අම්බානි-රාධිකා අනාගතය කෙසේ වෙයිද?

අගෝස්තු 16, 2024

 

අපරාදේ කියන්න බෑ ඉන්දියාවේ මගුල් ගෙවල්වලත් අපේ මගුල් ගෙවල්වලත් වෙනසක් නෑ. අපේම සල්ලිවලින්ම කාලා-බීලා අපේ වෙඩින් එකේ අඩුපාඩු ආරාධිතයෝ තැන තැන කියෝ කියෝ යනවානේ? ඉන්දීය රුපියල් කෝටි පහක්ම අත දිග ඇරලා වියදම් කළා වුණත්, අම්බානි මහත්තයාගේ අමුත්තොත් යෝධ මනාළයටයි බෝනික්කියක් වගේ මනාලියටයි උසුළු විසිළු කලාලු නොසෑහෙන්න.

ඒත් ඒ හැමෝටම ඇඬෙන්නම රිදෙන්නම මනාමාල මහත්තයා විසින් කරපු ස්තූති කතාවේදී කුඩා කල සිටම රෝගී තත්වයකින් පීඩාවිඳී තමන්ව ගොඩ ගන්න අම්මා, තාත්තා දෙන්නා කළ කැපවීමත් තමන්ට ආදරය කළ ප්‍රිය මනාළියගේ පරිත්‍යාගශීලීභාවයත් ඉහළින්ම අගය කරලා. ඉන්දියාවේ මහා ධන කුවේර මුකේශ් අම්බානිව පවා මොහොතක් කඳුළු සයුරක ගිල්වන්න සමත් මෙහි වීඩියෝ ක්ලිප් එක මේ වනවිට ලොව පුරා අන්තර්ජාලය හරහා වෛරල් වෙලා අහවරයි.

ඇත්තටම මේ මංගල්‍යය ඉතාම සුවිශේෂී, විචිත්‍රවත් එකක් වුණා. මුළු ලෝකයේම නන් දෙසින් රාජ්‍ය නායකයන් ඇතුළු වී.අයි.පී පැළැන්තියේ ප්‍රභූ ආරාධිතයන් විශාල වශයෙන් ඊට සහභාගී වූවා. පිනට දහමට ළැදි අම්බානි පවුල විසින් මංගල උළෙලට සමගාමීව විවිධ සමාජසේවා කටයුතු රැසක් සංවිධානය කර තිබුණා. විවාහාපේක්ෂිත තරුණ පෙම් යුවළ පන්සියයක් වෙනුවෙන් අම්බානි පවුලේ අනුග්‍රහයෙන් සිදු කෙරුණු සමූහ විවාහ උත්සවය මේ අතර සුවිශේෂියි. කොහොම වුණත් මෑත ඉතිහාසය තුළ මෙවන් රාජකීය මංගල්‍යයක් තිබුණේ හරියටම මීට අවුරුදු විසි නවයකට ඉස්සෙල්ලා. ඒ එංගලන්තයේ 03 වැනි චාර්ල්ස් රජු හා ඩයනා ෆ්රාන්සස් ස්පෙන්සර් ආර්යාව අතරයි. ඒ පෙම්කතාවේ සුලමුල අවසානය තෙක්ම අද මේ ලෝකයේ කවුද නොදන්නේ?

