වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
රහසිගත ලියුම් මිටිය (අද්භූත රෝගියා 3)
මෙතෙක් කතාව
ප්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත පැමිණෙන එක්තරා පුද්ගලයකු තමාගේ අතෙහි බරපතළ වේදනාවක් ගෙන දෙන තුවාලයක් ඇති බව පවසා සැත්කමකින් සුවපත් කරදෙන මෙන් පවසයි. එහෙත් වෛද්‍යවරයා ඔහුගේ අතෙහි එවැනි තුවාලයක් නැති බව දකියි. එසේ වුවද ඔහුගේ බලවත් ඉල්ලීම පිට වෛද්‍යවරයා එයට එකඟ වෙයි. තුවාලයක් නැති නමුදු එම සැත්කම නිසා බලවත් සැනසීමක් ලබන රෝගියා පිටත්ව යන මුත් නැවත දින කීපයකින් වෛද්‍යවරයා හමුවී සිය තුවාලය සනීප නොවූ බව පවසා නැවත ද සැත්කමක් සිදු කරවා ගනියි. ඉන් අනතුරුව ඔහු යළි නොපැමිණෙන අතර වෛද්‍යවරයාට දීර්ඝ ලිපියක් එවනු ලබයි.
කිසිදු සංස්කරණයකින් තොරව ඉදිරිපත් කරන්නේ නම් රෝගියාගේ ලිපිය මෙවැන්නකි.
“මා හිතවත් දොස්තර මහතාණෙනි, මගේ රෝග නිධානය අරබයා ඔබ තුළ මහත් කුතුහලයක් ඇති කරමින් එය පරලොව දක්වා හෝ මගේ මීනීවල වෙත හෝ ගෙන යාමේ වුවමනාවක් මා තුළ නොමැති බව පළමුවෙන්ම පවසනු කැමැත්තෙමි. මේ මොහොත වන විට මගේ රෝගය යළිත් තුන්වරක් මා වෙත ළඟාවී තිබේ. ඊට එරෙහිව සටන් කරමින් තව දුරටත් ජීවත්වීම මහත් දුකකි. මේ ලිපිය ලියන මොහොතේ පවා මගේ රෝගී අත ගිනි ගෙන දැවෙන්නාක් මෙන් භයංකර ලෙස වේදනා දෙයි. මේ ලිපිය ලිවීම සඳහා වේදනාව සමනය කරගෙන ඇත්තේ කෙසේදැයි යන්න, ඔබ මා විශ්වාස කරන බැවින් පමණක් සඳහන් කරන්නෙමි. මා ඵසේ කරන්නේ වේදනාව දෙන තුවාලය ඇති තැන ගිනිගත් වූ රට අඟුරු කැබැල්ලක් තබා ගනිමිනි!”
“මේ කතාව පටන් ගත යුත්තේ මීට මාස හයකට ඔබ්බේ සිටය.
