කර්තෘට ලියුම්

අගෝස්තු 23, 2024

සුබ වැඩවලට සුබ නැකැත්

හිසකෙස් කැපීමට

සැප්තැම්බර් 06 වැනි සිකුරාදා පෙරවරු 06 පසුවී විනාඩි 41ට උතුරු දිශාව බලා ශුභයි.

අස්විද, උත්‍රපල්, උත්‍රසල, හත, සුවණ, මුවසිරස, සිත, පුෂ, උත්‍රපුටුප, දෙනට, පුනාවස, රේවතී යන නැකත් ශුභවන අතර වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, ධනු, මීන ලග්නයක් පැවැති වේලාවක සඳු, බුධ, ගුරු, සිකුරු දින හා එම හෝරාවන් යහපත් වේ. පුර පක්ෂයේ 2, 3, 7, 10, 11, 12 යන තිථියක් හෝ අව පක්ෂයේ 2, 3, 5, 7 යන තිථියක් පැවැති දිනයන් ශුභයි. හය හා දහතුන්වැනි තිථි, කනේ විෂ කලාවට අයත්වන බැවින් මේ සඳහා නොගත යුතුයි. පිරිමි දරුවන්ට පියාගේ නැකැත අශුභයි. ගැහැනු දරුවන්ට මවගේ නැකතින් හිසකෙස් කැපීම අශුභයි. දරුවා බහ තෝරන වියේ හිසකෙස් කැපීමද අශුභ වන අතර මව පස්මස් ගැබිනියක් නම් ඒ කාලයද දරුවාගේ හිසකෙස් කැපීමට සුබදායක නොවේ.

ඉඳුල් කට ගෑම

 

2024 සැප්තැම්බර් 06 වැනි දින උදේ 06 පසුවී විනාඩි 41ට

උතුරු දිශාව බලා ශුභයි.

දරුවාට පළමු ආහාරය දීම ශුභ නැකැතකින් කළයුතු වන්නේ ආහාරය දරුවාගේ හැදීමට වැඩීමට මෙන්ම බුද්ධි වර්ධනයට බලපාන බැවිනි. දරුවා ඉපදී සත් මසින්, නව මාසය හා එකොළොස් මාසයෙන් ගැහැනු දරුවන්ට ඉඳුල් කටගෑම සිදු කරනු ලබයි. 6, 8, 10, 12 මාස පිරිමි දරුවන්ට ඉඳුල් කට ගෑම සඳහා ශුභයි. චන්ද්‍රයා පුර පක්ෂයේ සිටියදී බුධ ගුරු, සිකුරු යන දිනයක අස්විද, මුවසිරස, පුනාවස, පුෂ, උත්‍රපල්, හත, සිත, සා, අනුර, උත්‍රසල, දෙනට සියාවස උත්‍රපුටුප, රේවතී යන නැකැතක් පැවති මොහොතක ඉඳුල් කටගෑම සිදුකළ යුතු ය. මා, මුල, විසා යන නැකත් ඉතා අශුභ වේ.

හතර, හය, අට, නවය, දහය යන ස්ථානවල ගුරු සිටියදී ද, 09, 12 යන ස්ථානවල බුධ සිටියදී ද, හය, හත, අට, දොළහ යන ස්ථානවල සිකුරු සිටියදීද, 5, 8, 9, 12 යන ස්ථානවල සඳු සිටියදී ද කුජ 8 සිටියදීද කුමන හෝ ග්‍රහයකු 10 සිටියදී ද ඉඳුල්කට ගෑම නොකළ යුතුය.

ශනි, රවි, කුජ තුන්වැන්නේ හයවැන්නේ එකොළොස්වැන්නේ ද ශුභ නොවේ.

ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග

කේන්ද්‍ර පලාපල ධනාත්මකව බලමු

රත්නායක කුලතිලක

ඡ්‍යොතිෂයේ වටිනාකම රැඳී පවතිනුයේ නිවැරැදි පලාපල කථනය තුළ පමණක්ම නොවේ. කේන්ද්‍රයක් උඩින් පල්ලෙන් බලා පලාපල ප්‍රකාශ කිරීම ද නොකළ යුතු කටයුත්තකි. මේ නිසා කේන්ද්‍රයක් විග්‍රහ කර පලාපල ප්‍රකාශ කිරීම ඉතා සීරුවෙන් කළ යුතු භාරදූර කටයුත්තකි.

මේ ලිපියේ අරමුණ වන්නේ යම් කෙනකුගේ ජීවිතයේ සාර්ථකත්වය උදෙසා ඡ්‍යොතිෂය ධනාත්මක අයුරෙන් භාවිත කිරීමට අපට නොහැකි ද යන්න වමසීමයි.