මුළු ලෝකෙම තවමත් රාධිකා - ආනන්ත් විවාහයේ චමත්තකාරයෙන් ප්‍රමෝධවත්ව උද්දාමයට පත් වෙලා ඉන්නේ. රූපලාවණ්‍ය හා ඇඳුම් ආයිත්තම් ක්ෂේත්‍රයට සම්බන්ධ අය ඒවා ගැන කතා කරනවා. අහාර පාන හා උත්සව සංවිධානය පිළිබඳ ප්‍රවීණයන්ටත් අවුරුදු ගාණක් කතා කරන්න අනු මාතෘකා දහස් ගණනක් එතැන තියෙනවා. ඇයි ස්වර්ණාභරණ? සූරූපී මනාළිය වගේම පින්බර මුහුණක් ඇති මානාල මහත්තයා විසින් හිස සිට පාදාන්තය දක්වාම විදහා දැක් වූ සියලු විලාසිතාවන් මුළු ලෝකෙටම අවුරුදු ගණනාවක් කතා කළ හැකයි. ඒ අතරේ ජ්‍යෙතිෂයට සම්බන්ධ කරුණු කාරණාවලට ප්‍රිය අපි අපිට අයිති කොටසත් හරි හැටි ඉටු කරමින් ගැඹුරු ශාස්ත්‍රීය කරුණු විශ්ලේෂයණකට යොමුවෙමු. මේ උච්චම අවස්ථාවේ කවුරුත් මේ විවාහයේ හොඳ පැත්ත කතා කරනවා ඇරෙන්න කිසිදු නොගැළපීමක් ගැන කට නොඅරින බව සහතිකයි. එහෙත් විෂයයේ සියුම් තැන් විශ්වාසයෙන් යුතුව අතපත ගාන කෙනෙකුට නම් මෙන්න හොඳම අභියෝගාත්මක අවස්ථාවක්.

ඡ්‍යොතිෂය වැනි විෂයයන් පිළිබඳ දැඩිව අදහන අම්බානි පවුල ප්‍රසිද්ධ කරන දින වකවානු නිවැරැදි නම් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිධාරී ව්‍යාපාරික ආනන්ත් අම්බානි (Anant Ambani)  මනාල මහතාගේ උපත සිදුවෙන්නේ 1995 අවුරුද්දේ අප්‍රේල් 10 වෙනිදා. ඒ අනුව පෞද්ගලික අංකය 1 (රවි/යුරේනස්) වෙද්දි මාසේ අංකය 9 (කුජ +) වෙනවා. ත්‍රිවංකය ගිනි 1 ට අයත් වෙද්දී දෛව අංකයත් 2 වෙනවා. වසරේ අංකය අංක 6 ට යෙදෙනවා. දෛව අංකය 2 වන අය මුළු ලෝකයාම තමන් වගේ අවංක විය යුතු බව තරයේ විශ්වාස කරනවා හැර එතරම් ජවයක් ලැබෙන්නේ නෑ. ආනන්ත් කියන නමේ චෝල්ඩියන් අංක විද්‍යාවට අනුව මූලාංකය අංක 7ත් සංයුක්ත අංකය 16ත් වෙනවා. සම්පූර්ණ නමම කතා කළොත් මූලාංකය 3 ත් එහි සංයුක්ත අංකය 30 ත් වෙනවා. ලොකු ගුප්ත විද්‍යාත්මක බලයක් ඒ තුළ අන්තර්ගත නෑ.

සුරූපී මනාල මහත්මිය වන රාධිකා මර්චන්ට් (Radika Merchant)  මහත්මිය ව්‍යාපාරික සම්භවයක් සහිත පවුලක උපත ලබන්නේ 1994 වර්ෂයේ දෙසැම්බර් මස 18 වෙනිදා. ඇය ඉන්දීය ශාස්ත්‍රීය නර්තනයේ නිරත අතරම සිය පියාට අයත් ඖෂධ සමාගමක අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකාවක්ද වෙනවා. රාධිකාගේ පෞද්ගලික අංකය 9 වන අතර මාසයේ අංකය ගුරු වෙනවා. වසරේ අංකය 5 වෙද්දී දෛව අංකය 8 සනිටුහන් වෙනවා. රාධිකා කියන නමේ මූලාංකය 2 වෙන අතර සංයුක්ත අංකය 11 වෙනවා. විවාහයට පෙර සම්පූර්ණ නමින් කතා කළොත් මූලාංකය 4 වන අතර සංයුක්ත අංකය 40 වෙනවා. පුදුමය කියන්නේ මොනම ආකාරයකටවත් මේ නම් තුළ සැළකිය යුතු තරම් වාසනා බලයක් ගැබ්වෙලා නැති එකයි. හැබැයි විවාහයට පසු නම හැටියට රාධිකා අම්බානි කියලා කතා කළොත් මූලාංකය 7 වන අතර සංයුක්ත අංකය යම් අධ්‍යාත්මික නැඹුරුවක් ඇති අංක 25 ට වැටෙනවා.

