ජූලි 15 වැනිදා කුජ සමඟ යුද්ධයෙන් යුරේනස්ට ජය

කටක-සිංහ-ධනු-මීන ලග්න ජය මඟක
ජූලි 12, 2024

නව නිපැයුම් එළිදකී

ගැබිනි මවුවරුන් පරෙස්සම් වන්න

 

කටක, සිංහ, ධනු, මීන ලග්නවලට ජය මාවත උදා කරමින් 2024 ජූලි මස 15 වැනිදා රාත්‍රී 7.35ට ග්‍රහලොව සෙන්පති කුජ සහ යුරේනස් ග්‍රහයන් අතර යුද්ධයෙන් යුරේනස් ජය ගනු ඇත.

මෙහිදී එම ලග්න හිමියන්ට ධන ලාභ, සියලු කටයුතුවලින් ජය, අභිවෘද්ධිය ඇතුළු සුබපල හිමි වන අතර අනෙක් ලග්න හිමියන්ට මිශ්‍ර පල උදා කරයි.

ග්‍රහ යුද්ධයක දී ජය ලබන ග්‍රහයාට අයත් කාරකත්වයන් හි විශේෂ ප්‍රබෝධයක් ඇතිවීම සාමාන්‍ය ඡ්‍යොතිෂ පිළිගැනීමයි. පරාජයට පත්වන ග්‍රහයාගේ කාරකත්වයන් හා නිවේදකත්වයන්ට හානි ඇතිවීමද ඊටම අදාළ ස්වභාවයකි.

යුරේනස්, පාප ග්‍රහයකු ලෙස සැලකුවත් ඔහු නව නිපදවීම්, අලුත් සොයා ගැනීම් හා ලෝකයෙහි ඉදිරි ගමනට අත හිත දෙන , මෙතෙක් නොපැවති යම් යම් සුවිශේෂ නිර්මාණයන්, නිෂ්පාදනයන් ලෝකයට දායාද කළ හැකි ස්වභාවයක් ඇති කරන්නෙකි.

එනිසා භෞතික වශයෙන් ලොවට පලදායක යම් යම් අලුත් නිෂ්පාදන, අලුත් සොයා ගැනීම් සඳහා යුරේනස්ගේ ජයග්‍රහණය හේතුවක් විය හැකිය. මුදල් හදල් භාවිතය සම්බන්ධව ලෝකයෙහි පැවැති යම් යම් ඒකාධිකාරයන් වෙනස් වී යන බවක් දැකිය හැකිය.

ඩොලරය අභිබවා, වෙනත් මුදල් භාවිතයන් ඉදිරියට ඒමත් එම මුදල් භාවිතය අන්තර්ජාතිකව වඩාත් පිළිගැනීමට ලක්වීමත් මේ නිසා අපේක්ෂා කළ හැකිය.

විශ්ව කේන්ද්‍රයේ ධනස්ථානය වන වෘෂභයෙහි සිදුවන මේ යුද්ධයෙන් යුරේනස් ජයග්‍රහණය කරත්දී ධන කාරක ගුරු එම රාශියේම සිටීම ඊට හේතුවයි.

ලෝකයේ පවතින යුද ගැටුම්වල ඉදිරියෙන් සිටින අයගේ පසුබැසීමකට මේ ග්‍රහ යුද්ධය හේතු විය හැකි ය.

අප රටට අදාළව අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි යම් යම් අර්බුදකාරී තත්ත්වයන් ගෙනදීමටත් විශේෂයෙන් ලේ දූෂ්‍ය වූ පීඩා, හෘදයාබාධයන් වැනි සෞඛ්‍යමය ගැටලු උත්සන්න වීමටත් මෙය හේතුවක් විය හැකිය.

එසේම ගර්භිණී තත්ත්වයේ සිටින අය වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. මේ ග්‍රහ යුද්ධය පවතින කාල වකවානුව තුළ සුබ කටයුතු ආරම්භ කිරීම ආදිය එතරම් යහපත් නොවන බවද මතක තබාගත යුතු ය.

මේෂ ලග්නය

මුදල් හදල් සම්බන්ධ ගැටලු, ශරීර සෞඛ්‍යය සම්බන්ධ පීඩා, වැටීම්, තැලීම්, අත්වල ආබාධ ඇති කිරීමට හේතු වේ. එනිසා ආර්ථිකය, සෞඛ්‍යය පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුය.

වෘෂභ ලග්නය

දැඩි ඉක්මන් කාරී තීරණ ගැනීමෙන් වැළකිය යුතු ය. අනාරක්ෂිත ලෙස මුදල් හදල් වියදම් අවකාශයන් යෙදේ. 12 අධිපති කුජ යුද්ධයෙන් පර දින හෙයිනි. ගමන් බිමන්වලින් ආරක්ෂාකාරී වන්න.

