නැකැතට අරඹා නැකැතට නිමවන රුහුණු රටේ සැණකෙළිය

ජූලි 19, 2024

 

රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ජූලි මස 06 වැනිදා ආරම්භ විය. ඇසළ මංගල්‍යය ආරම්භ කරනු ලබන්නේ කප් සිටුවීමෙනි. පෙරහර පැවැත්වීමට දින හතළිස් පහකට පෙර කප් සිටුවා පෙරහරට සූදානම් වේ.

දේවාලයේ නැකැත් චාරිත්‍රවලට අනුව දේවාලයේ ගොටු මහත්තයා තවත් දෙදෙනකු සමඟ උත්තරායන වසන්ත ඍතුවේ මේෂ රවියේ පුර නවවක තථිය ලත් දින කප් සිටුවීමට ගන්නා කප වෙන් කිරීමට වනයට යෑම පැවැති චාරිත්‍රයකි. පසළොස්වක පෝයට සතියකට පෙර තෝරාගත් දිනයකදී වඩුරියනක් දිග දෙබලක් ඇති ගෝනාපාන ගස් දෙකක් මේ සඳහා යොදා ගනී.

මෙසේ නැකැත් අනුව කපාගත් ගස් දෙක නැකැත් දිනට පෙර දින රාත්‍රියේ වල්ලි අම්මා දේවාලයට රැගෙන විත් රැයක් පූජා තබා කැපකොට මහ දේවාලයට පෙරහරකින් වඩමවා කප් දෙකෙහි දෙකොනෙහි මල් හා පඬුරු බැඳ සුබ නැකතින් මහ දේවාලයේ මිණි බැඳ මණ්ඩපයේ ඇති ප්‍රධාන කණු දෙකේ ගැට ගැසීම සිදු කරනු ලබයි. කප් සිටුවීමෙන් දින හතළිස් පහ සම්පූර්ණවීමෙන් පසු ඇසළ මහ මංගල්‍යය ආරම්භ වේ. මෙවර ප්‍රථම පෙරහර ජූලි මස හයවැනිදා මහා දේවාලයෙන් පිටත්ව මැද වීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලයට ගොස් චාරිත්‍ර ඉටුකොට නැවත පැමිණ මහාදේවාලයට ගෙවැදිනි. දෙවැනි දිනයේදී පෙරහර මහදේවාලයෙන් පිටත්ව පිට වීදිය ඔස්සේ ගමන් කරමින් සතර දේවාලයන්ට ළඟා වී පුද පූජා තබා නැවත වල්ලි අම්මා දේවාලය වෙත ගොස් පැමිණ මහා දේවාලයේ දී ගෙවැදේ. මීළඟ පෙරහරට බස්නායක නිලමේ සුබ නැකැතින් බස්නායක වලව්වෙන් පිටත්ව මහ පෙරහරට එක්වේ. එදින දහවල් පුරාණ චාරිත්‍රවලට අනුව වලව්ව පිරිසුදු කර මහා සංඝරත්නයට සංඝගත දක්ෂිණාවක්ද පිරිනැමේ. ඉන් අනතුරුව දේවාලය ඉදිරිපිට ඇති අතුපන්දලමේ අතු ඉවත්කර අලුත් අතු දමා පන්දලම අලුත් කෙරේ.

