ඔබේ ආකර්ෂණීයත්වය වැඩි කරගන්න

අගෝස්තු 23, 2024

ලලනාවකගේ සුන්දර මුහුණත් ඇගේ ගතේ අලංකාරත්වත් නිතැතින්ම සිත ප්‍රබෝධමත් කරයි. පි‍්‍රයමනාප පැහැපත් ආකර්ෂණීය මුහුණක් හා සමක් ඇති ලලනාව අත්තෙන්ම වාසනාවන්තියකි. එමෙන්ම නීරෝගිමත්ය. දුටුවන් මන බඳන මුහුණකින් හා සිරුරකින් හෙබි ඇය නිවෙසට ද මහත් සැනසිල්ලකි.

ඒ අලංකාරය තවදුරටත් රැක ගැනීමට නම් ආයුර්වේද උපදෙස් මත ඇවතුම් ක්‍රම ඉටුකිරීමට පියවරගත යුතුය. මුහුණේ මටසිලුටු බව ඇති කර ගැනීමට කාන්තාව දැඩි වෙහෙසක් දරන බව නොරහසකි. බොහෝ කාන්තාවෝ ඔවුනොවුන්ගේ ආරංචිවලට හා දැන්වීම්වලට මුළාවී මවාපාන සුන්දරත්වයට වශී වී සුවඳවත් ආකර්ෂණීය ඇසුරුම්වලට හා නිවේදන විශ්වාස කරමින් ආලේපන වර්ග මුහුණේ ගෑමට පුරුදුව සිටිති. සමහර ආලේපන වර්ගවල රසායනික ද්‍රව්‍ය පවා අඩංගු නිසා මුහුණේ ආලේප කිරීමෙන් පසුව පැහැපත්ව පැවැති මුහුණේ සම අවලස්සන කරමින් ලප කැලැල් මතුවීමට පටන් ගනී. ඒවා සුව කිරිමට එවැනිම ප්‍රතිකාර කිරීමෙන් සම අවපැහැ ගැන්වී සම ද ගොරෝසු භාවයට ලක්ව මහත් විරූපී බවක් ගෙන දේ.

එහෙත් දේශීය හා ආයුර්වේද ප්‍රතිකාර විධි මුහුණේ හට ගැනෙන ලප කැලැල් කුරුලෑ ආදී මුහුණ විරූපී කරන ඒවා එම වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර මඟින් නැතිකර පැහැපත් සමක් ලබා දෙයි. ලලනාවන් කෑමෙන් බීමෙන් ප්‍රවේශම් නොවීම නිසාත් සුන්දරත්වයට හානි පැමිණේ. මුඛ දූෂිකා හෙවත් යෞවන පීඩිකා නම්වන බිබිලි විශේෂය මුහුණේ පැහැය කාන්තිය නැති කරයි. මේවා කුරුලෑ ගඩු නමින් සාමාන්‍යය වහරේ හැඳින්වේ. මුහුණේ හටගන්නා කුරුලෑ ගඩු මිරිකූ විට සුදුපාටට යමක් පිටවේ . එසේ ඒවා මිරිකීමෙන් ඇතිවන ලප කැලැල් නම් මැකී නොයයි.

කළයුතු ආයුර්වේද ප්‍රතිකාර ඒ රෝගයටම සුවයක් ගෙන දෙන ප්‍රතිකාරයකි. මේ වර්තමාන සමාජයේ කාන්තාවන් සමේ නීරෝගිතාවය වඩා අගය කරන්නේ සමේ පැහැපත් බව රැක ගැනීමටයි. ඒ සඳහා කරනු ලබන හිතුවක්කාර ප්‍රතිකාර නිසා පසුවට ඔවුන් මානසිකවත් වේදනාවට පත්වේ. සමේ ඇතිවන වියළි බව නිසා බොහෝ විට සමේ ප්‍රසන්න භාවයට යටපත් විය හැකිය. එය යථා තත්ත්වයට පත්වීමට නම් තෙල් මිශ්‍ර ආහාරයෙන් වැළකී සිටිය යුතුය.