මනාලයාගේ දේහ ලක්ෂණ අනුව බැලුවත් සඳක් වගේ දිලිසෙන මුහුණක් ඇතත් සිරුරේ හැඩයෙන් යෝධ ස්වරූපයක් පෙන්නුම් කරනවා. තරමක් අලස දිවි පෙවෙතක් ගත කිරීමටයි මෙවැනි අය ප්‍රිය කරන්නේ. ඒ මහතාගේ දේහ ලක්ෂණ තුළ ගුරුගේ බලයත් කැපී පේනවා. එවිට ලිංගික කටයුතු කෙරෙහි නැඹුරුවත් අඩු කෙරෙනවා. ශරීරය ශක්තිමත් නොවෙනවා වගේම දුවලා පැනලා වැඩ කිරීමටත් තරමක් අපහසුයි. ඒ වගේම අප්‍රේල් මාසයේදී රවි මේෂ රාශියේ ගමන් කිරීම නිසා කුජ ග්‍රහ බලය ඔහු වෙත යොමු වෙද්දී නිතරම මේෂයෙන් සංකේතවත් කලබලකාරී ගති ස්වභාවයයි මානසික තලයේ පෙන්නුම් කෙරෙන්නේ. ඒ වගේම තමයි පෞද්ගලික අංකය 1 නිසා දියුණුවට කැපවෙන, අහංකාර ගති ඇති ස්වභාවයත් ඉහළ මමත්වයත් ඇති අතරම නීතිය ක්‍රියාත්මක කිරීමේදී නෑකම් තකන්නෙත් නෑ. ඔහුගේ උපන් මාසය අනුව මානසික දිශානතිය තුළ කුජගේ බලයක් නෑ කියන්නමත් බෑ. නමුත් කුජගේ බලය දේහ ලක්ෂණවලින් මනාව ඉස්මතු කරලා නෑ.

