තල කොළ පුස්කොළ කරන්නේ මෙහෙමයි

අගෝස්තු 16, 2024

තල කොළ, පුස්කොළ නමින් හැඳින්වෙන පත්‍ර ලබා ගන්නේ තල ගසිනි. තල නමින් ධාන්‍ය වර්ගයක් ද ඇත. මෙය උසින් හා මහතින්ද විශාල කොලවලින් සහ මහත පිත්තකින්ද යුක්තය. මේ ගස් නොදැකපු අයට හඳුන්වා දීමකි. මේ නාමය උපමාවටද ගනී.

අත්ත හොඳයි තද වැස්සට ඉස ලන්න

පිත්ත හොඳයි තද වර මඳු අඹරන්න

ගොබේ හොඳයි දස ධර්මය ලියවන්න

මෙමල හොඳයි බුදු මඟුලට ගෙන යන්න

මේ ගැමි කවියෙන් එහි කොටස්වලින් ගත හැකි ප්‍රයෝජන කියැවේ. ගොවියාට ඉතා ප්‍රයෝජනවත් වන දෙයකි. ගොයම් නෙළන ගැමි කතුන් නියර මත අතු කැබැල්ල තබා තම කටයුතු නිරත වන අතර, වැහි කළුවක් එන විට විට නෙළුම් කවියට මේ කවිය ගායනය කිරීමෙන් තල අත්ත ඉහළා ගන්නට ඉඟි කරයි.

මෙහි ගොබය කපා නියමාකාරයෙන් සකස් කර පත්‍ර ගෙන එහි මාහැඟි ධර්මය, වෙදකම ඡ්‍යොතිෂය වැනි වටිනා ශාස්ත්‍රයන් මතු පරපුර වෙනුවෙන් ලියා තැබීමට එදා සිටි ඍෂිවරු, ශාස්ත්‍රවරු භාවිත කළහ. එහි වටිනාකම ගැන සිතා ඉදිරි පැවැත්මට කටයුතු කරන්නන් අද නොමැත. ගිලිහී යන ශාස්ත්‍රයකි. පුස්කොලයේ ලියා තබන දෙය ලියූ තැනැත්තා මිය ගියත් වර්ෂ ගණනාවක් තවත් ඉදිරියට පවතී. කාටත් පුස්කොළය කියූ පමණින් පන්හිඳ සිහිවෙයි.

ලංකාවේ සහ ඉන්දියාවේ මේ පත්‍ර ප්‍රයෝජනයට ගනී. ඉතාලිය, මිසරය, ගී‍්‍රසිය වැනි රටවල ‘පැපිරස්’ කොළ ග්‍රන්ථ ලිවීමට ගෙන ඇති බවත් ලංකාවේ හා ඉන්දියාවේ තල කොළ ප්‍රයෝජනයට ගන්නා බවත් පෙනේ. මෙතෙක් දක්වා ඇත්තේ තල ගස පිළිබඳ විස්තරයකි.

අප පාරම්පරිකව ඇති ඡ්‍යොතිෂය හා වෛද්‍ය ක්‍රමයේ දී මාගේ පියා සහ ඔහුගේ පියා පුස්කොළ ලිවීම සඳහා පත්‍ර සකස් කර ගත් ආකාරයෙන්ම ඔබට ඉදිරිපත් කරමි. ආධුනික ඡ්‍යොතිර්වේදීන්ට මෙය විශේෂයි.

පළමුව පිරිපුන් තල ගසක් සොයා ගත යුතුයි. පිරිපුන් තල ගොබයක් ඇදෙන විට එයට මුදු දැමිය යුතුයි. එවිට කොළ ගණකම ඇතිවී පිරිපුන් වේ. කැපීමට පෙර මාස 2ක් ම මුදු දමා කාලය ගත විය යුතුය.

පසළොස්වක හෙවත් දෙපෝදාට පෙර දිනයේ දී ගසට නැඟ ගොබය කපා ගත යුතුය. එය බිම නොදමිය යුතු වේ. බිම දැමූවිට කොළ තැළී ප්‍රයෝජනයට ගත නොහැකිවෙයි, පාඩුවකි. මහන්සියේ ප්‍රතිඵල නොමැත. ලණුවක ආධාරයෙන් බිමට බා ගත යුතුය. එසේ කපාගත් තල ගොබය දින තුනක් පමණ ගත වනතුරු සෙවණැල්ලේ හෝ මඳ පවනේ තැබීම අනුව ගොබය තරමක් දැඩි බවට පත්වේ.

 

කොළ සකස් කර ගැනීම

මේ ගොබය තුළ ඇති කොළවල තල කූර ගළවා දැමීමේදී ප්‍රවේශම් සහගතව කළ යුතුය. පිට කොළ හා බඩ කොළ හෙවත් ස්ත්‍රී පුරුෂ කොළ වශයෙන් බේරා ගත යුතු වේ. පිට කොළය තරමක ඝනකමට ඇත. බඩ කොළය හෙවත් ස්ත්‍රී කොළය තරමක ඝනකම අඩුය. සැහැල්ලු ගතියට ඇත. සමහරු මෙය ඉවත් කර වෙනත් වැඩවලට ගනිති. ස්ත්‍රී කොලයේ ලියන විට එහි ඇති ඉටි ගතිය අඩු වී යාම නිසා සිදුරු වීමටද මාන බලයි. පුරුෂ කොළය තරමක් ඝනකම නිසා සිදුරු වීමට මාන නොබලයි. ලිවීමට පහසුවන අතර කළු මැද්ද විට පැහැදිලිකම වැඩිය.