ආහාර රස කර ගැනීමට යොදන අධික තුනපහවල සහ තෙල් බැදුම් තෙම්පරාදු කරන ලද ආහාර කැමෙන් වැළකී සිටිය යුතුය. සමේ ආරක්ෂාව සඳහා සම පිරිසුදුව තබාගත යුතුය. අත්පා මෙන්ම මුහුණ ද සිරුරද හොඳින් සෝදා පිරිසිදු කරගත යුතුය.

සමේ පැහැපත් බව සඳහා

රණවරා මල් අඹරා ඇල්දියෙන් ඇඟෙහි ආලේප කළ යුතුය. කොකුම් පොතු ඇල්දියෙන් අඹරා මුහුණේ සහ ඇඟේ ගෑමත් සම පැහැපත් කර ගැනීමට හේතු වේ. මීකිරි හට්ටියේ බැඳෙන යොදය මුහුණේ හා ඇඟේ ගා ටික වේලාවකින් ස්නානය කිරීමෙන් මුහුණේ හා අත්පාවල මතුවන තෙල් ගතිය වළක්වා ගත හැකිය. සමහර කාන්තාවන්ගේ සමේ පවතින වියළි ගතිය නිසා සමේ කොරළ මතු වේ. සමහර කාන්තාවන්ට එය පාරම්පරිකව ද ඇතිවේ. අලිගැටපේර මදය පොල්තෙල් සමඟ මිශ්‍රකර කොරළ පවතින තැන්වල අත්වල මෙන් පාදයේ ආලේප කර පැය භාගයක් පමණ සිට ඇල්දියෙන් සෝදා හැරිය යුතුය. කෝමාරිකා හෝ පිපිඤ්ඤා මද ආලේප කර තිබෙන්නට හැර පැයකින් පමණ සෝදා හැරීමත් ගුණදායකය.

මුහුණ සහ ඇඟ සේදීමේදි මෘදු සබන් පාවිච්චියට ගැනීම වඩාත්ම සුබදායකය. දැනට පවතින ඔබේ සමේ පැහැය තව තවත් වර්ධනය කර ගනිමින් පැහැපත් කර ගැනීමට වැඩි වියදමක් නොකර ගත හැකි ක්‍රම බොහෝය. වියළි හෝ අමුකහ ඇල්දියෙන් අඹරා ඇඟ ගැල්වීමත් සුදුසුය. ඉන් සමේ ඇති විෂ ගතිය ඉවත් වේ. එමෙන්ම සමහර යෞවනියන් කොපමණ ප්‍රතිකාර ගත්තත් මුහුණේ මතුව ඇති කුරුලෑ ඉවත් නොවී එලෙසින්ම පවතින තත්ත්වයකට පත්ව ඇත. එවැනි කුරුලෑ පවතින්නේ නම් දිය නෑමට විනාඩි විස්සකට පමණ පෙර හරංකහ අල ඇල්දියෙන් අඹරා මුහුණේ සහ අත්වල ආලේප කර මඳක් සිට නෑමෙන් ඒවා ඉවත්ව යයි. දිලීර වර්ග නිසා ශරීරයේ ඇතැම් ස්ථානවල මුහුණේ බෙල්ලේ වගේම යම් යම් තැන්වල අළුහම් මතුවේ. එම අලුහම් බෝවීමේ තත්ත්වයක්ද ඇතිවිය හැකිය. එවැනි අළුහම් පවතින විට සබන් එම ස්ථානවල ගෑමත් සුදුසු නැත. කොහොඹ කොළ කොටා නැවුම් මුට්ටියක දමා එය පිරෙන සේ එළකිරි දමා දින දෙකක් පමණ තද අවුවේ තබා කකාරාගෙන අළුහම් ඇති ස්ථානවල ආලේපකර පැය දෙකක් පමණ සිට නෑමෙන් සුවයක් ගෙන දේ. එමෙන්ම මදටිය කොළ, මදටිය පොතු ගෙන සිහින්ව අඹරා දෙහි ඇඹුලින් දියකර අළුහම් ඇති ස්ථානවල ගා පැයකින් පමණ පසු සෝදා හැරීමත් ගුණදායකය.

