දෙනට නැකැත් හිමියෝ

අගෝස්තු 16, 2024

ගීත පි‍්‍රයො බන්ධු මාන්‍යො හෙමරතෛන රලංකෘතඞ
ධනිෂ්ඨාය නරො ජාත ශෛවකඞ ශතපතිභ¡¡වෙත්

දෙනට නැකත හිමිව උපත ලද්දේ නම් සෞන්දර්යවාදී කලා අංශයට පි‍්‍රයමනාප අයෙකි. ගීත ලිවීම, කාව්‍ය කරණයට උපන් සහජ හැකියාවක් ඇත්තේ ය. ධන සම්පත් නොඅඩුව ලැබේ. එකක් වරදින විට තවෙකක් කරයි. අත්නෑර වැඩක යෙදෙන්නේය. සෑම කාර්යකටම දක්ෂයි. නිකං පාඩුවේ කම්මැළිකමකින් නොසිටී. ඉතාම සංවේදීය. එහෙත් නොසැලේ. තමාගේ නෑදෑයන්ට හොඳින් සලකන්නට ගොස් අමාරුවේ වැටේ. සැඟවුණ ගුප්ත චරිතයක්ද ඇත්තේ ය. බොහෝ විට තමාට නොගැළපෙන අය සමඟ අයථා සබඳකම් පවත්වයි. කඩිසරයි. ඕනෑම දුෂ්කර දෙයක් වුවත් භාරගෙන නිම කරයි. දුටු හැටියෙම එම දෙයම කරන මොහු කොපි රජෙකි. නිර්මාණකරණයට අති දක්ෂයි. මානසික ගුණ ධර්මයන්ට නැඹුරු වේ. අනුන්ගේ ගුණදොස් විවේචනයටද අති දක්ෂයි. ඒ සමඟම මතභේද ඇති කරගනී. වාද විවාදවලට පැටලැවේ. යමක් එකවරම පිළිනොගන්නා මොහු සමහරවිට ගැටුම්වලටද නතු වේ. වේගවත් ගමන් බිමන් ඇත. කතාවද වේගවත්ය. ආවේගශීලීය. ක්ෂණික කෝපයටද පත් වේ. තමා දක්වන අදහස්වලට යම් කෙනෙක් විරුද්ධ වේ නම් ඔහු සමඟ තර්ක කිරීමට යයි. එසේ ගොස් ප්‍රශ්න ඇති කර ගනී. සමහර අයට මොහු අකැමැතිය. නොනැමෙන සුලුය.

සමහර විට තමා දන්නා තරම් අනික් අය නොදන්න බව ඒත්තු ගන්වන්නට ගොස් ගැටුම් ඇති කර ගනී. මොහුට පාලනය කර ගැනීමට නොහැකි කතාවක් ඇත. කට අරිනතෙක් බුද්ධිමතෙකුය. කට ඇරිය විට අන්‍යයන්ට එම කතාව අතුල් පහරකි. නැවත ඔහු සමඟ එක් නොවේ. කෙනෙකු ඇසුරු කළ හැක්කේ ටික දවසකි. දක්ෂතා කොපමණ ඇතත් ඉදිරිපත් කිරීම අතින් දුර්වලයි. නමුත් ඒ හැම දෙයක් ඉගෙනීමට සියුම් බුද්ධියක් තිබේ. වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී, තාක්ෂණය, ආරක්ෂක, දන්ත හා අක්ෂි වෛද්‍ය පැතිකඩේ අති දක්ෂයි. සමහර විට පරිසරවේදියකු ද විය හැකිය. මොහු පවසන හැම දෙයම තර්කානුකූලයි. ඕනෑම තර්කයකට මුහුණ දී පැරදුණහොත් ප්‍රශ්නයක් ඇති කර ගනී. තර්ක කරයි. කෙසේ හෝ දිනන්නට මාන බලයි. දෙනට නැකතින් දැරියක මල්වර වී නම් ඇයගේ හැසිරීම යහපත් ය. චරිතය රැක ගනී. වාසනාවන්තයි. 1, 2 හා 4 වැනි පාදවලින් එකක වී නම් යුග දිවිය අතිශයින්ම සාරවත් වේ. ධන සම්පත් ලැබේ. නීරෝගි වේ. විවාහය වාසනාවන්ත වේ. 4 වැනි පාදයේ නම් තරමක ගැටලු ඇතිවේ. නමුත් මල්වර වීමේ ග්‍රහ දෝෂයන් හට නොගනී. ප්‍රසන්න දැරියක් වේවි. ලස්සනට අඳින පලඳින තැනැත්තියක වේ. යුග දිවිය සාර්ථක කර ගනී. අවුල් අඩු ය. සැමියාට යහපත් ය. ස්ත්‍රී සයනේ වෛශ්‍යානම් යන වැකිය අකුරටම පිළිපදීවි. සැමියා ඇය නැතිව සිටීමට නොහැකි තත්ත්වයේ මානසික ගනුදෙනුවක් කිරීමට ඇය සමත් වේ. දෙනට නැකතට අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප, අස්විද, මා, මුල, කැති, උත්‍රපල්, උත්‍රසල, රෙහෙන, හත, සුවන යන නකත් හිමියන් මනාව ගැළපේ. විවාහයෙන් පසු සම්පත් හිමිවේ. දියුණුවන්නේය ය. යහපත් උගත් බුද්ධිමත් දරුවන් ඇතිවේ. තම කුලය බබළවයි. පතිවත රැක ගනී. සමාජයටම මිණි පහනක් වැනිය. තවත් අතකින් පහන් ටැඹකි. දෙනට නැකතින් උපත ලබා යුග දිවියකට පා තබන යුවතිය තම සැමියාට සුරබිදෙනකි. වාලම්පුරියකි. මිණී පහනකි. සුර දූතියකි. ඒ තරමට ගුණයෙන් රූපයෙන් හැසිරීමෙන්ද ධනාත්මකයි.

