අගෝස්තු 17 සිට 23 දක්වා උපන් ඔබ ගැනයි මේ...

අගෝස්තු 16, 2024

අගෝස්තු 17

(පෞද්ගලික අංකය 8)

පෞද්ගලික අංකය දෙවැනි පෙළින් 8 වීම නිසා ඔබේ ගති පැවතුම් අගෝස්තු 8 හා 26 යන දිනයන්ටත් දිගුවක්ව පවතිනවා. වක්‍ර ආකාරයට ඔබගේ පෞරුෂය තුළ සඳු හා සිකුරුගේ බලපෑමත් ගැබ්ව ඇත. ඒ නිසා කලාකාමී බව, ප්‍රියමනාප බව එක් කෙරෙන අතරම සඳුගේ ළාමක ගතිත් මානසික තලයේදී දැක ගත හැකි වේවි.

ඔබ දැඩි අයෙක්. වටහා ගැනීමට අපහසු අයෙක්. සමාජයේ සෙසු අයට ඔබව වටහා ගැනීම හරිම අපහසුයි. සමාජයේ අනික් අය සමඟ හවුල් කටයුතු කිරීම ඔබට ඊටත් අපහසුයි. ඔබ සෑම දෙයක්ම හිතන්නේ පතන්නේ ඔබව මුල් කර ගෙන පමණයි. සමාජය සමඟ නොගැළපීම කැපී පෙනෙන නිසාම ඔබේ ජීවිතයේ සැලසුම් සෑම එකක්ම තනිවයි සිදු කෙරෙන්නේ.

මහා පොළව හා සම්බන්ධ කර්මාන්ත මෙන්ම, ඡ්‍යොතිෂය හා කෘෂි කර්මාන්තය වැනි අංශවලින් ඔබට වැඩි ආර්ථික වාසි ලැබිය හැකියි. අගෝස්තු මාසයේ ගිනි ත්‍රිවංකයේ බලපෑම නිසා පොදුවේ ඔබට උෂ්ණ රෝග හා උණ රෝගවලට ගොදුරු වීමේ අවදානමක් ද ඇත. ශනිගේ දායාදයක් ලෙස වයස්ගත වීමත් සමඟ තුනටිය හා අස්ථි පන්ජරය ආශ්‍රිත අබාධත් දැක ගත හැකි වේවි. ව්‍යාපාරික හැරී ජයවර්ධන (1942) වගේම ඉන්දීය යොවුන් නිළි ශ්‍රද්ධා ආර්යා (1987) සමඟ අවශ්‍ය නම් පෞද්ගලික ගති ලක්ෂණ හා ජීවන තතු ගළපා ඔබට අංක විද්‍යාත්මක කරුණු වැඩිදුරටත් ප්‍රායෝගිකව අත් හදා බැලීමට හැකි වේවි.

අගෝස්තු 18

(පෞද්ගලික අංකය 9)

පෞද්ගලික අංකය දෙවැනි පෙළින් 9 වීම නිසා ඔබේ ගති පැවතුම් අගෝස්තු 9 යන දිනයටත් දිගුවක් පවතිනවා. එමෙන්ම ඔබටම ආවේණික සුවිශේෂී ස්වාධීන ගති ලක්ෂණ රැසකටත් හිමිකම්

පවසනවා. ඔබේ පෞද්ගලික අංකය නිර්මාණය කරන්න රවි හා ශනි යන ග්‍රහයන් දෙදෙනා ද දායකත්වය දරනවා. ඒ නිසා රවිගෙන් එන නායකත්ව ගුණාංගත් ශනිගෙන් එන කරුණු කාරණා ඔස්සේ ගමන් කර සෙමින් නිගමනවලට එළඹීමත් දැකිය හැකියි.

හමුදා හා පොලිස් අංශයන්ගෙන් ඔබට සුපරිම ආකාරයට වැඩ පෙන්විය හැකි වෙනවා. ඔබ බොහෝ පි‍්‍රය මනාප අයෙක් නිසා සෙසු අයට හොඳම ආකාරයෙන් සංග්‍රහ කරන්න කැමැතියි. ඒ වගේම තමයි සීමාව ඉක්මවලා කවුරු හරි කටුයතු කරනවා නම් ඒ අයටත් අත දිග ඇරලා පාර හිටින්නම සලකන්න වුණත් ඔබ මැළි වෙන්නේ නෑ.