සමහර කාන්තාවන්ගේ වැලමිට, බෙල්ල, දණහිස කළුපැහැ ගැන්වීමකට ලක්වේ. මෙවැනි තත්ත්වයට පත්ව තිබේ නම් මුදවාපු කිරි, අලිගැටපේර මද, කෝමාරිකා මද යන ඖෂධ තුන් වර්ගය සම සමව ගෙන කළවම්කර එම මිශ්‍රණය අදාළ ස්ථානවල හොඳින් ආලේප කරන්න. එය සතියකට දිනදෙක තුනක් පමණ ගා මද වේලාවක් සිට ඇල්වතුරෙන් සෝදා හරින්න. කහ පැහැති, තද කොළ පැහැති එළවළු වර්ග ආහාරයට ගැනීමත් අලුත් පලතුරු මෙන්ම පලා වර්ගද නිතිපතා ආහාරයට ගැනීම සුවදායකය. එසේ එළවළු, පලා වර්ග ආහාරයට ගැනීමෙන් ශරීරය වර්ධනය වනවා මෙන්ම නීරෝගීභාවයටද හේතුවකි. සමේ තෙල් ගතිය වැඩියෙන් මතු වන බව පෙනේ නම් ඉදුණු තක්කාලි ගෙඩියක් ගෙන කපා එහි ඉස්ම තෙල් ගතිය මතුව ඇති තැන්වල ආලේප කරන්න. මුහුණේ සහ අත්පාවලත් එසේ තක්කාලි ඉස්ම ගෑමෙන් තෙල් ගතිය මතු නොවේ.

මුහුණේ ගොරෝසු ගතියක් පවතින්නේ නම් මුං ඇට, කඩල හා පරිප්පු එක පමණට ගෙන පිටිකර දෙහි ඉස්මෙන් අනා මුහුණේ ගෑමෙන් පවතින ගොරෝසු ගතිය පහව යන අතර මුහුණේ පවතින ලප, කැලැල් මැකී යාමට ද හේතු වේ. පෝෂණ ගුණයෙන් යුත් සමබල ආහාර වේලක් නීරෝගිමත් ජීවිතයකට අත්‍යාවශ්‍ය දෙයකි. උදෑසනට කොළ කැඳ බීමද ඉතාම වැදගත්ය. මුළු සිරුරම අලංකාරවත්ව තබා ගැනීමට ඉහත සෑම කරුණක් ගැනම අවධානය යොමු කළ යුතුය.

ලුණුවිල, ගොටුකොළ තම්බා බීමට දීම සාරස්වත අරිෂ්ටය, බ්‍රහ්මී පැණිය ලබාදීමත් ගුණාත්මක ප්‍රතිකාරයකි. අමතකවීමේ රෝගී ලක්ෂණයන් ඇති අයකු නිවෙසේ සිටීනම් ඔහුගේ හෝ ඇයගේ ආහාර ගැන දැඩි අවධානයකින් කටයුතු කළ යුතුය. විශේෂයෙන් එළවළු හා කෙඳි සහිත ආහාරපාන දීමෙන් හා ව්‍යායාමයන්හි යෙදීමට ද අවධානය යොමු කළ යුතුය. පවුලේ සාමාජිකයන් ඔහු හෝ ඇය සමඟ සතුටින් විනෝදයෙන් හා සාමයෙන් ගත කිරීමට උනන්දු විය යුතුය.

මොනරාගල සිරිගල

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.