එමෙන්ම කතරගම ඇත් පරපුරේ ප්‍රධාන ඇතා වූ කඩොල් ඇතාගේ දළදෙක දෙවොල් මාළිගාවේ ප්‍රධාන දොරටුව දෙපස ප්‍රදර්ශනය සඳහා තැබේ. දුටුගැමුණු රජතුමා සහ පිරිවර එළාර රජුගෙන් රට බේරාගැනීම සඳහා යුද වැදීමට රුහුණේ මාගමින් පිටත්ව යන අතර දී මැණික් ගඟ අසළදී මහලු වෙස් ගෙන සිටි කඳසුරිඳුට මුණ ගැසිණි. එහිදී මහලු වෙස්ගත් කඳ සුරිඳු මේ ගැල්වල ඇත්තේ මොනවදැයි විමසන ලදී. එහිදී ගැල් භාරව සිටි අණදෙන නිලධාරී පවසා ඇත්තේ මෙහි උඳු ඇති බවය. එහිදී කිසිත් නොකී මහලු වෙස්ගත් කඳ සුරිඳු මැණික් ගඟ දිගේ ඉදිරියට ගොස් අතුරුදන් වීය. ටික දුරක් ගිය ගැල් නවතා පරීක්ෂා කිරීමේ දී සිදුව ඇත්තේ මහත් පුදුමයකි. ගැල්වල තිබූ ආයුධ හා ආහාරපාන සියල්ලම උඳු බවට පත්ව තිබිණි. ඒ දුටු ගැල්භාර නිලධාරියා මහත් බියට පත්ව ඒ බව දුටුගැමුණු රජුට දන්වන ලදී.

ගැල්වල තිබූ යුද ආයුධ හා ආහාරපාන උඳුවීම ගැන දැනගත් රජු මහත් පුදුමයට පත්ව ගැල් පරීක්ෂා කිරීමට පැමිණෙන විට කලින් වෙස්ගත් මහලු තැනැත්තා නැවතත් දුටු ගැමුණු රජු ඉදිරියේ දර්ශනය විය. ඉන් මහත් සැකයට පත් රජු මහල්ලා ඉදිරියට ගොස් ඔබ කවුරුන්දැයි විමසන ලදී. එසැණින් මැණික් ගඟෙන් මහ ජලකඳක් ගලාගෙනවිත් මහල්ලා සිටිතැන වටකොට අනතුරක් නොවන සේ එක් රැස් විය. එහිදී එතෙක් වෙස්ගෙන සිටි කතරගම දෙවියන් රජු ඉදිරියේ දර්ශනය වී ඔබගේ අසිපතෙන් දිය කපා මා වෙත එන්නැයි පවසන ලදී. ඒ අනුව දිය කපමින් ඉදිරියට ගිය රජු කතරගම දෙවියන්ට වැඳ නමස්කාර කර, තමා එළාර සමඟ සටනට යන බවත් ඉන් තමාට ජය අත්කර දෙන ලෙසත් ඉල්ලා සිටියේ ය.

ඒ සඳහා වන බාර හාරය ලෙස එළාර සටනින් ජයගතහොත් රන් උළු සහිත දේව මන්දිරයක් කරවා දෙවියන්ට පූජා කරන බවත් කීය. කරන ලද භාරය අනුව දුටුගැමුණු රජු සටනින් ජය අත්කරගන්නා ලදී. භාරය ඔප්පු කිරීම සඳහා දුටුගැමුණු රජු කතරගම දෙවියන් ජීවමානව වැඩ සිටින ලද වැඩසිටි කන්දට ගියේ ය. එහිදී කතරගම දෙවියන් ඉදිරියේ දේව මන්දිරය ඉදිකොට පූජා කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේ ය. එහිදී කතරගම දෙවියන් රජුට දන්වා සිටියේ කලියුගයේ දී මිනිසුන්ට විශාල ආර්ථික අහේනියක් ඇතිවන හෙයින් රන් උළු මාළිගයක් සෑදුවහොත් එය කඩා බිඳ දමන බැවින් එය තමාගේ නමට අගෞරවයක් වන නිසා රන් උළු මාළිගය වෙනුවට රන් කොත් මාළිගයක් ඉදිකරන ලෙසයි. එය සතුටින් පිළිගත් රජතුමා එසේ මාළිගයක් ඉදි කරන බව කීය. එහිදී කතරගම දෙවියන් කියා සිටියේ එම මාළිගය ඉදි කළ යුත්තේ මා විසින් විදින ලද ඊතලය වැදෙන ස්ථානයේ බවය.