මනාළියගේ දේහ ලක්ෂණ අනුව තරමක් කෙට්ටුවට පෙනුණත් ඒ තුළ හැංගිච්ච පිරුණු බව පෙන්වන්නේ කුජගේ ශක්තිය හොඳීන් ඇති බව. උල් නිකට, ගිරාහොට නැහැයත් මල්හී විදින ඇස් දෙකත් උවැසියකගේ ලක්ෂණ පෙන්වන්නේ නෑ. හතරැස් වායෝ අතත් කැලේ යන සුළැඟිල්ලත් පෙන්නුම් කරන්නේ ප්‍රායෝගිකව මුදල් රැස් කිරීමට යොමු අරමුණු සහගත බව මිසක් උසස් මානව දයාවක්, අනුකම්පා සහගත බවක් හෝ අධ්‍යාත්මයට නැඹුරු ජීවිතයක් ඉන් පිළිඹිබු කෙරෙන්නේ නෑ. හැබැයි වායෝ අත් ඇති අය නර්තනයට ඉතා දක්ෂ බව මාතාහරී නම් කුප්‍රකට චරිතය පවා සාක්ෂි දරනවා. අත්ලේ රේඛා පවා වඩාත් පරිනතව ඇඳී නැති නිසා ඉහළ යෝග්‍යතාවයක් පෙන්නන්නෙත් නෑ. රවි ධනු රාශියේ ගමන් කරන දෙසැම්බරයේ (ගුරු) උපදින්නෙත් හොඳට වෙහෙස මහන්සි වෙලා වැඩ කළ හැකි මනා කාය ශක්තියකින් අනූන අයයි. මේ කාලයේ උපදින අය හොඳීන් බැරි නම් සටන් කරලා හරි තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට සමත්. එහෙම වුණත් තම මිතුරු පාර්ශ්වය වෙනුවෙන් උපරිම කැපවීමකින් කටයුතු කිරීමටත් කැමැතියි. හැබැයි කිසිම දවසක ගැටලුවක් අතරමැදි සම්මුතියකින් යුතුව සමථයකට පත්කර ගන්න නම් කැමතිත් නෑ. පූර්ව නිගමනයේම එල්බ සිටිමින් මස් රාත්තලම ඉල්ලන ජාතියේ. තම මතයම තහවුරු කරවීම වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී ඉන්නේ. ඒ වෙනුවෙන් තමන්ට කෙතරම් කැපවීමක් කරන්න වුණත්, කෙතරම් වටිනා සම්බන්ධයක් අත අරින්න වුණත් ඒ ගැන දෙවරක් හිතන්නේ නෑ. පෞද්ගලික අංකයේ ඇති කුජගේ බලය නිසා නිතර ජවයකින් යුතුව දුව පැන කටයුතු කරන්නත් කෙළිදෙලෙන් ගත කරන්නත් කැමතියි. ඉක්මනින් කෝප ගැන්වෙන අතරම අනුන් වෙනුවෙන් යුක්තිය සාධාරණත්වය දිනා දීමටද සටන් වදිනවා. පෞද්ගලික අංකය ගොඩ නැඟිලා තියෙන්නෙත් රවි/යුරේනස් හා ශනි එක්ව නිසා නායකත්ව හා පරිපාලන කටයුතු මැනැවින් සංවිධානය කිරීමේ හැකියාවත් තියෙනවා. පොදුවේ දෙසැම්බර් මාසයේ බලය ප්‍රබලව පිහිටන කාන්තාවකට සාර්ථක විවාහ ජීවිතයක් පවත්වාගෙන යාම අපහසුයි, ස්වාමි පුරුෂයා ඇගේ බහට සහමුලින්ම අවනත නොවෙනවා නම් හැර දෛව අංකය 8 වීම තුළත් ශනිගේ බලයේ බලපෑමෙන් වයස 40 ඉක්මවීමෙන් පසු යම් ආගමික නැඹුරුවක් අපේක්ෂා කළ හැකියි.

ප්‍රායෝගික අංක විද්‍යා පර්යේෂකයෙක් හැටියට කෙනෙක්ට හැකියාවක් තියෙන්න ඕනේ මේ සුවිශේෂී මංගල්‍යය ගැන ශාස්ත්‍රීය විග්‍රහයක් කරන්න. හොඳයි ඔයගොල්ලෝ කියන්නේ ධනවත් පවුලක හොඳට කාලා-බීලා දුවලා-පැනලා, නටලා කිරිල්ලියෙක් වගේ සැහැල්ලුවෙන් හිටිය කෙල්ලෙක් සම්ප්‍රදායික හින්දු කුල කාන්තාවක් වගේ නිවසට කොටුවෙලා ඉඳීවි කියලාද? වෛද්‍ය සිරිවර්ධනයන් විසින් “දෛවයේ දින සටහන” නමින් සිංහලයට නඟා ඇති “The book of zodiac” ග්‍රන්ථයේ අප්‍රේල් 10 වෙනිදාට අදාළ විස්තරයේ මෙහෙම සඳහන් වෙනවා. “ආදරය මොවුන්ට ඉතා අවශ්‍යය. ඒත් නොලැබෙන්නේද එයමයි. ආදරය රැකෙන්නේ සහකාරියට ඔවුන් සමග දියුණු වීමේ ආශාව ඇත්නම් පමණයි. මේ පුද්ගලයන් ඔවුන්ගේ දරුවන් හෝ ගෘහ ජීවිතය සමඟ ගැටුම් ඇති කර ගනී”. දෙසැම්බර් 18 දා ගැන සඳහන් වන්නේ “මෙදින උපදින අය විවාහය හා ඔට්ටු ඇල්ලීම තුළින් මුදල් උපයන බවයි. ප්‍රබල ලෙස විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණය වන බැවින් වාසනාවන්ත විවාහයක් හා සම්බන්ධතා එකකට වැඩි ගණනක් පවත්වාගෙන යනු ඇත ” කියායි. එසේම දෙසැම්බරයට අයත් පොදු විස්තරයේ සඳහන් වෙන්නේ මේ කාලයේ උපදින අය හදිසියේ විවාහ වී නිවීහැනහිල්ලේ ඒ ගැන පසු තැවෙන බවයි. විවාහය අසතුටුදායක වුවද දරුවන්ගේ හා ස්වාමියාගේ දියුණුව වෙනුවෙන් කැප වෙන බවත් සඳහන්. එම ප්‍රකාශය තරමක් සුබදායක වුවත් එහෙම අනුමාන කරන්න තිබුණා මර්චන්ට් නෝනාගේ අත ප්‍රයෝගික හතරැස් කාණ්ඩයේ වායෝ නම් උප ප්‍රභේදයට අයත් නොවුණා නම්.