 

තැම්බීමට වඩිය බැඳීම

කූරු ඉවත්කළ කොළය මුල සිදුරක් කපාගත යුතුය. එය සිදුරු කර ගන්නේ එල්ලා තැබීමේ පහසුවටයි. ඉරාගත් කොළ රවුමට එකපිට ඔතා ඉසිරී නොයන සේ බැඳීමත් මධ්‍යම ප්‍රමාණයට සකස්කර ගැනීමටද හසුරුවා ගැනීමට ද පහසුය. මෙයට වඩිය යන නාමය කියවේ. තල ගොබයකින් වඩි 5 - 6 ක් බැඳගත හැකිය.

 

කොළ තැම්බීම

කොළ තැම්බීම සඳහා වඩි ප්‍රමාණය අනුව මැටි මුට්ටියක් අවශ්‍යයි. වෙනත් බඳුන් සුදුසු නොවේ. එළිමහනේ මේ කටයුත්ත සිදුකර ගැනීම පහසුය. පැහැදිලිව පෙනේ.

 

අවශ්‍ය ඖෂධ හා උපකරණ

1.කැප්පෙටියා කොළ වඩි ප්‍රමාණය අනුව පිරිපුන් මිටක් හෝ දෙමිටක්. 2.කොරකහ කොළ දෙමිටක්, 3.හීන්බෝවිටියා කොළ මිටක් දෙමිටක්, 4.නොමේරූ කුඩා පැපොල් ගෙඩියක්, 5.දෙහි ගෙඩියක් පමණ කිරිවාන ගලක්, 6.තඹ කැබැල්ලක් හෝ කුඩා තඹ කැබල්ලක්, 7.මැටි මුට්ටියක්.

මෙසේ සකස් කර ගත් දෑ සමඟ සකස් කරගත් කිරිවානා ගලත්, තඹ සතය හෝ තඹ කැබැල්ල පළමුව මැටි භාජනයට දමන්න. ඊට පසු කැප්පෙටියා කොළ, හීන් බෝවිටියා කොළ සමඟ කපාගත් පැපොල් තට්ටුවෙන් තට්ටුවට භාජනයට දමන්න. දමාගත් දෑවලට උඩින් පැපොල් කොළයකින් වඩා පිරීයන ප්‍රමාණයට අඩුව ඇල් දිය දමන්න. උඩින් නොවසන්න. ඊට පසු ළිප තබා ගිනි දල්වන්න. ඇතුළත ඖෂධ ද්‍රව්‍ය උතුරා යාමට හේතුවන නිසා ගිනි දැමීම ප්‍රවේශමින් කළ යුතු ය. තැම්බීම පැය දෙකක් තුනක කාලය ගිය පසු මද ගින්න යොදන්න. එවිට සුවඳ හමා යයි. සුවඳ හැමූවිට බිමට ගෙන වතුර නිවීයන තෙක් තබන්න. මේ කොළ තම්බා ගන්නේ කල් පැවතීමටය. ප්‍රධාන වන්නේ කල් පැවතීම මෙන්ම ආරක්ෂාව යි. දිරාපත්වීම වළකී. පුස් බැඳීම, කුඩා ජීවීන් ඇති නොවීම, තෙත ගතිය අඩුවීම, කළු මැදීම ඒ ආකාරයෙන්ම පැහැය නොවෙනස් වීම ආදිය වේ. අද වෙළෙඳපළෙන් මිලදී ගත හැකි රසායනික ඖෂධයක් ඇත. එම නාමය නොදෙමි. එය ප්‍රයෝජනයට ගැනීම නිසා මේ ක්‍රමය අත් හරින නිසාය. එය දමාගත් විට කොළ සුදු පැහැයෙන් දිස්වේ. කළ පැවැතීම අඩුය. කල් යන විට සුදුපැහැය අඩු වී වෙනත් පැහැය ගනී. මේ පැරණි ක්‍රමය පවත්වාගෙන ම දේශීය වෛද්‍යවරයාගේ හෝ ඡ්‍යොතිෂවේදියාගේ යුතුකමක් වේ.

 

තලපත් වියළා ගැනීම

තම්බාගත් වඩිය ලිහා කොළය මුල කපා ගත් සිදුරට “වැල්පටක්” දමා සියල්ල එල්ලා තැබීමට හැකි පරිදි සකස් කරගෙන හිරුඑළිය නොවැටෙන සේ තැනක එල්ලා තබන්න. හැකිළී යන නිසා කොළ පිරිමැද දිග හැරීමට කටයුතු කරන්න. දවස් එකහමාරක් (වරු තුනක්) ගත වූ පසුව මඳ අව්වේ තබන්න. එක දිගටම අව්වට නොතබන්න. ටිකෙන් ටික තබන විට පැහැපත්ව වියළී යයි. නිතර එයට අවධානය යොමු කර ඇකිළී යාම වළකාගන්න.

දැන් කොළ වියළී යයි. එය ඇකිළීයාම වළක්වා ගන්න. මිහිරි සුවඳක් ද හමයි. ඒ නියම පදම ලැබුණ විටයි. දැන් ලිවීමට ගන්නා තෙක් නැවත කොළ වඩිය බැඳ තබන්න.

(ඊළඟ ලිපියෙන් අකුරු ලියන අයුරු)

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී,

මාකෙහෙල්වල කරුණාපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.