ඡ්‍යොතිෂය තුළින් ධනාත්මක පලාපල ප්‍රකාශයක් ලබාදීම කෙනකුගේ ජීවිතයට අවැඩැක් නොවේ. මා එසේ කියන්නේ කිසියම් පුද්ගලයකුට කේන්ද්‍රයක අපලයක් උපද්‍රවයක් ඇතත් ඡ්‍යොතිෂවේදියා එය ධනාත්මක අයුරින් සිතා බලා ප්‍රකාශ කළ යුතුය යන මතයේ සිට ය. මෙලොව ජීවත් වන හැම මනුෂ්‍යයකුම දියුණුවට පත්වීමට, සාර්ථකත්වයට පත්වීමට, ජයග්‍රහණය ලැබීමට අකැමැති නැත. අප හැමෝම තුළ යහපත මෙන්ම අයහපත ද සම සමව පිහිටා ඇත. ඒ වගේම අපට අපල මෙන්ම සපල ද උරුමව ඇත. ඉතින් අපල දුරු කර සපල වඩා කෙනකුගේ දියුණුවට මාවත හෙළිකරදීමට ඡ්‍යොතිෂවේදියාට අවශ්‍ය තරම් ඉඩකඩ ඇත. මේ අයුරින් කටයුතු කළහොත් පමණක් අපල උපද්‍රව ඇති පුද්ගලයා ඒ අයහපතින් මුදාගෙන සාර්ථක පුද්ගලයකු බවට පත් කළ හැකිය.

කේන්ද්‍රයක් සෑදීම තුළ යම් දෙයකට කේන්ද්‍ර කිරීමක් සිදුවේ. එනම් අනාගතයේ සිදුවන ඉලක්කයක් වෙත කේන්ද්‍ර කිරීමක් සිදුවේ. කිසියම් පවුලක කෙනකුගේ දියුණුවක් සොයා බැලීමට කේන්ද්‍රයක් පරීක්ෂා කරන විට මා අදහස් කරන හැටියට නම් එම පවුලේ සියලු දෙනාගේම කේන්ද්‍ර පරීක්ෂා කළ යුතු ය. ඒ වගේම එම පවුලේ හැකි තරම් පිරිසක් හමුවීම හා ඔවුන් හා කතාබහ කර ඒ අයගේ අදහස් උදහස් ලබා ගැනීම ද වැදගත්ය. මීළඟට පවුලේ බලගතු ග්‍රහ බලයක් ඇත්තා ද දුර්වලම ග්‍රහ බල ඇත්තා ද හඳුනා ගැනීම කළ යුතුය. ඒ අනුව යමින් මේ සියලුදෙනාම කිසියම් අනාගත දියුණුවේ ඉලක්කයක් වෙත යොමු කළ හැකිය. එසේ නොමැතිව අපල ඇති අය සොය සොයා ඔවුන් විවිධ පුද පූජා විධි සඳහා යොමු කිරීම තුළින් නම් යහපතක් වන්නේ නැත.

මේ සඳහා මා අසා ඇති හා අත්දැක ඇති ග්‍රහයකුගේ අපලයක් ගැන උදාහරණයක් ගෙන බලමු. සෙනසුරු අපලයක් ලබා ඇති තැනැත්තා කඩමාලු අඳිමින් කය වෙහෙසා වැඩ කරමින් සමාජයෙන් ඈත්ව කාලය ගත කරන්නට වැඩි කැමැත්තක් දක්වන බවට ඡ්‍යොතිෂයේ සඳහන් වේ. ඉතින් මෙවැනි අයකුට ගෙයක් සාදන්නට පටන් ගත්තොත් එය අකුරටම කළ හැකිය. ඔහු දිවා රෑ වෙහෙස නොබලා ඒ කටයුත්ත උපරිම අයුරින් කිරීමට පෙලඹේ. මේ අයුරින් අපලය සපලයක් කිරීම මා සඳහන් කරන ධනාත්මක පලාපල ප්‍රකාශයට හොඳ උදාහරණයකි.

විශේෂයෙන් දරුවන්ගේ කේන්ද්‍ර බලන විට එම දරුවන්ට අපල ඇත්නම් ඒවා මාපියන්ගේ හා දරුවන්ගේ ඔළුවට කෙළින්ම නොදමා දරුවන්ගේ හැසිරීම මොනවා’දැයි සාවධානව අසා බලා ඊට ධනාත්මක අයුරින් උපදෙස් ලබාදීම වැදගත් වේ. කිසියම් දරුවකුගේ කේන්ද්‍රයක් බලා ඔහු මේ කාලයේ “දියේ ගිලී අකාලයේ මිය යනවා” නැත්නම් “හදිසි අනතුරකට පත් වෙනවා.” මෙවැනි ප්‍රකාශයක් දෙමාපියන්ට මෙන්ම දරුවාට ද දැන්වුවහොත් එය ඒ අයුරින්ම ඉටුවීමට බොහෝදුරට ඉඩකඩ ඇත. මේ ඡ්‍යොතිෂවේදියාගේ දක්ෂකමට සිදුවන්නක් නොවේ. ඒ අර ඉලක්ක කළ දේ පිළිබඳ මාපියන් තුළ මෙන්ම දරුවා තුළ ද එක දිගටම සිතුවිලි ක්‍රියාත්මක වීමේ ප්‍රතිපලයකි. බොහෝ දුරට හදිසි අනතුරු නිසා අත්පා බිඳුණු අයගෙන් “මොකක් ද උනේ” යැයි විමසන විට ඔවුන් බොහෝදෙනකු දෙන පිළිතුර වන්නේ “මට මේ දවස්වල අහවල් ග්‍රහයාගෙන් අපල” ඇති බවයි. මීට හොඳම උදාහරණයක් වන්නේ සෙනසුරු ග්‍රහයාගේ මාරුව ගැන විශාල බියක් අපේ රටේ ජනතාව අතරට ගොස් ඒ සඳහා ආරක්ෂාව පතා කල්තියාම විවිධ පුද පූජාවන්ට ඔවුන් පෙලඹවීමයි.

