අධ්‍යාපනයට සුබ අසුබ ග්‍රහ බලපෑම්

පසුගිය සතියේ කර්තෘට ලියූ ලියුමට පිළිතුර
දෙසැම්බර් 27, 2024

අධ්‍යාපනය ප්‍රධාන වශයෙන් මූලික අධ්‍යාපනය, ද්විතීක අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය වශයෙන් බෙදේ. අධ්‍යාපනය සඳහා වන ග්‍රහ බලපෑම් පිළිබඳ බෝයගොඩ වජිරා මහත්මිය ඇසූ පැනයට ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග මහත්මිය ලබා දුන් පිළිතුරයි මේ.

බුධ ග්‍රහයා පාපින් දෙදෙනෙකුට මැදිවී නීචව පාප පීඩිත වීම, බුධ දැඩි ලෙස පාප පීඩාවන්ට ලක්වීම බුද්ධියේ ඌණතාවන් ඇති කරවන බව ඡ්‍යොතිෂ නියමයයි. එවිට සාමාන්‍ය විෂයයන් තේරුම් ගැනීම මතකයේ තබා ගැනීම ආදියට හැකියාව ඇතත් තර්කානුකූලව සිතා කටයුතු කිරීමට අපොහොසත් වීම නිසා ගණිතය වැනි විෂයන්ට දුර්වලතාවක් ඇතිවෙයි. එය ඉගෙනීමට බාධාවකි. එවැනි දරුවන්ට වෙනත් ක්‍රේෂ්ත්‍රවලින් අධ්‍යාපනය ලබාදීම සිදු කළ යුතුය.

කේන්දරේ හතරවැනි භාවය හා 04 අධිපති දැඩි ලෙස පාප පීඩාවට ලක්වූ විටද අධ්‍යාපනයට බාධා යෙදේ. විශේෂයෙන් අධ්‍යාපනයට බාධා ගෙන දෙන ග්‍රහයන් වන ශනි හා රාහුගෙන් හතරවැනි භාවය පීඩා වූ විට අධ්‍යාපනය අතරමඟ නතර වේ.

එහෙත් හතර අධිපති හෝ වෙනත් සුබ භාව අධිපතියෙකු වේ නම් එවැනි තත්ත්වයක් ඇති නොවේ.

එසේම අධ්‍යාපන භාවයන් එතරම් බලවත් නොවී, බුධ-ගුරු බලවත් නොවූ කේන්දරයක සිකුරු බලවත් වීමත් කුජ-සිකුරු යෝග ආදිය යෙදීමත් නිසා ඉගෙනුම සිදු කරන අවදියේදී ප්‍රේම සම්බන්ධතාවලට පැටලී නොමඟ යෑම නිසා අධ්‍යාපනය කඩාකප්පල් කර ගනී.

අධ්‍යාපනය සාර්ථක වීමට හේතුවන ග්‍රහ පිහිටීම් ඇතිව ඊට සුදුසු දශා කාලයක්ද යෙදේ නම් බාධාවකින් තොරව ඉගෙනීම කළ හැකි වෙයි.

එහෙත් බුධ 3,6,11 භාවවල නොසිට රාහු ශනි යන ග්‍රහයන්ගේ දශා මෙන්ම පාප පීඩිත කුජගේ දශාවක් පැවතීම අහිතකර ලෙස දීර්ඝ සෙනසුරු ඒරාෂ්ටක අපල යෙදීමත් අධ්‍යාපනයට බාධා ඇති කරයි.

පස්වැනි භාවයේ සුබ ග්‍රහයෙකු සිටීමද ගුරු හා සිකුරුගේ දෘෂ්ටිය ලබයිද 05 අධිපති සුබ බලපෑම් ලබයිද ජන්මියා ඔහුගේ දැනුම හා බුද්ධිය අන් අය සමඟ බෙදා ගනියි.

එමෙන්ම බුධ ආධිත්‍ය යෝගය යෙදී තිබුණහොත් අධ්‍යාපනයට දක්ෂතා ඇති කරයි. ගුරු හා කුජ එකිනෙකට දෘෂ්ටීන්ගෙන් යුක්ත වීමද අධ්‍යාපනය සාර්ථක වීමේ ලක්ෂණයි. 04 අධිපති සුබ කර්තරී වීමද හොඳ සිහි බුද්ධියක් ලැබීමට හේතු වේ. 05 අධිපති 09 අධිපති හා අන්‍යෝන්‍ය දෘෂ්ටියෙන් යුක්ත වීමද දැනුම ලැබීමට උපකාරී වේ.

 

 

ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග

----------------------------

කුජ ග්‍රහයා සම්බන්ධයෙන්

බණ්ඩාර - කටුගස්තොට

කර්තෘතුමියනි,

මා අසා ඇති පරිදි කුජ ග්‍රහයා බොහෝ විට ගෙන දෙන්නේ අසුබ පලය. එසේම කුජ ග්‍රහයා විවාහයට, ලේ සම්බන්ධ රෝගවලට, යුද්ධයට මූලික වන බව කියැවෙයි. මේ සියල්ලම මඟින් කුජ හෙවත් අඟහරු යනු අසුබවාදී දේ වෙනුවෙන් වෙන් වූ ග්‍රහයකු යන්න තහවුරු කරයි. ඡ්‍යොතිෂයේ ගිනි ග්‍රහයකු ලෙස ද හැඳීන්වෙන කුජ ග්‍රහයා අසුබ පල ගෙන දෙන ග්‍රහයෙක් පමණක්ම වන්නේ ද යන්න පිළිබඳ සවිස්තරාත්මකව සුබසෙත පුවත්පත මගින් ඡ්‍යොතිෂ සිද්ධන්ත අනුව පැහැදිලි කර දෙන්නේ නම් වඩා හොඳ යැයි මාගේ අදහසයි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.