එසේ කියූ දෙවියන් වැඩසිටිකන්දේ සිටම ඊතලය විද්ද අතර එය පතිත වූ තැන මාළිගය ඉදිකරන ලදී. එම දේවමාලිගාවේ රන්, මුතු, මැණික් තැන්පත්කොට ඉරහඳ පවතින තාක් දේවමන්දිරයට පුද පූජා කරන ලෙස දස මහා යෝධයන්ගෙන් පැවැත එන කපු මහතුන්ට නියෝග කළේ ය. කප්පකන්දර නදිය කප්පර නදී යනුවෙන් හැඳින්වෙන මැණික් ගඟ ලංකාවේ ඇති එකම ශුද්ධ ගංගාව බව සඳහන් වේ. කතරගම අෂ්ටඵල බෝධීන් වහන්සේට සහ නානුමුර මංගල්‍යය සඳහා ජලය ලබා ගන්නේද මේ ශුද්ධ වූ මැණික් ගඟෙනි. ඇසළ උළෙල අවසානයේ දී පුරාණ චාරිත්‍රාණුකූලව නැකැතට දිය කැපීමක් සිදු කෙරේ. දිය කැපීම සිදු කරන්නේ මැණික් ගඟේ ජීවමාලී තොටුපලේදීය.

කතරගම පුදබිම ජාති ආගම් භේදයෙන් තොරව එකට එකමුතුව සහෝදරත්වයෙන් යුතුව පුද පූජා පවත්වන පූජනීය නගරයක් වී ඇත. හින්දු බැතිමතුන් වෙනුවෙන් තේවානි අම්මා දේවාලයත් ඊශ්වර දේවාලය හා ගණ දෙවි දේවාලය ප්‍රධාන දේවාල රැසක්ම ඇති අතර මුස්ලිම් බැතිමතුන් සඳහා මුස්ලිම් දේවස්ථානයක්ද ඇත. කතරගම දේවාලය අසලම වැඩ වෙසෙන අෂ්ටඵල බෝධීන් වහන්සේ ද එක් පූජනීය ස්ථානයකි. කතරගම කිරිවෙහෙර රජමහා විහාරයත්, මහා දේවාලයත් අතර අනාදිමත් කාලයක සිට පැවත එන සම්ප්‍රදානුකූල චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පුද පූජා පැවැත්වීමට පැමිණේ.

මෙවර ඇසළ මංගල්‍යයේදී පළමුවන මඟුල් පෙරහර හයවැනිදා පැවැත්වීමෙන් පසු හත්වැනිදා දෙවැනි මඟුල් පෙරහරත් අටවැනිදා තෙවැනි මඟුල් පෙරහරත් නවවැනිදා සිවුවැනි මඟුල් පෙරහරත් දහවැනිදා පස්වැනි මඟුල් පෙරහරත් එකොළොස්වැනිදා සයවැනි මඟුල් පෙරහරත් දොළොස්වැනිදා සත්වැනි මඟුල් පෙරහත් දහතුන්වැනිදා අටවැනි මඟුල් පෙරහරත්, දාහතරවැනිදා නවවැනි මඟුල් පෙරහරත්, පහළොස්වැනිදා දසවැනි මගුල් පෙරහරත්, දහසයවැනිදා එකොළොස්වැනි මගුල් පෙරහරත්, දාහත්වනදා දොළොස්වැනි මඟුල් පෙරහරත්, දහ අටවැනිදා දහතුන්වැනි මඟුල් පෙරහරත්, දහනවවැනිදා දාහතරවැනි මඟුල් පෙරහරත් පැවැත්විණි. විසිවැනිදා පසළොස්වැනි මඟුල් පෙරහරත් විසි එක්වැනිදා අවසන් මහා පෙරහරත් විසි දෙවැනිදා දිය කැපීමේ මංගල්‍යයත් සිදු කෙරේ.

කතරගම ඇසළ මංගල්‍යයේ ඓතිහාසික කිරිවෙහෙර රජ මහා විහාරස්ථානයේ සති පිරිත් දේශනය හා දොරකඩ අස්න 18 වැනිදා පැවැත්වුණු අතර 19 වැනි දා (අද) පිරිත් දේශනය අවසන්වන අතර පසුදින මඟුල් මහ පෙරහර පැවැත්වේ.

බත්තරමුල්ල, පැලවත්ත,

රාජපුර වෙද මැදුරේ,

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.