එකල මමද ලෝකයේ සතුටින් ජීවත් වන අනෙක් බොහෝ මිනිසුන් මෙන් සන්තෝෂයෙන් ජීවත් වූ අයෙක් වූයෙමි. තිස් පස් හැවිරිදි වයසේ පසුවන පිරිමියෙකුට අවශ්‍ය සෑම දෙයකින්ම වාගේ සන්තෝෂ වීමේ අවස්ථාව මටද හිමි වී තිබිණි. මා විවාහ වී සිටියේ මීට වසරකට පෙර සිටය. ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කර ගනිමින් ඇති වූ එම විවාහයේදී මට බිරිඳ වුයේ මා සතු වතුයායට ඔබ්බෙන් විසූ සිටුවරියකගේ පරිවාර කණ්ඩායමේ තැනැත්තියකි. ඉතා රූමත් වූත්, කාරුණික වූත්, ආචාරශිලී තරුණියක ලෙස මගේ මනාලිය ඔබට හඳුන්වා දෙනු කැමැත්තෙමි. එකල ගෙවී ගිය හය මසක කාලය ගැන හැඳීන්විය හැකි හොඳම ක්‍රමය වන්නේ ගෙවී ගිය සෑම දිනයකටම වඩා උදාවූ දවස සන්තෝෂයෙන් පිරුණු එකක් යැයි පැවසීමෙනි”
“ඇය මට කොතෙක් ආදරය කළේද යත්, දිනක් මා හට නගරයේ නවතින්නට සිදු වූ දිනෙක මා දකිනු පිණිස සැතපුම් කීපයක් පයින්ම ඇවිද ආවාය. නිවසින් පිට ඇය යම් තැනකට ගියා නම්, ඒ තමා කලින් සේවය කළ සිටු දේවියගේ සුවදුක් බැලීමට පමණි. එසේ ගිය අවස්ථාවලදී ද පැය කීපයකින් අනතුරුව ආපසු ඒමට ඇය පුරුදුව සිටියාය. නිවසින් වෙනත් කොතැනක හෝ නොගිය ඇයගේ සියලු ගමන් බිමන් කෙරුණේ මා සමඟ පමණකි. සිහිනයකදී හෝ අනෙක් පිරිමියෙකු දුටුවහොත් එයද මහත් අපරාධයක් ලෙස සලකා මා සමග පවසා හිත සනසා ගැනීමට ඇය පුරුදුව සිටියාය. ඉතා අහිංසක තරුණියක වූ මගේ බිරිඳ මෙකී ගති ගුණ නිසාම සිය මිතුරියන් අතින්
සමච්චලයටද ලක් වූවාය”
“නමුත් ඇය සතු මේ චර්යාවන් හුදෙක් ව්‍යාජ රඟපෑමක්ය යන හැඟඟීම මා තුළ ඇති වූයේ කෙසේදැයි යන්න හෝ ඒ ඇයි දැයි යන්න අදටත් මට කිව නොහැකිය. මට කියන්නට ඇත්තේ මිනිසාගේ උත්පත්ති ස්වභාවය එය වන බව පමණි”
“මගේ භාර්යාවට මැහුම් ගෙතුම් කටයුතු සඳහා කුඩා මේසයක් තිබිණි. මෙහි ලාච්චුවට ඇය සෑම විටම පාහේ යතුරු දමා තැබීම මා හට බලවත් සැකයක් ජනිත කරවන්නක් වුයේය. අඩුම කරමින් යතුරු ලාච්චුව කටෙහි තිබෙන්නට හරින්නට හෝ බැරි වීමකින්වත් යතුරු නොදමා නොසිටින්නට හෝ ඇය පරිස්සම් වුවාය. මා ප්‍රිය බිරිඳ මෙසේ ප්‍රවේශමෙන් සඟවා තබන්නේ කුමක්ද යන්න මගේ සිතට මහත් වධයක් ගෙන දුන්නේය”
“එතැන් සිට ඇය මා වෙත දැක්වූ මුළු මහත් ප්‍රේමයම හුදු මායාවක් විනා අන් කිසිවක් නොවන බව තීරණය කරන තත්ත්වයට මම පත්ව සිටියෙමි. ඇයගේ සිප වැලඳගැනීම්, පෙම් බස්, ගරු බුහුමන් ආදී සියලු දේ ව්‍යාජ රංගනයක් සේ සලකන්නට පුරුදු වූ මම උමතු පුද්ගලයකුගේ තත්ත්වයට පත් වුයෙමි”
“මේ අතර දිනක් සිටු දේවිය මගේ භාර්යාව තම මන්දිරය වෙත කැඳවාගෙන යාමට පැමිණියාය. එදින දිවා කාලයේ ඇයව තම මන්දිරයේ නවතා ගත යුතු කාර්යයක් සිටු දේවියට ඇති වී තිබිණි.