ලෙඩ රෝගවලින් පවා පීඩිතව ගත කරන දුෂ්කර ළමා කාලය නිමා කරමින් වයස 21 පසු වීමත් සමඟ ඔබ ඉතා සවිමත් ආකාරයට දිවි ගමන තුළ නැගී සිටිනු ඇත. ඉන්පසු වැඩි වශයෙන් සිත ඇදෙන්නේ සුරාව, නුරාව හා සුඛෝපභෝගීබව හඹා යාමටයි. කෙසේ වුවත් 36 වැනි වියෙන් පසු ජීවිතයේ දෙවැනි භාගයේදී පරිණත බවක් ඔබෙන් පළ කෙරෙන්නේ ධර්මාවබෝධය හා ආගම-දහමට මැදිවයි. අගෝස්තු මාසයේ ගිනි ත්‍රිවංකයේ බලපෑම නිසා පොදුවේ ඔබට උෂ්ණ රෝග හා උණ රෝගවලට ගොදුරු වීමේ අවදානමක් ද ඇත.

භාරත දේශපාලනයේ නොමැකෙන නමක් රැන්ඳූ නිර්මලා සීතාරාමන් (1959) මෙදිනම උපන් අයෙක් බව සිහිපත් කරන්නේ පුද්ගල චරිත විස්තරාත්මකව සසඳා බලා විෂයානුබද්ධ කරුණු වඩාත් ප්‍රායෝගික ආකාරයට වටහා ගැනීමට ඔබව හුරු කරවනු පිණිසයි.

අගෝස්තු 19

(පෞද්ගලික අංකය 1)

පෞද්ගලික අංකය තෙවැනි අදියරයෙන් 1 වීම නිසා පෞද්ගලික අංකයට පොදු චරිත ලක්ෂණ හා ගති පැවතුම් වගේම රවිගේ හා කුජගේ බලය සම්මිශ්‍රණයක් අංක විද්‍යාත්මකව ඔබ තුළ ආරෝපිතව ඇත. අංක 1 ට අයත් අය තුළ වැඩියෙන්ම බල පවත්වන්නේ රවිගේ බලය නම් සමාජ ආකර්ෂණය වැඩි කෙරෙනවා. යුරේනස්ගේ බලය වැඩි නම් හුදෙකලා කෙරෙනවා. ඒක පොදු කාරණයක්. සිහිපත් කරවන්න කැමතියි පෞද්ගලික අංකය 1 න් උපදින්නේ දියුණුවට ළැදි අය. ඒ වෙනුවෙන් කට්ට කන්න පුළුවන් අය. ඒ වගේමයි රාජකාරිය අකුරටම ක්‍රියාත්මක කරන්න කැමති තරමක් තමන් ගැන ලොකුවට හිතන චරිත. නිතීගරුක බව වැඩි නිසා අම්මා අප්පා හරි වැරදි නම් සමාවක් නම් දෙන්නෑ. පොදුවේ අංක 19 න් උපදින අය තමන් ගන්නා කිසිම තීරණයක් ආපසු හරවන්න කැමති නෑ. පෙනුම මුව පොව්වන් වගේ වුවත් කෝප ගැන්වුණොත් රුදුරු ව්‍යාඝ්‍රයන්ටත් වඩා භයානක වන බව සඳහන්.

හොඳීන් දහඩිය දැමීම හා ආහාර රුචිය ඇති වීම නිසා ඔබ තුළ කාය ශක්තිය හොඳීන් පිහිටා ඇත. වායු සමීකරණ හෝ විදුලි පංකා නොමැතිව සාමාන්‍යයෙන් ගිනි ත්‍රිවංකයේ අයට කාලය ගත කිරීම අපහසුය. එසේම ශරීරය තුළ අතිරික්ත ශක්තිය ව්‍යායාම මඟින් දහනය කරවා නොහැරියොත් කාමුක සිතුවිලිවල ගොදුරක් බවටත් පත්වීම සිදුවනු ඇත. ඔබ තුළ නායකත්වයේ ගුණාංග නොඅඩුව අංක 1 විසින් ජව ගන්වා තිබියදී කුජගේ බලය විසින් අණක් ගුණක් නොමැතිව ඉදිරියට කඩා ගෙන යාමේ බලය ද උත්තේජනය කරවා ඇති නිසා පසුව පසුනොතැවී සිටීමට යමක් කිරීමට පෙර සිය දහස් වරක් කල්පනා කළ යුතුව ඇත. සිය අබාධිත බව පරදා සුමියුරු හඬින් ලොවත් මුසපත් කළ හෙන්රි කල්දේරා නම් වූ (1937) අසහාය ගායකයාගේ ජන්ම සංවත්සරයද මෙදිනට යෙදී ඇත.

