පෙම් හබ විසඳූ කොණ්ඩදෙණියේ හීතල පෙට්ටිය

අගෝස්තු 9, 2024

 

නිකිණි මස සති අන්තයක ශනිදා හිමිදිරි පාන්දර කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් බ්‍රහ්ම හෝරාවෙන් අවදිව පුරා හෝරාවක් පමණ භාවනානුයෝගීව සිට ඉන් මිදී බෝධි මළුවත් පන්සල් භූමියත් ඇමද, පහළ පොකුණෙන් දිය ස්නානය කොට විත් බුද්ධ මන්දිරයේ සහ දේව මන්දිරයේ වත් පිළිවෙත් ඉටු කළ සේක.

ඒ සමඟ දේව මන්දිරයේ පහන්වල ආලෝක ප්‍රභාස්වරය වැඩි වී මුළු දේව මන්දිරයම ඒකාලෝක විය. එය වෙනකිසිවක් නොව දේව මණ්ඩලයේ පණිවිඩයක් බව හිමියෝ පළපුරුද්දෙන් දැන සිටියහ.

වහා දේවාරධානාව සිදුකළ හිමියන් බලගතු මන්ත්‍රයක් ජප කරන්නට වූ සේක. එදින උදයවරුවේ පැමිණෙන සියලු ආතුරයන්ගේ අරමුණු ඉටුකර දෙන බවට දේව මණ්ඩලය කළ සංඥාවක් බව හිමියන් වටහා ගත් සේක.

එබැවින් වැඩි පිරිසකට කඩිනමින් සෙත ශාන්තිය සලසාදීමේ අරමුණෙනන් උන්වහන්සේ පාන්දරම හීල්දානය වලඳා අවසන් කළ සේක. ඒත් සමඟ ළා නිල් පැහැති මොරිස් මයිනර් වර්ගයේ රථයක් පන්සල් ගේට්ටුව අසල නතර විණි. එකෙනෙහිම

“ඩිංගිරි බණ්ඩෝ.... ඔය කාරය ඇතුළට ගන්න ඉඩ දුන්නා නම්.” යනුවෙන් පවසනු ඇසිණි.

එහි ඉතා පි‍්‍රයමනාප පෙනුමැති තරුණ දියණියක්ද ඇයගේ මවද කඩවසම් පෙනුමැති රියදුරු මහතකුද සිටියේ ය.

“ඒ ඇත්තන්ට පහළ පොකුණෙන් මූණ කට සෝදාගෙන නෙලුම් මල්ද කඩාගෙන බෝධි මළුවටත්, බුද්ධ මන්දිරයටත් ගිහින් තමන් හිතාගෙන ආපු දේ ඉෂ්ඨ සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරලම එන්න කීවා නම් හොඳා.”

උදේ උණු උණුවේ හදන ව්‍යාංජනයක් එක්ක කුරහන් තලප සප්පායම් වන්නට දී තේ පැන් වලින් ද සංග්‍රහ කර හිමියන් වැඩ සිටින කාර්යාලයට කැඳවාගෙන එන ලෙස දුන් හිමි අණ එලෙසම පිළිපැදිණි.

“අවසරයි අපේ නායක හාමුදුරුවනේ. අපි නිකවැරටිය ඉඳලයි ආවේ... මේ මගේ එකම දුව. අපේ මහත්තයා නිකවැරටියේ පළාතටම හිටි හොඳ මුදලාලි කෙනෙක්. අපේ අවාසනාවකට ද කොහෙද අපේ මහත්තයා රිය අණතුරකින් අපෙන් සදහටම වෙන් වෙලා ගිහින්. ඒ කාලේ නිකවැරටියේ ලොකුම සිල්ලර කඩය තමයි අපට හිමිවෙලා තිබුණේ හාමුදුරුවනේ.”

“ඉතින් දැන් ඒක තවමත් පවත්වාගෙන යනවාද?”

“එහෙමයි හාමුදුරුවනේ, මේ දුව තමයි ඒක පවත්වාගෙන යන්නෙ. මෙයා තාත්තාටත් වඩා වෙළෙඳාම අල්ල ගත්තා. ඒකෙ සේවකයොයි, මැනේජරුත් මෙයාට ළෙන්ගතුව අවංකව වැඩ කරනවා. තොග වෙළෙඳාමත් දැන් ජයමට කරගෙන යනවා. ලොරි හත අටකුත් තියෙනවා හාමුදුරුවනේ.”

“දැන් දුවට වයස කීයක් වෙනවද?”

