සිකුරුට ජය හිමිවන අගෝස්තු මාසයේ ලග්න රැසකට ආර්ථික වාසි

ජූලි 19, 2024

පොදුවේ සියලු ලග්න හිමියන්ට සුබ කාලවකවානුවක් උදා කරමින් අගෝස්තු මස 05 වැනිදා වක්‍ර වන බුධ සමඟ 08 වැනිදා යුද වදින සිකුරු සටනින් ජය ගනී. සිකුරුගේ මේ ජයග්‍රහණය හේතුවෙන් මිථුන, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, කුම්භ යන ලග්න හිමියන්ට අගෝස්තු මාසය සතුට සැනසුම මෙන්ම ආර්ථික වාසි බෙහෙවින් ලැබෙන සමයක් ලෙස ගත හැකි වෙයි.

මේෂ, වෘෂභ, කටක, ධනු, මකර, මීන ලග්න හිමියන්ට ද සුබ කාල පරාසයක් ලෙස ගැනුණ ද යම් යම් සුළු පරිමාණ බාධක මතු විය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් ජීවන මඟ සකසා ගැනීම බුද්ධි ගෝචර වනු ඇත. මානුෂික ස්වරූපයක් ඇති සිකුරුගේ ජයග්‍රහණය සමඟ විද්‍යා ක්ෂේත්‍රයේ මෙන්ම යාන වාහන, විවාහ ඇතුළු අනෙකුත් සබඳතා, පවුල් ජීවිතය, ගොඩ මඩ ඉඩකඩම්, මැණික් මිනිරන් පතල්, නිධන් වස්තු, අලුත් රෙදිපිළි, කාර්මික, කෘෂිකාර්ම්ක ආදි ක්ෂේත්‍රවල සුබවාදී නව මඟක් පෙන්නුම් කරනු ඇත. එසේම සිකුරුගේ මේ ජය, කලා ක්ෂේත්‍රයේ නව ගමන් මඟක් ඇති කිරීමට හේතු වෙයි. ශ්‍රී ලංකාව අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත් වීමට හේතු වන පිහිටීමකි. තරුණ පිරිස් අතර රැකියා ආදායම් මාර්ගවල අවදි වීමක් සිදු විය හැකිය. දෙස් විදෙස් අනුග්‍රහය ලැබීමෙන් භාණ්ඩාගාරය පිරී යෑමට කරුණු යෙදෙනු ඇත. එහෙත් සිකුරු සමඟ යුද්ධයෙන් බුධ පරාජය වීම බුද්ධිමතකුට හෝ කලාකරුවකුට මාරාන්තික අපල ගෙන දෙන ග්‍රහ පිහිටීමක් වනු ඇත. බුධට කාරක වන දැන උගත්කම, අධ්‍යාපනය, තැපැල්, දුම්රිය, බලශක්ති ආදි ක්ෂේත්‍රවල ද යම් යම් ගැටලු මතු විය හැකි වකවානුවකි.

කොසොල් රජුගේ සිහින දහසයෙන් කියැවෙන කරුණු වැනි දේ දැකිය හැකි කාල සීමාවක් ලෙස වුව හැඳින්විය හැකිය. විශේෂයෙන් දරුවන් අයහපත් මාර්ගවලට යොමු වීමෙන් වළක්වා ගැනීමටත් කාන්තාවන්ට අපචාර විපත් සිදුවීම අවම කර ගැනීමටත් වැඩිහිටියන්ගේ අවධානය යොමු විය යුතුය. ඒ කෙසේ වෙතත් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වීම, ජන ජීවිතය සුඛිත මුදිත වීමට අවශ්‍ය පියවර ගැනීම, ආනයන අපනයන කටයුතු දියුණු වීම, ඇඟලුම් හා කෘෂි ක්ෂේත්‍රවල නව අණපනත් සකස්වීම දැකිය හැකිය.

අගෝස්තු මාසයේ ග්‍රහ ගෝචරයන් සැලකීමේදී මූල්‍ය ආර්ථික ව්‍යූහය ආශ්‍රිතව උසස් සහනදායී පිළිවෙතක් සමස්ත ලෝකවාසීන් වෙතම ලැබීමේ ප්‍රවණතාවක් දැකිය හැකිය.

මේෂ ලග්නය

අපේක්ෂා ඉටුවන කාලයකි. එහෙත් තැන්පත් දේපොළ වස්තුව ආදායම් මාර්ග පිළිබඳ අවධානයෙන් සිටීම වැදගත්ය. පදිංචි නිවාසය වෙළෙඳ ව්‍යාපාරය ගොඩ මඩ ඉඩකඩම් ආශි‍්‍රත අලුත්වැඩියා සිදු කෙරේ. උත්සව සඳහා උනන්දුවන හැකි කාල පරාසයකි. ප්‍රභූ ජනතාව ඇසුරට ලැබෙයි.

වෘෂභ ලග්නය

උනන්දුව උත්සාහයද ප්‍රබල වෙයි. හදිසි තීරණ තීන්දු ගැනීමෙන් වළකින්න. 10 වැන්නෙ සස යෝග බලය ක්‍රියාත්මක වීමෙන් සතුටුදායක පසුබිමක් ද පවතී. අමතක නොවන අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදු විය හැකිය.