 

අගෝස්තු 20

(පෞද්ගලික අංකය 2)

පෞද්ගලික අංකය තෙවැනි අදියරයෙන් 1 වීම නිසා ඔබේ ගති පැවතුම් පෞද්ගලික අංකයට පොදු චරිත ලක්ෂණ හා ගති පැවතුම් වගේම ගිනි ත්‍රිවංකයට හා අගෝස්තුවට හිමි ලක්ෂණ ඔබේ පෞරුෂත්වය හා චරිත ස්වභාවය තුළ තව දුරටත් එලෙසින්මයි. ඔබේ උපන් දිනයට හිමි සංයුක්ත අංකයේ මුල් ඉලක්කම 2 වීම නිසා මානසික තලය තුලදී සඳුගේ චංචල ස්වභාවය ඔබ තුළ ආරෝපණය කරවා ඇත. එසේම සංයුක්ත අංකයේ අග ඉලක්කම 0 වීම නිසා එකී චංචල ස්වභාවයෙන් මිදී නොයා චක්‍රයක් තුළට යොමු වීම වැඩිදුරටත් සිදුවනු ඇත. සම්මතයක් ලෙස ඕනෑම මාසයක 20 දිනයේ උපදින අය තුළ හොඳ හෝ නරක අංශයන්ගේ අන්තවාදී ස්වභාවයක් ගැබ්ව ඇති බව පොදු කරුණකි. විරුද්ධ ලිංගික ආකර්ෂණයද ඔබ කෙරෙහි නොඅඩුව හිමි වන බැවින් බොහෝ විට අසාමාන්‍යය ආදර කතාන්තරවලට මැදි වීමද සාමාන්‍ය කරුණක් වනු ඇත.

පෞද්ගලික අංකය 2 වීම නිසා මානසික තලයෙන් කලාකාමී බව වැඩි කරන නමුත් ප්‍රායෝගික බව අතින් නම් තරමක් මන්දගාමී ස්වභාවයක් පෙන්නුම් කරයි. එසේ වුවද අගෝස්තුවේ ප්‍රබල රවිගේ බලපෑම නිසා ඔබේ පෞරුෂත්වය යම් පමණකට හෝ ඔප් නැංවෙනු ඇත. පහසුවෙන් විදෙස්ගත වීමේ වාසනාව ඇති අතරම සෙම් රෝග ආදියට පහසුවෙන්ම ගොදුරු වන ස්වභාවයක්ද පෙන්නුම් කරයි. ඕනෑම මාසයක මේ දිනයෙන් උපත ලබන අයකු තුළ එක විට දෙවියන් හා යක්ෂයා යන දෙදෙනාම වාසය කරන බව පැවසෙනවා. ඔබ පරාර්ථකාමී අයෙක් නම් දෙවියන් සේ සමාජයට මඟ පෙන්වන්නෙක් වනු ඇත. ආත්මාර්ථය ඉහවහා ගිය විට ඔබ කෙරෙන් සමාජයට විය හැකි ව්‍යාර්ථය ද අතිමහත්ය. හිටපු අමාත්‍ය ෆෙරියෙල් අෂ්රොෆ් (1953) මහත්මියත් මෙදිනයි උපන් දින සමරන්නේ.

 

අගෝස්තු 21

(පෞද්ගලික අංකය 3)

පෞද්ගලික අංකය තෙවන අදියරයෙන් 3 වීම නිසා ඔබේ ගති පැවතුම් පෞද්ගලික අංකයට පොදු චරිත ලක්ෂණ හා ගති පැවතුම් වගේම අගෝස්තුවට හිමි ගිනි ත්‍රිවංයේ නොව සැප්තැම්බරයට හිමි පඨවි ත්‍රිවංකයේ ස්ථාපිත කරවා ඇති බැවින් ඔබට පෙරකී උෂ්ණ රෝග හා උණ රෝග වෙනුවට අවදානම ගෙන දෙවන්නේ කොඳු ඇට පෙළ හා උකුල ආශ්‍රිත ආබාධ හා වැටීම්-තැලීම් හේතුවෙන් ඇති කරන අස්ථි බිඳීම් ආදියෙනි.