“මේ ළමයට එතරම් වයසක් නොපෙනුණාට දැන් වයස තිස් දෙකක් විතර වනවා. මෙයාට විවාහ යෝජනා කීයක් නම් ගෙනාවද? ඒ එකකටවත් මෙයා කැමැති නැහැ නොවැ. මොනව හරි ඇදයක් පෙන්නල මඟ හරිනවා හාමුදුරුවනේ. මම මේ බලන් ඉන්නෙ මේ දරුවව එකලහක් කරල මුණුබුරු මිණිපිරියන්ගේ මුහුණ බලා කියල හිත හදාගෙන මේ අන්තිම කාලේ සතුටින් ගෙවලා දාන්න කියලා. ඉතින් ඒකට වාසනාවක් නැති දෝයි කියල බය හිතිලයි ඔබ වහන්සේ මුණ ගැසෙන්න ආවේ.... මෙයාට බරපතළ ග්‍රහ දෝෂයක් වත් තියෙනවද කියල බලාගන්නත් එක්කයි හාමුදුරුවනේ....”

“දුවගේ වේලාපත්කඩය හෙම ගෙනාවාද?”

“එහෙමයි හාමුදුරුවනේ මේ තියෙන්නෙ”

සීලරතන නායක හිමියන් ඇයගේ කේන්දරය අතට ගෙන හොඳින් විමසා බැලීය. එහිදී පෙනී ගියේ මැය දිනෙක විවාපත් වන්නේ තමන්ගෙම සේවකයෙකු සමඟ බවය.

ඇයගේ හස්ත රේඛා පරීක්ෂා කිරීමෙන්ද ඒ කාරණය එලෙසින්ම ඉටුවන බව හිමියන්ට පෙනී වැටහිණි.

“ඩිංගිරි බණ්ඩෝ ඔය හීතල පෙට්ටිය හනික අරං ආවනං.”

එහි සම්බන්ධකර තිබූ වයර් කැබැලි දෙකේ කෙලවරට ටෝච් බල්බයක් සම්බන්ධ කර තිබූ අතර පෙට්ටියේ මැද අත පෙවීමට හැකි වළල්ලක ආකාරයේ සිදුරක් ද විය.

දුවත් අම්මාත් දේව මන්දිරයට කැඳවා දුවට හීතල පෙට්ටිය මැඳ ඇති කුහරයට දකුණු අත හොවා හිමියන් අසන ප්‍රශ්නවලට සත්‍ය පිළිතුරු සපයන ලෙසත්, අසත්‍ය දේ පැවසුව හොත් බල්බය පත්තුවන බවත් හිමියන් පැවසූ සේක. එසේ හිමියන් ප්‍රකාශ කිරීමත් සමගම දියණිය කලබලයට පත් වී සත්‍ය හෙලිදරව් කරන්නට වූවාය.

තම වෙළෙඳ සංකීර්ණ ජාලයේ ප්‍රධාන කළමනාකරු සමඟ කාලයක් තිස්සේ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව ඇය ප්‍රකාශ කරන්නට වූවාය. අද දිනයේ මොටර් රථය පදවාගෙන ආවේත් තමන්ගේ රියැදුරු ලෙසද සේවය කරන ඒ කළමනාකරුම බව ඇය ප්‍රකාශ කළා ය.

ඔහුට ද මුහුණ කට සෝදාගෙන පිරිසුදු වී දේව මන්දිරයට එන ලෙසට පණිවිඩයක් ඩිංගිරි බණ්ඩා අත යැවූ හිමියන්ගේ නියෝගය එපරිදිම සිදු කෙරිණි. මඳ වේලාවකින් තරුණ කඩවසම් කළමනාකරු (රියදුරු) හිමි පාමුල වැඳ වැටිණි. පුදුමයකට මෙන් ඔහුද තම කේන්දරය එහි රැගෙනවිත් තිබිණි. හිමියන්ට එය මහත් පහසුවක් විය. ඊට අමතරව ඔහුගේ හස්ත රේඛාද පරීක්ෂා කොට දියණියගේ කේන්ද්‍රය සමඟ සසඳා බලා දෛවයට අනුව මෙය ගැළපෙන බව හිමියෝ ප්‍රකාශ කළ සේක. “හදිසියක් නැහැ. හිතල බලල කැමති තීරණයක් ගන්න ඇහැකි” හිමියෝ පැවසූහ.

“හාමුදුරුවනේ මේ මැනේජර් මහත්තයා කාලෙක ඉඳලම මමත් දන්නා හඳුනන පවුලක කෙනෙක්. මම මේ කටයුත්තට විරුද්ධත්වයක් නැහැ” යනුවෙන් අවසානයේ මව ප්‍රකාශ කළා ය.