මිථුන ලග්නය

වාසනාවේ රුවන් දොරටු විවර වන කාලයකි. ධනය, බලය, කීර්ති, ප්‍රශංසා, ගලා එයි. වාසස්ථාන, ව්‍යාපාර, ගොඩමඩ ඉඩකඩම් සශ්‍රීක බවට පත්වෙයි. අපේක්ෂා සියල්ල ඉටුකර ගැනීමේ වාසනාව උදාවෙයි.

කටක ලග්නය

ආරම්භක කරුණු දියුණුවට පාත්‍ර වෙයි. රැකියා ආදායම් මාර්ග සේවා උසස් දියුණුවට නැඹුරුවෙයි. ප්‍රභූ ජනයාව ඇසුරට පාත්‍ර වෙයි. එහෙත් සතුරු බලපෑම් ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.

සිංහ ලග්නය

07 වැන්නෙහි සස යෝගබලය ක්‍රියාත්මකව පවතිනු ලබයි. රැකියා ආදායම් මාර්ග කාර්මිකත්වයද නිවාස, පදිංචි භූමිය ආශි‍්‍රතව උසස් ජීවන ගමන් මඟකට යොමු වේ.ප්‍රභූජනයා ඇසුරද යෙදෙනු ඇත. අපේක්ෂාවන් මල්පල ගැන්වෙන සමයකි.

කන්‍යා ලග්නය

උසස් ජීවන මඟකට යොමු වන සමයකි. තුරඟ තරඟ විභාග විජයග්‍රහණද උත්සව සාද ආදිය යෙදීමද සිදුවන කාල පරාසයෙකි. ධනය බලය මුල් කරගත් කරුණු අතර විශිෂ්ටත්වයට පත්වෙයි.

තුලා ලග්නය

අධ්‍යාපනය සබඳතා, විවාහ මංගල කටයුතු සාර්ථක බවට පාත්‍ර වෙයි. දෙස් විදෙස් සංචාරක මෙන්ම උත්සව ආදියට ආරාධනා ලැබෙයි. දැන උගත් වියතුන් ඇසුරට ලැබෙනු ඇත. පොදු ජනතාව මෙන්ම ප්‍රභූ ජනයා ආශි‍්‍රතව හිතෛෂී දැන හැඳින ගැනීම් යෙදෙයි. උසස් අධ්‍යාපනයකට වාසනාවෙහි රුවන් දොරටුව විවර කෙරෙන කාල පරාසයකි.

වෘශ්චික ලග්නය

ධනය, බලය, කීර්තිය, ප්‍රශංසාව, ජන ප්‍රසාදය ලැබෙනු ඇත. උත්සව සභා, සුහද හමුවීම් ආදි අවස්ථාවනට ආර්ධනා ලැබෙයි. රැකියා ආදායම් මාර්ග සතුටුදායක වෙයි. උසස්වීම් ගරු සැලකිලි සම්මාන ලැබෙයි. ප්‍රභූ ඇසුරයට පත් වෙයි.

ධනු ලග්නය

හදිසි තීරණ තීන්දු ගැනීමෙන් වළකින්න. ආගම දහම මුල් කරගත් චිත්ත චෛතසික අතර ජවබල සම්පන්න බව වර්ධනය කර ගැනීමෙන් යහපත් ජීවන ගමන් මඟකට ආශීර්වාදය ලැබෙනු ඇත. ඉදිරි ගමන් මාර්ගය කෙරෙහි අවධානයෙන් කාලය ගෙවීම සුබය.

මකර ලග්නය

සාමකාමී සහජීවන ගමන් මඟකට යොමු කෙරෙන ග්‍රහචාරයෙකි. නිර්මාණශීලී ප්‍රබුද්ධ ගමන් මඟ වඩ වඩාත්ම ආශිර්වාදය පිණිසම හේතු සාධක වෙයි. බොහෝ දුරට සෘජුව අවංකව අනාගත කාල පරාසය සුබවාදී කරගැනීමට ජන්මීන් උත්සාහ දැරිය යුතු කාල වකවානුවකි.

 

කුම්භ ලග්නය

ලග්න භාවයෙහි වක්‍ර ශනි සස යෝග බල සම්පන්නව යෙදී ඇත. දහසක් දෝෂ භංග වන භාග්‍යවත් කාල පරාසයකි. ධනය, බලය, දේපළ වස්තුව, රැකියා ආදායම් මාර්ගවලින් බොහෝ දුරට සාර්ථක වනු ඇත. තිරසාර ජීවන ගමන් මඟක රසාස්වාදය දෝරේ ගලායන අසීමිත සැනසුමක් සතුටක් ඔබගේ මානසිකත්වය පුරා පැතිරෙනු ඇත.

මීන ලග්නය

අවිහිංසාව, අවංකබව, පිරිසුදු චරිතය, සත්‍යය වාදී බව, යහපත් සුපිරිසුදු සංකල්පනා මත සාර්ථකත්වයේ පසුබිම වඩ වඩාත්ම ශක්තිමත් වෙයි. රැකියා ආදායම් මාර්ග, උසස්වීම්, විජයග්‍රහණ, සම්මාන ගලා එන අසිරිමත් කාල පරාසයක් ඈතක නොවන බව පැවසිය හැකිය. උසස් ප්‍රභූ ඇසුරට පත් වෙයි. සතුට සැනසුම පිරි කාලපරාසයකි. ඒ අතරම සතුරන්ගෙන් ප්‍රවේශම් විය යුතුය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.