මේෂ ලග්නයෙන් උපන් ඔබටත් මේ වගේ විය හැකියි

අගෝස්තු 16, 2024

 

පුද්ගලයෙකුගේ ජීවිතයේ සාර්ථකත්වයට බලපාන විවිධ දේවල් අතර තාරකා ශාස්ත්‍රයත් තිබෙන බව ඔබ දන්නවා. මනුෂ්‍යයෙකුගේ ඉරණම තීරණය වන්නේ, ඔහු හෝ ඇය පෙර සිට පවත්වා ගෙන එන පිළිපැදීම් එක්ක. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව විශ්වයේ උපදින සෑම පුද්ගලයෙකුටම ලග්නයක් හිමිවෙනවා.

එය ඔබට ජීවිතයේ දී ලග්නයක් හිමිවන තැන තීරණය කරනවා. උපතින් ඔබට හිමිවන රාශියට අනුව ජීවිතයේ විවිධ පැතිකඩ ගැන ලියැවී තියෙනවා. කෙනෙක් ප්‍රකට පුද්ගලයෙකු වන්නේ, මේ රාශි චක්‍රය තුළ ග්‍රහයාගේ පිහිටීමෙන් එන බලපෑම මතයැයි සමහරුන් විශ්වාස කරනවා. ඔබ කලාකරුවෙක්, ලේඛකයෙක්, ව්‍යාපාරිකයෙක්, ක්‍රීඩකයෙක්, නිර්මාණකරුවෙක් ලෙස සමාජයේ ඉදිරියට යද්දී එම තරු ලකුණු එය පිටුපස පවතින බව අනාවැකිකරුවන් පවසනවා. මේ පිළිබඳ විවිධ පර්යේෂණ කරලා තියෙනවා.

රාශි චක්‍රයේ පළමු රාශිය මේෂ රාශියයි. මේෂ ලග්න හිමියෙකුගේ සාමාන්‍ය ගති ස්වාභාවය ගැන කතා කිරීමේ දී ඔහු හෝ ඇය මධ්‍යම ප්‍රමාණයේ සිරුරක් හා හතරැස් මුහුණකින්යුක්තය. ඉතා උනන්දුවෙන් හා උත්සාහයෙන් යුතු කෙනෙක් වෙනවා. උසස් අදහස් ඇති මොවුන් වෙලාවට වැඩ කිරීමට උපන් දක්ෂයන් වෙනවා. ජය හා ප්‍රසිද්ධිය ලැබීමටද භාග්‍යය ඇති ඔවුන් කීර්තී ප්‍රශංසා ලැබීමටත් බොහෝ සෙයින් ප්‍රිය කරනවා. ඕනෑම දෙයක් පහසුවෙන් ග්‍රහණය කර ගත හැකි මොවුන් විශාල ව්‍යාපාර කටයුතුවලට දක්ෂයි.කඩිසර ගති පැවතුම් ඇති මේෂ ලග්න හිමියන් ස්ථිරඅදහස් ඇත්තන්ය. ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ අය මේෂ ලග්නයෙන් ඉපදී සිටින බව නොරහසකි.අද කතා කරන්නේ එවන් මේෂ රාශියෙන් උපන් ලොව වඩාත් ජනාදරයට පත් ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු ගැනයි.

සමහරු උපතින්ම ධනවත් ප්‍රසිද්ධ පුද්ගලයන් වෙනවා. තවත් සමහරුන් උත්පත්තියෙන් අනතුරුව ජීවිතයේ යම් යම් අවස්ථාවල ධනවත් වෙනවා. ලෝකයේ සාර්ථකම ව්‍යාපාරිකයකු මෙන්ම ඉන්දියාවේ සිනමා කර්මාන්තයේ ප්‍රබල පුද්ගලයෙක් තමයි මුකේෂ් අම්භානි කියන්නේ. ස්වාභාවයෙන්ම නිහතමානී, දක්ෂ ව්‍යාපාරිකයකු වන මුකේෂ් අම්භානිත් මේෂ ලග්න හිමිකාරයෙක්.