පෞද්ගලික අංකය 3 න් උපදින්නේ හොඳ ආත්මශක්තියක් ඇති අය. වෙනත් කිසිවකුගේ අභාසයකින් තොරව තමන්ම සොයා ගන්නා මාර්ගයක උත්සාහයෙන් ගමන් කොට ජීවිතයේ සාර්ථකත්වය සාක්ෂාත් කර ගන්නා අය. ඔබ ජීවිතයේ සාමාන්‍ය සාර්ථකත්වයකින් සෑහීමකට පත් නොවන්නෙකි. ජීවිතයේ ඉදිරි සාර්ථකත්වය වෙනුවෙන් බොහෝ කැපවීමකින් යුතුව කටයුතු කිරීමට ඔබ විසින් කිසිදාක නොපැකිළෙනු ඇත. නමුත් එහිදී ඔබට ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වීම ඇතැම් විටෙක අමතක විය හැකියි. ආදර ගණුදෙනුවලින් ඔබට සිත් තැවුල් දරන්නට වීමේ වැඩි ඉඩක් පවතී. තමන් අවංකව සිදු කරන කටයුතු ඇගයීමකට ලක්වනු දැකීමෙන් ඔබ වඩාත් උත්තේජනයකට ලක් වන අතර තම දරුවන් ද සමාජයට වැඩදායක පුරවැසියන් ලෙස හුරු කරවීමට ඔබ විසින් කැප වනු ඇත. පැල්පතක ඉපදුණත් ඔබගේ සිතේ සවියෙන් දිනෙක මහා මන්දිරයක හිමිකාරීත්වය ලබනු ඇත.

පොදුවේ ඕනෑම මාසයක 21 න් උපත ලබන අය තම හැකියා තුළින් බැබළීමට පත්වන තරමක් ආත්මාර්ථකාමී අයයි. ගව මාංශ හා සූකර මාංශ ආදියෙන් වැළකීමෙන් පමණයි මේ අයට වඩා උසස් තත්ත්වයන්ට ළඟා විය හැක්කේ.

හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක (1962) මහත්තයත් මේ දවසේ උපන් අයෙක්.

 

අගෝස්තු 22

(පෞද්ගලික අංකය 4)

පෞද්ගලික අංකය තෙවැනි අදියරයෙන් 4 වීම නිසා ඔබේ ගති පැවතුම් පෞද්ගලික අංකයට පොදු චරිත ලක්ෂණ හා ගති පැවතුම් වගේම ඊට යම් තරමක් වෙනස් භාවිතයනුත් ඔබේ ජීවිතය හා බැඳී ඇත. එසේම සඳුගේ හා රවිගේ බලපෑම ඔබ තුළ හොඳීන් සංකේතවත් කර ඇත. ඔබ තවදුරටත් මානසික තලය තුළ අගෝස්තුවේ ගත කරන නමුත් ගිනි 2 ත්‍රිවංකයෙන් නික්ම පඨවි 2 ත්‍රිවංකය තුළට පියමං කර ඇති බැවින් පඨවියට හිමි රෝගාබාධ අවදානම් ඔබ කෙරෙහි ඉඟි කරනු ලබයි.

සමාන්‍යය සම්ප්‍රදායේ සීමා ඉක්මවූ ඔබේ අවංකත්වය ඔබටම විටෙක පාරාවළල්ලක් සේ නැගෙනු ඇත. සිය අදහස් නොවලහා ප්‍රකාශ කිරීම නිසා ඔබ වටා නිතර සැරිසරන්නේ මිතුරන්ට වඩා සතුරන්ය. එසේ වුවද ඔබේ චරිත ස්වභාවය සැබැවින් හඳුනාගත් කිහිප දෙනකු සමඟ පමණක් ගැඹුරු මිතුදමක් පවත්වා ගෙන යාමට ඔබට හැකි වන අතරම දෙපාර්ශ්වය විසින්ම දෙපාර්ශ්වය වෙනුවෙන් අවංකව කැප වන බවක් පෙනේ. පෞද්ගලික අංකය තුළ රවිගේ බලය වඩා බලවත්ව ඇත්නම් පොදුවේ ජනතාව සමග කටයුතු කිරීම තරමක් දුරට පහසු කෙරෙනු ඇත. ඔබ මුදලට ගිජු නොවන්නෙකි. එහෙත් මුදල් තුළින් ලබා ගත හැකි සමාජීය බලයට ආශා කරන නිසා මුදල් රැස් කිරීමට වෙහෙසෙනු ඇත. ඕනෑම මාසයක 22 දින උපත ලබන අය හට අසාමාන්‍ය පරිපාලන හා උපාය ශක්තියක් පවතී. එම හැකියා යහපතට වඩා අයපතට යොමු කර පහසුවෙන් මුදල් ඉපයීමේ නැඹුරුවක්ද විටෙක මතුවිය හැකිය. ජාතික වීරවරයෙක් වූ ආනන්ද කුමාරස්වාමි මැතිතුමා (1877) ගේ ජන්ම සංවත්සරය ඔබේ උපන් දිනය දාමයි සැමරෙනු ලැබෙන්නේ..