රාධිකා නෝනා කොහොමත් උප්පත්තියෙන්ම පෝසත් පවුලක නිසා වෙන පවුලක එල්ලිලා දුකක් විඳගෙන හරි ලබන්න තරම් මේ ජීවිත කාලය පුරාවට මෙතෙක් නොවිඳී සැපයක් තියෙන්න විදිහකුත් නෑනේ? නෑඹුල් ප්‍රේමය පෝරුවෙන් අවසන් බව දන්නා නිසා මම අම්බානි මහත්තයා වෙලා ආනන්ට් මහත්තයා මගේ පුතෙක් වුණා නම්, මගේ පුතාට මුළු ජීවිත කාලයටම එකට ඉන්න සහකාරියක් තෝරන්න මට වරයක් ලැබෙනවා නම්, තෝරන ලේලියි, තේරිලියි ඔයිට හාත්පසින්ම වෙනස්. එයා උගත් නොවුණාට කමක් නෑ. සල්ලිය භාගේ ඕනෙත් නෑ. දැකුම්කළු, හීන්දෑරි, උස ශරීරයක් තියෙන්න ඕනේ. කිසි දේකට ඉදිරිපත් වෙන්නේ නැතිව මුළු ගැන්වීලා ඉන්න කෙනෙක් වුණත් කමක් නෑ. එයාට වැඩිය යාළුවෝ පිහිටන්න විදිහයකුත් නෑනේ? ඇඟ වැහෙන්න එයා ඇඳුමුත් අඳීවී. ඒ දුවගේ අත්ලේ රේඛා පවා අඳුරුව, ඝනව පිහිටලා තියෙන්න ඕනේ. විශේෂයෙන් දෛව රේඛාව හෑරිලා දිගට තියෙන්න ඕනේ දෛවය විශ්වාස කරන විදිහේ. දිග ගැට සහිත ඇඟිලි පිහිටන්නත් ඕනේ. අතේ හෘද රේඛාවයි ශීර්ෂ රේඛාවයි දෙකම උඩින් යටින් දෙකින්ම ගෑවිලා තිබුණත් වඩා හොඳයි. ශීර්ෂ රේඛාව හොඳීන් පහළට නැවිලා මානසික දිශානතිය ඇතුළේ දයාව, අනුකම්පාව වගේම ආගම හා කලාව කෙරෙහි නැඹුරුව දෝර ගලන්න තියෙන්න ඕනේ. උන් දෙන්නා එකට අත්වැල් බැඳන් දේවාලෙට යන එන හැටි මට මැවිලා පේනවා. බජන් ගීත වලින්, සුවඳ ධූප වලින් මුළු ගෙදරම කොයි වෙලෙත් පුරවලා තියන හැටි. එකම අවුල මට කපුටු පැටියෙක් වගේ මුණුපුරෙක් හරි මිණිබිරියෙක් හරි නළවන්න වුණොත් විතරමයි.