කෙනෙකුගේ වාසනාවට පිනට ලැබෙන වෘත්තියක් තමයි රංගනය කියන්නෙ. හොලිවුඩයේ මෙන්ම බොලිවුඩයේ බොහෝ ආදරණීය නළු නිළියන් මේෂයෙන් උපත ලබා ඇති බව ඔබ මීට පෙර අසා තිබුණා ද? ඒ අතර පෙරදිග මෙන්ම අපරදිග බොහෝ රසික හදවත් දිනාගත් නළු නිළියන් රැසක් ම ඉන්නවා. ‘අයන් මෑන්’, ‘ඕපන්හයිමර්’ වැනි සිනමාපටවලින් වඩාත් ජනප්‍රිය වූ සුප්‍රසිද්ධ අමෙරිකානු නළු රොබට් ජෝන් ඩවුනි ඔබේ මතකයට එනවා ඇති. චරිතාංග නළුවෙකු වූ මොහු මේෂ ලග්න හිමියෙක්. මේෂ ලග්න හිමියන්ට හිමි වික්‍රමාන්විත භාවය උපතින්ම රැගෙන ආ මොහු 2008 වර්ෂයේදී ටයිම්ස් සඟරාවට අනුව ලෝකයේ බලවත් පුද්ගලයන් සිය දෙනා අතරට එකතු වුණා.

එමෙන් ම චීන සිනමාවෙන් බිහි වූ ලෝ පතළ ජැකී චෑන් ද මේෂ ලග්න හිමියෙකු බවයි සඳහන් වෙන්නේ. ඔහුගේ රයිඩ් ඔන්, පොලිස් හිස්ට්‍රි, ඩන්කන් මාස්ටර් වැනි චිත්‍රපට තුළින් ඔහුගේ තේජවන්තභාවය, ඉදිරියට යෑමේ ගුණය ආදී මේෂ ලග්න හිමියෙකු තුළ දක්නා විශේෂතා රිදී තිරයෙනුත් මැනවින් පිළිබිඹු කරනවා.

ඒ වගේම ලොව වඩා ප්‍රචලිත බොලිවුඩ් සිනමාවේ කැපී පෙනෙන සිනමා තරු රැසක්ම මේෂ ලග්න ජන්ම ලාභියන් වෙනවා. 70 දශකයේ හින්දි සිනමාවේ තරුණියන්ගේ ආකර්ෂණයට ලක් වූ වඩාත් කඩවසම් නළුවෙකු වූ ජිතේන්ද්‍ර මේෂ රාශියෙන් උපන් තවත් තරුවක්. ලංකාවේ වඩාත් ජනප්‍රිය වූ සිංහල හඬ කැවූ හින්දි ටෙලි නාට්‍ය වන මහගෙදර, ප්‍රවීණා වැනි නාට්‍ය බිහි කළ බලාජි ටෙලි ෆිලිම්ස් ආයතනයේ සභාපති ඔහුයි. නාගීන්, චාහත් ආදී සිනමාපටවලට තම ප්‍රතිභාපූර්ණ රංගනයෙන් දායක වූ රවී කපුර් හෙවත් ජිතේන්ද්‍ර ජනප්‍රිය ප්‍රේක්ෂක හදවත් දිනා ගත් ආදරණීය තරුවක්. ස්වාධින රාශියක් වූ මේෂ රාශියෙන් උත්පත්තිය ලැබීම ඔහුගේ ජීවිතයේ සාර්ථකත්වයට හේතු වූ බව ඔහු ද විශ්වාස කරනවා.

ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ගැඹුරින් ම විශ්වාස කරන බොලිවුඩ් සම්මානනීය නළු අජේ දෙව්ගන් ද මේෂ ලග්න හිමියෙක්. ඔහු වෘත්තීය ජීවිතය පුරා තම ලග්නයේ සුබ අසුබ ගැන ඡ්‍යොතිෂවේදීන්ගේ උපදෙස් ලබා ගෙන තිබෙනවා. ශක්තිමත් චර රාශියක් වන මේෂයෙන් උපත ලබා ඇති දෙව්ගන්ට තම රංගන ජීවිතයේ ‘දිල්වාලේ’ , ‘ජාන්’ යනාදී සිනමාවපටවල ප්‍රධාන චරිතයන්ට පණ පොවමින් ඉදිරියට යාමට ලග්නයේ ගුණ පිටිවහල් වූ බව ඔහුගේ විශ්වාසයයි.

රාණි මුකර්ජි කියන්නෙත් අප කවුරුත් හොඳීන් හඳුනන බොලිවුඩ් නිළියක්. ‘කුච් කුච් හෝතා හේ’, ‘චල්තේ චල්තේ’, ‘වීර් සාරා’, ‘කබි අල්විදානා කෙහෙනා’ වැනි අතිශය ජනප්‍රියත්වයට පත් වුණු බොලිවුඩ් චිත්‍රපටවල ප්‍රධාන චරිතවලට පණ පෙවු ඇයත් උපත ලබා ඇත්තේ මේෂ රාශියෙන්. මේෂ ලග්න හිමිකාරියන් අභිලාෂිකාමීන්. රාණි මුකර්ජි මීට කදිම නිදසුනක්. වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කළ ඇය, තම රංගන ජීවිතය ආරම්භ කළේ සහාය නිළියක් වශයෙන්. එහෙත් පසුව ඇය හින්දි සිනමාවේ වඩාත් ජනප්‍රියම සහ සාර්ථකම සම්මානලාභී නිළියක් බවට පත් වුණා.