 

අගෝස්තු 23

(පෞද්ගලික අංකය 5)

පොදුවේ 23 වැනි දිනෙක උපත ලබන අයට ප්‍රබල රාජ වශියක් හා මහජන වශියක් පවතින බව සඳහන්. පෞද්ගලික අංකය තෙවන අදියරයෙන් 5 වීම නිසා ඔබේ ගති පැවතුම් පෞද්ගලික අංකයට පොදු චරිත ලක්ෂණ හා ගති පැවතුම් වගේම ඊට යම් තරමක් වෙනස් භාවිතයනුත් ඔබේ ජීවිතය හා බැඳී ඇත. එසේම සඳුගේ හා ගුරුගේ බලපෑමත් අංක විද්‍යාත්මකව ඔබ තුළ සංකේතවත් කර ඇත.

ඔබ තවදුරටත් මානසික තලය තුළ අගෝස්තුවේ ගත කරන නමුත් ගිනි 2 ත්‍රිවංකයෙන් නික්ම පඨවි 2 ත්‍රිවංකය තුළට ඔබ පියමං කර ඇති බැවින් පඨවියට හිමි රෝගාබාධ අවදානම් ඔබ කෙරෙහි ඉඟි කරනු ලබයි. ඔබ සතු ප්‍රබල මානසික ශක්තීන් මෙහෙයවා ඉක්මනින් තීන්දු තිරීණ ගැනීමේ හැකියාව ද පවතී. ඕනෑම පරිසරයකට ක්ෂණිකව හැඩ ගැසීමේ හැකියාවද ඔබ සතු වූ සුවිශේෂී හැකියාවකි. අත මිට සරු වුවද කරන වෘත්තීය කටයුතු නිතර වෙනස් කරන ස්වභාවයක්ද ඔබ තුළ පවතී. සූදුව හෝ කොටස් වෙළෙඳපළ සම්බන්ධ කටයුතුවලින් වුවද වැඩි වාසි අත් කර ගත හැකි බවක් පෙනේ. කලාවට හා සංචාරයට ඉතා ළැදි අතර ඔබ තුළ ඇති ඉක්මන් කෝපය විටෙක ඔබට බොහෝ පාඩු ගෙනදෙනු ඇත. පුරුද්දක් හැටියට ඔබ සෑම විටම පාහේ මිත්‍ර ප්‍රතිරූපයන්ට ගොදුරු වන බවක් පෙනේ. අමාශගත ආබාධයන් හා ස්නායු ආබාධයන්ට වැඩි අවදානමක් පවතින අතර ඇතැම් විට ඔබ විසින් පාලනයකින් තොරව බෙහෙත් ඖෂධ ආදියට ඇබ්බැහි විය හැකි බවක් ද දැක ගැනීමට ඇත. නිතරම වේගවත්ව කටයුතු කිරීම, වේගවත් ක්‍රීඩාවල නිරත වීමට හා වේගයෙන් රිය පැදවීමට ළැදි ඔබ මානසික ආතතිය පාලනයකින් යුතුව පවත්වා ගැනීමට ද අනිවාර්යයෙන්ම උත්සාහ කළ යුතුව ඇත.

හෙළයේ මහා ගීත කෝකිලාවිය නන්දා මාලනිය (1943) ඔබ සමගයි උපන් දිනය සිහිකරන්නේ..

 

පාරවිද්‍යා පර්යේෂක

එස්.පී.එන් සේනානායක

 

විශේෂ ස්තූතිය -

අයිරිෂ් ජාතික කවුන්ට් ලුයිස් හැමන් සාමිවරයා

හා වෛද්‍ය බන්දුල සිරිවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.