මිථුන ලග්නය

12 වැන්න මුල්කොට සිදුවන මෙම ග්‍රහ යුද්ධය නිසා දුර බැහැර ගමන්වලදී ආරක්ෂාකාරී විය යුතු ය. අක්ෂි රෝග, ආහාර ජීර්ණ පද්ධතිය මුල්කොටගත් ආබාධ ඇති කිරීමට හේතු වන්නේ ය.

කටක ලග්නය

අයස්ථාන ගතව සිදුවන මේ ග්‍රහ යුද්ධය උපචය භාවයකට අදාළව සිදුවන්නක් නිසා යහපත් ප්‍රතිඵල ලැබීමටද අවකාශ යෙදෙයි. අනපේක්ෂිත ධන ලාභ, ලොතරැයි දිනුම් වැනි දෑ සඳහා ඉඩකඩ ඇත.

සිංහ ලග්නය

10 වැන්නේ, සිදුවන මේ යුද්ධය මත තමාගේ වෘත්තිය කටයුතුවල හිටි හැටියේ, වෙනසක් ස්ථාන මාරුවක් ඇති කිරීමට ඉඩකඩ යෙදිය හැකිය. ප්‍රශ්න ඇති වුවත් ඒ සමඟ ජය ද පවතී.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයට අනුව මේ ග්‍රහ යුද්ධය 9 වැනි භාවයේ සිද්ධ වෙයි. එහෙයින් තමාගේ යම් යම් විශේෂ බලාපොරොත්තු අරමුණුවලදී භාධාවන් එල්ලවීම හා ක්ෂණිකව ඇති කරන පීඩා ආදියට ඉඩකඩ යෙදිය හැකිය. ආගමික භක්තියෙන් යුතුව ක්‍රියා කිරීම එකම පිළියමයි.

තුලා ලග්නය

තුලා ලග්නයේ පරිදි 8 වැන්නේ ග්‍රහ යුද්ධය සිදුවීම එතරම් හිතකර නොවේ. සෞඛ්‍ය තත්ත්වයේ ඇද වැටීම් මුත්‍රා ආබාධ අනතුරු පීඩා ගැන කල්පනා කාරී වන්න. විවාහයේ සමගියට බාධා ගෙන දිය හැකි බැවින් ඉවසිලිමත් විය යුතුය.

වෘශ්චික ලග්නය

හත් වැන්නේම ග්‍රහ යුද්ධය සිදුවේ. කුජ, යුරේනස් දෙදෙනාගේ දැඩි සංයෝගයක් සමඟම සිදුවන මේ ග්‍රහ යුද්ධය නිසා හවුල් ව්‍යාපාර අන්‍යෝන්‍ය සම්බන්ධතා වැනි දෑවලදී ගැටුම් ප්‍රශ්න ඇතිවීමට අවකාශ යෙදිය හැකිය. ඉතාම ඉවසීමෙන් යුතුව ක්‍රියා කළ යුතු ය.

ධනු ලග්නය

ධනු ලග්න හිමියන්ගේ 6 වැන්නෙහි උපචය භාව ගතව පාපීන් දෙදෙනෙක්ම සිටීම තුළින් ඇතිවන මේ ග්‍රහ බලපෑම අහිතකර බවට පත් නොවේ. උපචය භාව ගතව පාපයන් සිටීම යහපත් වන හෙයින් එසේ වේ. කෙසේ නමුත් වාහන ගමනාගමනයේ දී කල්පනාකාරී වන්න.

මකර ලග්නය

කේන්ද්‍රයෙහි පස් වැන්නේ යෙදෙන මේ ග්‍රහ යුද්ධය හිටි හැටියේ මානසික ගැටලු අර්බුධයන් මතු කිරීමට ද හේතුවක් විය හැකිය. කලබලකාරී තීරණයන්ට නොඑළැඹී කටයුතු කිරීම තුළින් ප්‍රශ්න නිරාකරණය කරගත හැකිය.

කුම්භ ලග්නය

හතර වැන්නේම යෙදෙන මේ ග්‍රහ යුද්ධය ඥාති බන්ධුන්ට අපල මෙන් ම මාතෘ පාර්ශ්වයේ අයට ඇති කරන ගැටලු සඳහා ඉඩකඩ යෙදෙන අතර තමාගේ හෘදයගත පීඩා සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න.

මීන ලග්නය

කේන්දරයෙහි වික්‍රමස්ථානය වන තුන්වැන්නේ යෙදෙන මේ ග්‍රහ ගැටුම අහිත කර නැත. සාමාන්‍ය වූ ප්‍රශ්න ඇතත් තමාට ජයග්‍රහණයන්, අභිවෘද්ධිය, කැපී පෙනීමත් ඇති කිරීමට මෙය හේතු සාධක වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.