හවස් යාමයේ ඇය ආපසු කැඳවා ගෙන ඒමට පැමිණෙන බව දන්වා මම ඇයව සිටු දේවියන් සමඟ පිටත් කොට යැවීමි”
“මෙය ඇත්තෙන්ම මා නොඉවසිල්ලෙන් බලාපොරොත්තුව සිටි මොහොතකි . මා කොතෙක් නොසන්සුන් තත්ත්වයක පසුවීද යත් සිටු දේවියගේ රථය මිදුලෙන් ඔබ්බට යාමටත් ප්‍රථම මම දිව ගියේ බිරිඳගේ මැහුම් මේස ලාච්චුව වෙතය. තව තැනක තිබූ ඇය සතු යතුරු ගණනාවක් ඒ සඳහා යොදා ගත් මම, ඉන් එකක් යොදා ගනිමින් ලාච්චුව විවෘත කර ගතිමි. මගේ අවධානයෙන් ගිලිහුණු විවිධාකාර නොවැදගත් භාණ්ඩ අතුරින් රෝස පැහැ පීත්ත පටියකින් ගැට ගසන ලද ලියුම් මිටියක් සොයා ගැනීමට අවසානයේදී මම සමත් වූයෙමි. පෙනුමෙන් පමණක් නොව සැබැවින්ම ඒවා පෙම් හසුන් එකතුවක්ම වූයේය. මගේ ජීවිතයට උදාවූ කාර්යක්ෂම හෝරාව පටන් ගත්තේ එතැන් සිටය’‘
“අනෙකකුගේ හසුන් පත් කියවීම, විශේෂයෙන්ම පෙම් හසුන් පත් කියවීම නිසා, මගේ මානව ගෞරවයට සිදුවන හානිය ගැන හෝ ඒ කටයුත්තේ ඇති සදාචාර විරෝධී ස්වභාවය ගැන හෝ මම ඒ මොහොතේදී සොයා නොබැලුවෙමි. අඩුම වශයෙන් මේ පෙම් හසුන් ඇය මා හා විවාහ වීමට ප්‍රථම නව යොවුන් යුවතියකව සිටි සමයේ ලැබුණ ඒවා විය නොහැකිද යන්න ගැන හෝ මම සිතා නොබැලුවෙමි. දරාගත නොහැකි ලිංගික මාත්සර්යයකින් ද, ඊර්ෂ්‍යාවෙන් ද, ක්‍රමයෙන් වැඩි වන ක්‍රෝධාග්නියෙන් දැවෙමින්ද, මම ඒවා එකින් එක කියවන්නට පටන් ගත්තෙමි’‘
“තත්ත්වය වඩාත් භයානක වූයේ ඒවා ලියා තිබුණේ මවිසින් ඉතා සමීපව ඇසුරු කරනු ලබන ඉතාමත් හිතෛෂිවන්ත මිතුරෙකු විසින් වීම හේතුකොට ගෙනය’‘
“මේ හැම ලිපියකම වූ දාතමින් පෙනී ගියේ ඒවා අපගේ විවාහයට පසුව ලියන ලද ඒවා බවය. මේ ලියුම් ඉතා රහසිගතව තබා ගත යුතු අන්දම පමණක් නොව, සැමියාව මුළා කිරීම සඳහා අනුගමනය කළ යුතු උපක්‍රම ගැන පවා ඒවායේ සඳහන්ව තිබිණි. ස්වාමි පුරුෂයන්ගේ මෝඩකම් පිළිබඳව අවඥා සහගත නර්මාලාපද ඒ අතර විය. මෙය බිරිඳකට කිසි කලෙක සමාව ප්‍රදානය කළ නොහැකි බරපතළ ද්‍රෝහි ක්‍රියාවක් ලෙස මම සැලකුවෙමි. අනතුරුව ක්‍රෝධයෙන් වෙව්ලන ඇඟිළි තුඩුවලින් යුතුව ඒවා පෙර පරිදිම මිටියක් ලෙසින් ගැටගසා ලාච්චුවේ තැන්පත් කොට අගුළු දැමුවෙමි’‘
(හංගේරියානු ජාතික කාරොල්යි කිෂ්ෆොලුඩීගේ කතාවක් ඇසුරිනි )