90 දශකයේ තරුණයන්ගේ මහත් ආකර්ෂණයට පත් ප්‍රභූ දේවා කොලිවුඩ් සිනමාවේ සිහින කුමරෙක්. රංගනයේ දී ඔහු වඩාත් තරුණයන්ට ආකර්ෂණය වුණේ ඔහුටම ආවේණික වූ නර්තනය නිසයි. දෙමළ, හින්දි, තෙළිඟු, කන්නඩ සිනමාපට නැරඹූ රසිකයන්ට ප්‍රභූ දේවා කිසිවිට අමතක වන්නේ නෑ. බාල, මහලු රසික හදවත් දිනා ගත් ප්‍රභූදේවා ද උපදින්නෙත් මේෂ ලග්නයෙන්. නර්තනය නිසාම පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු ‘ලව් බර්ඩ්ස්’, ‘වී.අයි.පී.’ ආදී චිත්‍රපට රාශියකට රංගනයෙන් දායක වුණා. මෙලෙස කීර්තිමත්ව, ප්‍රසිද්ධව, රසික හද සන්තානයේ ලැගුම් ගත් ආදරණීය සිනමා තරුවක් වීමට ඔහුට භාග්‍යය ඉස්මතු වුණේ මේෂ රාශියෙන් ජන්මය ලැබීමයි.

මෑත කාලයේ ප්‍රකට ඉන්දියානු චිත්‍රපට නිළියක් වන කංගනා රනවුත් ගැන තොරතුරු දැන ගන්නත් ඔබ කැමති ඇති. ඇයත් මේෂ රාශි හිමිකාරිනියක්. නව පරපුරේ රංගන ශිල්පිනියක වන ඇය නායකත්වය, ධෛර්ය, උපාය මාර්ගික ඥානය සහ ජව සම්පන්න ගති ඇත්තියක්. ‘ක්‍රිෂ් 3’, ‘රැන්ගූන්’ වැනි චිත්‍රපට ඇගේ රංගනයෙන් විචිත්‍රවත් වුණා. මේෂ රාශියෙන් උපත ලැබීම ඇයගේ රංගන ජීවිතය සාර්ථක වීමට පිටිවහල් වී ඇති බව ඡ්‍යොතිෂවේදීන් පවසනවා.

මිනිසාගේ හැඟීම්වලට නාදයෙන් ආමන්ත්‍රණය කරන්නේ සංගීතඥයන් සහ ගායක ගායිකාවන්. මේෂ රාශියෙන් උපන් අමෙරිකානු පොප් ගායිකාවක මෙන්ම නිළියක වන ඩයනා රෝස්ට තම ජීවිතයේ විවිධ කඩඉම් පසු කරන්නට තමන් උපත ලද මේෂ ලග්නය උපකාරී වෙලා තියෙනවා. වෘත්තීය අමෙරිකානු ගායිකාවක වන ලේඩි ගාගා උත්පත්තිය ලැබුවෙත් මේෂ රාශියෙන්. ස්වාධීනත්වය අගය කරන, නිර්භීතව නොකඩවා ඉදිරියට යෑමේ හැකියාව ඇයට හිමි වීමට මේෂ රාශියේ ඉදිරිගාමී ස්වභාවය ඉවහල් වූ බව ඇගේ විශ්වාසයයි.

විවිධ අංශවලින් ලොව ජයගත් ප්‍රකට පුද්ගලයන්ට ඔවුන් උත්පත්තිය ලැබූ මේෂ ලග්නය කෙතරම් ඉවහල් වෙලා තියෙනවා ද කියලා මේෂ ලග්නයෙන් උපන් ඔබත් දැන් සිතනවා ඇති. එනිසා ඔබත් මේෂ ලග්න හිමියෙකු නම් ඔබටත් මෙවැනි ගතිගුණ පිහිටා තිබෙන බව දැන හඳුනාගෙන ඔබේ දක්ෂතාවයෙන් ඉදිරියටම යන්න පුළුවන්. එයට ඔබත් උත්සාහ කරන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.