අම්බානි පවුලේ උදවියට දෙවියන් කෙරෙහි අසීමිතවූ භක්තියක් පවතිනවා. විශේෂයෙන් ශිව දෙවියන්ට, පාර්වතී දේව මාතාවට වගේම ගණ දෙවියන්ට. ආනන්ත්-රාධිකා යුවළගේ විවාහ අරාධනා පත්‍රයේ පවා ඒ බව හොඳීන් කැපී පෙණුනා. හරියටම කියනවානම් පෙට්ටියක දාපූ විශාල වෙඩින් ඇල්බම් එකක් වගේ තමයි මේ ආරාධනා පත්‍රය. එය විවෘත කරන විට ඔවුන් විශ්වාස කරන එකී දෙවිවරුන්ගේ රූප දැකගත හැකි වෙනවා. ඒ වගේම දේව ස්ත්‍රෝතත් ස්වයංක්‍රීයව ප්‍රතිවාදනය වෙන්න ගන්නවා. අරාධනා පත්‍රයට අමතරව අත්අකුරින්ම ලියූ ආරාධනා පත්‍රයක්ද පවතිනවා. ඒ වගේම අවසානයේ උතුරු සළුවක්ද එහි ඇතුළත් කර තිබුණා. ගණ දෙවියන් කෙරෙහි ද සුවිශේෂී භක්තියක් පවතිනවා විතරක් නෙවෙයි අම්බානි පවුලේ උදවිය අලි ඇතුන් කෙරෙහි ද සුවිශේෂී ළැදියාවක් පෙන්නුම් කරනවා. ඒ නිසා විය හැකියි අම්බානිවරුන්ට සුවිසල් ඇත්ගාලක් ද හිමි වූයේ. එය ඔවුන්ගේ සිත්වල පවතින යම් විශ්වාසයක් නිසා හෝ ධනවත් භාවයේ ස්වභාවයක් සහ සතුන්ට ඇති ආදරය නිසා වුවත් විය හැකියි. මන්ද ශාස්ත්‍රීය වශයෙන් ඇත්පන්ති සමඟ ඔවුන්ගේ සෘජු සම්බන්ධතාවයක් ගොඩ නැඟීමට සාක්ෂි දැනට මා හට මතුකර ගැනීමට නොහැකි නිසා. එසේ නමුත් මේසා දීප්තිමත් ජීවිතයකට හිමිකම් කියන අතරම ලෝකයාගේ ගැරහුම් ලබන්නටත් අම්බානි පවුලට මේ ආත්මයේදී යම් පවක් වගේම සුවිශාල පුණ්‍ය මහිමයක් අඩු වැඩි වශයෙන් බලපාලා ඇති. බෝධිසත්ත්ව චරිතයේ වුවත් එවැනි උදාහරණ ඕනෑ තරම් සඳහන් වෙනවානේ නේද?

