ්‍යාපනය, සෞඛ්‍යය අත්‍යවශ්‍ය සේවාවක් කළ යුතුය. රටේ පුරවැසියාගේ ද දායකත්වය මේ සඳහා ලබාගත යුතුමය. සියලු ක්ෂේත්‍රවල අත්දැකීම් සහ ප්‍රායෝගික දැනුම ලැබුවන් මේ සඳහා සම්බන්ධ කර ගත යුතුය. විශ්‍රාම ගියද, කෘෂිකර්ම ක්ෂේත්‍රය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල තවමත් වැඩ කළ හැකි ශ්‍රමය ලබාදිය හැකි බොහෝ පිරිසක් ඇත.

ඒ අයද එම ශක්තිය ලබා දීමට රට නංවාලීමට කැමැත්තෙන් සිටිති. එනිසා අලුත් කෘෂිකර්ම ව්‍යාපෘති පවා ආරම්භ කළ හැකිය. අපගේ දිවයින වැඩි වශයෙන් කෘෂිකර්මයට නැඹුරු රටකි. ඈතට දිවෙන ඒ අතීතය අමතක කර අපට ගමනක් යා නොහැකිය. එකල මහා වාරි ශිෂ්ටාචාරයක් ගොඩනඟමින්, සාගර බඳු වැව් ගොඩ නඟමින්, අප රට අහරින් ස්වයංපෝෂිත කිරීමට දැවැන්ත වෙහෙසක් කර ඇති බව අපට පෙනේ. ඔවුන් මොනතරම් ශ්‍රමයක් සහ ජීවිත ගණනාවක් එදා පූජා කරන්නට ඇතිද? ඒ උදාර මුතුන් මිත්තන් අපගේ මතකයේ සදා රැදී ඇත. ඒ අතීතයත්, වර්තමානයත් ගැන බලා හොඳ දේ උකහා ගනිමින් අප රටේ අනාගතය ගොඩ නැඟිය යුතුය.

වැව් දහස් ගණනක් ඉදි කරමින් රජරට වැව් බැදි ශිෂ්ටාචාරයක් ගොඩ නඟා ඇත. අප රටට පමණක් නොව විදේශ රටවලටද සහල් යැවූ දිවයිනක් බව ඉතිහාස ග්‍රන්ථවලින් අපට පෙනේ.

රටේ ජනතාවගේ මූලිකම අවශ්‍යතාව මුතුන් මිත්තන් මෙසේ ඉටු කර ඇත. කලාවැව ගොඩ නැඟූ ධාතුසේන රජු තම පුත් කාශ්‍යපකුමරා වස්තුව ඉල්ලූ විට වැවට ගොස් දිය දෝතක් ගෙන මේ ඔබට ගොඩ නඟා ඇති වස්තුව යයි පෙන්වීය. එවැනි රජවරු මහා අනර්ඝ සම්පත් ඉදිරි පරපුරට ද දායාද කර ඇති බව පෙනේ.

එම නිසා ග්‍රාමීය මට්ටමේ සිට ස්වංපෝෂිත ආර්ථික රටාවක් අප ක්‍රියාවට නංවාලිය යුතුම වන්නේය. රටේ සියලු දෙනා වගා සංග්‍රාමයක යෙදිය යුතුමය. එවිට අපේ ඉදිරි දරු පරම්පරාවත් දෙමව්පියනුත් එකට ඉඳගෙන හිනැහෙන දවසක් උදාවනු ඇත.

 

විශ්‍රාමික කෘෂිකර්ම නිලධාරි

ප්‍රජා සංවර්ධන සම්බන්ධිකාරක

එම්.එස්. ජයකොඩි

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.