දක්ෂතම කලාකරුවකු වුවහොත් සිය නිර්මාණයන්ට සම්මාන මෙන්ම ඉහළ ඉල්ලුම් කරුවන් ද ඇතිවේ. කැපී පෙනෙන චිත්‍රපට නළුවකු හෝ නිළියක ද ලෝ පතළ සංගීතවේදයකු හෝ ද වේදිනියකද වේ. සිතාර් හා දිල්රූබා වාදනයට සමත් වේ. පාරම්පරික දේශීය නැටුම් ශිල්පයටද දක්ෂවේ. දෙනට නැකතින් උපත ලත් සමහර අය පරිසරවේදයට දක්ෂවේ. එම විද්‍යාවේ හසළ බුද්ධිමතකු ද වන්නේ ය. දෙනට නැකත් හිමියන් පිළිබඳව ඡ්‍යොතිෂ විද්‍යාත්මකව තෙවැනි ඇසින් විග්‍රහ කර බලන විට දී වඩාත් පැහැදිලි වන්නේ අනික් නැකත් හිමියන් පරදවා ඉදිරියට යෑමට හැකි චරිතයක් බවයි. ග්‍රහ යෝග අති විශාල සංඛ්‍යාවක් අතර සුවිශේෂිත ග්‍රහයෝග නිර්මාණකරණයේ දී දෙනට නැකතට විශේෂ ස්ථානයක් හිමිවේ. උපතින්ම භාග්‍යය හිමි දෙනට නැකත් හිමියාට තමා සමඟ සහ සම්බන්ධතාවයක් ඇති කරගන්නා අයටද භාග්‍යය උදාවන බැව් ඇත්තකි.

වාසනාවන්ත කෙනෙකු සමඟ ඇසුරට වැටීමද මහා පුණ්‍යවන්ත වැඩකි. අවාසනාවන්ත දහසකට වඩා පුණ්‍යවන්ත එක් අයෙකු අගනේ ය.

සමහර පවුල්වලට යම් යම් අය සම්බන්ධවීමෙන් සම්පත් ලැබෙන අතර සමහර අය සම්බන්ධ වීමෙන් විනාශයක් කරා ඇදෙන බවද ඇත්තකි. එයට මෙය හොඳම සාධකයකි. කෙනෙකුගේ උත්පත්ති ග්‍රහ සංයෝගය අති ප්‍රබලතම ග්‍රහ සංයෝගයක් සහිත අයෙක් සමඟ තමාගේ ජීවිතය සම්බන්ධ වේ නම් තමා නොදැනුවත්වම වාසනාව උදා වන්නේ ය. මේ පූර්ණ ශක්තිය දෙනට නැකත් හිමියා සතුව තිබෙන බැව් නිරීක්ෂණය කිරීමේ දී හෙළි වී ඇත්තේ ය. ග්‍රහයින් 7 දෙනෙක්ම කේන්ද්‍රයේ 7 වැන්නේ සිටින අතර සඳු සහ කේතු පමණක් භාවයන් දෙකකට වී ඇති අතර එම ග්‍රහ පිහිටීම හරහා ඇගේ විවාහ දිවිය සම්පූර්ණයෙන්ම අතර මඟ බිඳ වැටී තිබිණ. නමුත් දෙනට නැකතින් ඇගේ සැමියා උපත ලබා ග්‍රහ හැසිරීම් රටාවද ධනාත්මක වීම නිසා යාන්තම් ඔහු අගාධයේ නොවැටී ඇගෙන් වෙන් වී අද වන විට කායික හා මානසික කරදරයකින් තොරව සිටී.

කේන්ද්‍රයේ ග්‍රහ හැසිරීම් නොබලා ආලය ආදරය ප්‍රේමයට මුළාවී සෑහෙන කාල පරාසයක්ම ඔහු අපා දුක් විඳින ලදී. සමහර අය දැන දැන හෝ නොදැන විවාහ වී මෙලොව අපාදුක් විඳින බැව් නොරහසකි. දහස් සංඛ්‍යාත පිරිසකගේ කේන්ද්‍ර පරීක්ෂා කිරීමේ දී ඔවුන්ට සිදු වී ඇති කායික මානසික පීඩනයට කිසිදු බාහිර මනෝමය ප්‍රතිකාරයක් ද නොමැත.

අපේ පැරණි ගැමියන් තම දූ දරුවන් විවාහ කරදෙන විටදී ඔවුන්ගේ කේන්ද්‍රවල ඥාන ශක්තිය ගැන බලා විවාහ කර දුන්නේ ය. අද එය ඔවුනොවුනට කැමැති පරිදි විවාහ වී අපාදුක් විඳින බැවි පැහැදිලිය. ඔබ දැනටමත් විවාහවීමේ අපේක්ෂාවෙන් සිටී නම් කේන්ද්‍රයේ ග්‍රහ හැසිරීම් බලා ඉතාම යෝග්‍ය නම් යුග දිවියට ඇතුළු වන්න. නැත්නම් වන්නේ මෙලොව අපාගතවීමක් බැව් ප්‍රකාශකර සිටිමු. අඩු වශයෙන් සුදුසු සුබ නැකතක් වීමද යෝග්‍ය වන්නේ ය. විවිධ නැකත්වල ඇතුළාන්ත සවිස්තරයක් මෙතෙක් අනාවරණය කරන ලදී. එය පාඨක ඔබට ප්‍රයෝජනවත් වේ යැයි සිතමු.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.