මේ ලිපියේ ඇති වැදගත් කම නිසාම මේ මාතෘකාවට පක්ෂ-විපක්ෂ මතවාදයන් විවිධ කෝණයන්ගෙන් පාර්ශ්වයන් කිහිපයක් විසින්ම සාකච්ඡාවට ලක් කෙරුණා. එහිදී මතු වූ ප්‍රධාන තර්කයක් තමයි මේ ආනන්ත්-රාධිකා අතර ඇත්තේ යෝජිත ප්‍රේමයක් නොව පාසල් ප්‍රේමයක් බව. ඒ වගේම ඔවුන් දෙදෙනා දෙදෙනාට ආකර්ෂණය වනවිට ආනන්ත් සමාන්‍යය ස්වරූපයේ ප්‍රියමනාප පෞරුෂයකින් සිටි බව. අපගේ එකඟතාවයන් මත ආනන්ත්ගේ දෙමවුපියන්ගේද අංක විද්‍යාත්මක ගැළපීම වැඩි දුරටත් සලකා බලනු ලැබුවා. ඒ අනුව මුකේශ් අම්බානි මහතා උපත ලබා ඇත්තේ 1957 අප්‍රේල් මස් 19 දින වන අතර නීටා අම්බානි මහත්මිය 1963 වසරේ නොවැම්බර් මස 01 දින ඉපදී ඇති බව දැකගත හැකියි. මෙහිදී මාපියන් හා පුතු ඉපදී ඇත්තේ එකම පෞද්ගලික අංකයකින් වීම සුවිශේෂී වන අතර දරුවා පියා හට හදවතින් හෝ වඩා නැඹුරු වන අතර පිය පුතු මානසික තලයේ දිශානතිය බොහෝ සෙයින් සමාන බවක් පෙන්වයි. ශාස්ත්‍රීය වශයෙන් වැඩිදුරටත් කරුණු විශ්ලේෂණයේදී දෙමාපියන්ගේ පෞද්ගලික අංක ගැළපෙන බැවින් විවාහය කෙසේ හෝ ඇද ගෙන යාමක් මිස පරිපූර්ණ අදහස් ගැළපීමක් ඉස්මතු නොවන බව කිව යුතුව ඇත. එසේම අංකය විද්‍යාවේ පියාවන කයිරෝගේ ‘උපන් දිනය’ තරම් අපට හුරුපුරුදු වෙනත් දිනයක් නොමැති තරම්ය. කයිරෝ විසින්ම පවසන පරිදි නොවැම්බර් 1 දින උපත ලබන අයගේ විවාහ ජීවිත ගැටලු සහගතය. යම් පමණකින් හෝ සාර්ථක විවාහයක් ගතකළ හැකි වන්නේ ඔවුන් බොහෝ වයස්ගතව විවාහප්‍රාප්තව ඇතොත් පමණි.

අම්බානි පවුලේ තවත් සහෝදර සහෝදරියන් ඇතත් මේ වැනි ආකාරයේ සරුවට විවාහ මංගල උත්සවයන් ඔවුන් වෙනුවෙන් ගෙන නොමැති බවද පැවසෙනවා. අරමුණු සහගත වායෝ අතක් හිමි රාධිකා මර්චන්ට් මෙනෙවියව තම පෙම්වතා නැත්නම් හොඳම යහළුවා හට අමතක නොවන මතකයක් ජීවිතයේ එක්වරක් හෝ එක්කර දීමට අම්බානි පවුල විසින් ඇයව එකඟකරවා ගත්තාද වැනි සාධාරණ සැකයක් මෙහිදී මතු වෙනවා. එහි උච්චම අවස්ථාව වන්නේ මනාළයාගේ ස්තූති කතාවයි. කතාව අතරතුර මුලින් හැඟුම්බර වූ අම්බානි නම් මහා පුද්ගල පෞරුෂය පසුව හැඬුම්බර වූ පුවත ලඝුකොට සැලකිය නොහැකියි. කවුරුන් මොනවා කිව්වත් මෙහි සූරූපී රාධිකා මර්චන්ට් නම් සැබෑ චරිතය මේ වන විට අම්බානී පවුල විසින් හරිහැටි කියවා ඇත්නම් ඇය මේ වන විට රඟපාන්නේ අම්බානි පවුලේ පිටපතක් විය යුතුය. කලාතුරකින් හෝ එසේ නොවුණහොත් ස්වයං රචිත පිටපත තම හිත ඇතුළේ සඟවා ගෙන මර්චන්ට් මහත්මිය මේ රඟ පාන්නේ මාතාහරීටත් එහා ගිය අති අවදානම් චරිතයක්ද විය හැකිය. සැබෑ විනිශ්චය කාලයාටම භාරකොට අපි මදක් නිසොල්මනේ බලා සිටිමු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.