තිරය පිටුපස මෙතෙක් වැසී තිබූ ප්‍රේමාන්දරය හෙළි විය. තරුණ ඉලන්දාරියාගේත් දියණියගේත් මුහුණු සොම්නසින් පිරී ඉතිරී ගියේ ය. නායක හිමියෝ ව්‍යාපිරික දියණියටත්, තරුණයාටත් බලගතු මන්ත්‍රයකින් ජීවම් කළ පිරිත් නූල් පැළඳ වූ සේක. තිදෙනාම දේව මන්දිරය තුළ දී හිමියන්ගේ ආශිර්වා ලැබූහ. සියලු දුක්ඛ දෝමනස්සයන් අහවර විය. වසර කිහිපයකට පසුව දරුමුණුබුරන්ද පිරිවරාගෙන එම යුවළත් මවත් කොණ්ඩදෙණිය පාසලට පැමිණ එම පුංචි දරුවන්ටත් හිමියන් ගේ ආශිර්වාදය ලබා ගත්හ. කොණ්ඩදෙණිය පන්සලේ ගොඩනැඟිලි අලුත්වැඩියා රැසක් කර දීමට ද ඔවුන්ට අවකාශ සැලසිණි.

කොණ්ඩදෙණිය රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති ශාස්ත්‍රපති අනුරුද්ධ නායක හිමියන් හමුවටද බදුල්ලේ සිට නවීන මිට්සුබිසි ජීප් රථයකින් දෙමව්පියන් දෙපළද 28 හැවිරිදි තරුණ දියණියක්ද කඩවසම් රියදුරු මහතකු සමඟ පැමිණියහ. ඔවුන්ගේද ගැටලුව වී තිබුණේ තම දියණියට විවාහ යෝජනා රැසක් ගෙන ආවද ඒ එකකටවත් ඇය කැමැති නොවීමය. තම දියණියගේ විවාහය ප්‍රමාදවන්නේ ග්‍රහ දෝෂයක් නිසාද? යන්න සොයා බැලීමට ඔවුන් හිමියන් බැහැදැකීමට පැමිණි බව දෙමව්පියන්ගෙන් හෙළිවිණි. ඇයට දායාද වශයෙන් තේ වතු යායක් ඇතුළු විශාල දේපළක්ද හිමිකර දීමට දෙමව්පියෝ් කැමැති වී සිටියහ.

අනුරුද්ධ නායක හිමියන් දේව මන්දිරයට ඔවුන් කැඳවා බලගතු මන්ත්‍රයක් ජීවම්කරන්ට වූ විට දේව මන්දිරයේ සියලු පහන් ප්‍රභාෂ්වර වන්නට විය. හිමියන්ට කාරණා, කාරණා අවබෝධ විය. දෙවියන්ගේ නේත්‍රා දිහා බලාගෙන සත්‍ය පවසන ලෙසට උස්හඬින් හිමියන් නියෝග කරනවාත් සමඟම ඒ දියණිය හිමි පාමුල වැඳ වැටී ප්‍රකාශ කළේ අද ජීප්රථය පදවාගෙන පැමිණි තරුණ මහත්මයා සමඟ වසර ගණනාවක් තිස්සේ ප්‍රේම සම්බන්ධතාවයක් පවතින බවය. රියදුරු මහතා ද දේවමන්දිරයට වහාම කැඳවනු ලැබිණි. දෙදෙනාගේම කේන්ද්‍ර රැගෙනවිත් තිබීම ඒවා සසඳා බලා විවාහයට ඔවුන් දෙදෙනා ගැළපෙන බව අවබෝධ කර ගැනීමට හිමියන්ට පහසුවක් විය.

එදින වාහනය පදවාගෙන ආ තරුණයා අන් කවරෙකුත් නොව තමන්ගේ තේවත්තට අල්ලපු තේ වත්තේ හිමිකරුගේ පුත්‍රයා බැවින්ද කලක් තිස්සේ ඔවුන්ගේ පවුලේ සෑමදෙනාම මව්පියන් දන්නා හඳුනන බැවින්ද ඔවුන්ගේ විරුද්ධත්වයක් නොවිණි. හිමියන්ගේ බලගතු මන්ත්‍රය ජප කළ පිරිත් නූල් දෙදෙනාගේ කරෙහි පලඳවා දකුණු අත්වල ද හිමියන් එම පිරිත් නූල් ගැට ගැසූ සේක. පසු කාලීනව ඔවුන්ගේ විවාහය හිමියන්ගේ ආශිර්වාද මැද සිදු කෙරිණි. ග්‍රහ දෝෂ මුවාවෙන් පමා කෙරුණු බිය සැක ඉවත් කර සත්‍ය හෙළි කර ගැනීමට බලගතු මන්ත්‍ර ශාස්ත්‍රය පිළිසරණ විය.

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.