කිසියම් ග්‍රහයකු සිටින ස්ථානය පමණක් බලා යම් යම් දේ පිළිබඳ පලාපල ප්‍රකාශ කිරීම සුදුසු නොවේ. ග්‍රහයා ස්ථානගතව සිටින්නේ කුමන බලයක් යටතේද කුමන යෝග බලයක් සහිතව ද කුමන මහ දශාවක් හා අතුරු දශාවක් ගත කරන්නේ ද ගෝචරව ගමන් කරන ආකාරය මේ ආදී තවත් බොහෝ දේ විමසමින් මධ්‍යස්ථ මතයක සිට පලාපල ප්‍රකාශ කළ යුතු වේ. පෙර කීවාක් මෙන් පුද්ගලයා හා කතාබහ කර තීන්දු තීරණ ගැනීම ද ඉතා වැදගත් වේ.

කේන්ද්‍රය තුළ කුමන අයහපතක් තිබුණ ද මධ්‍යස්ථව සිතා බලා පලාපල ප්‍රකාශ කිරීම දෙලොවටම යහපතක් කළ හැකි කටයුත්තකි.

 

කුජ දෝෂය සම්බන්ධව

සිනෙත්‍රි මධූෂි

හත නම් සඳහන් මම සුබසෙත පාඨකයෙක් වෙමි. විවාහ සිහින අතර යෞවනයන් තෙරපෙන කුජ ග්‍රහයා හෙවත් අඟහරු අද සමාජයේ ප්‍රධාන ප්‍රශ්නයක් වී ඇත. අංගාර දෝෂය ලෙසින්ද හඳුන්වන කුජ දෝෂය තිබෙන ඕනෑම කේන්දරයක් ගැළපිය යුතු යැයි මතයක්ද තිබේ. මා අසා ඇති පරිදි , ඕනෑම කේන්දරයක කුජ ග්‍රහයා 1,2,4,7,8,12 යන ස්ථානවල තැන්පත් වීම සුබ නැත. මේ කුජ දෝෂය යෙදුණ පමණින් ම එහි විපාක ලැබෙනවා යන්න බොහෝ තරුණ තරුණියන්ගේ විශ්වාසයයි. මේ අය මේ ගැන වුවමනාවට වඩා සිතන්නට ගොස් අනවශ්‍ය සිත් තැවුලක් ඇතිකරගෙන ඇති බවක් ද පෙනේ. බියෙන් පෙළෙන සමහරුන් මංගල දැන්වීම්වල පවා කුජ හත යැයි විශේෂයෙන් සඳහන් කොට තිබීම දැක ඇත්තෙමි. විවාහයේ ගැටලු ඇතිවිය හැකි බවට ඉඟිකරන කුජ දෝෂය පිළිබඳවත්, එය විවාහයක හෝ පැවැත්ම තීරණය කරන්නට කොතරම් දුරට හේතු වෙනවද යන්න සාකච්ඡා වෙනවා නම් වඩා හොඳ යයි සිතමි. එමෙන්ම විවාහ දිවියේ ගැටලු නිර්මාණය කරන මේ කුජ දෝෂය භංග වන පිහිටීම් යහපත් විවාහයකට මග පෑදීමට හේතුවන බවට පුවත්පත ඔස්සේ වැඩිදුරටත් සාකච්ඡාවක් කරන්නේ නම් යෝග්‍ය යැයි සුබසෙත පාඨකයකු වශයෙන් සතුටින් දන්වා සිටිමි.

 

‘ජ්වල මුඛී‘ අසුබ යෝගය යෙදෙන 26 - 27 දෙදින සුබ වැඩ එපා

 

ජ්වල මුඛී නම් අසුබ යෝගය අගෝස්තු මස 26 වැනිදා අලුයම 3.42 සිට 27 වැනිදා සවස 3.43 දක්වාම පවතිනු ඇත.

එම යෝගය ව්‍යාපාර කටයුතු, ගෘහාරම්භ කටයුතු ආදිය ඇරඹීමට ඉතා අශුභයි. මේ යෝගය,

පෑලවිය තිථිය සමඟ මුල නැකතත්

විසේනිය ( 5 වන තිථිය) සමඟ බෙරණ නැකතත්

අටවක තිථිය සමඟ කැති නැකතත්

නවවක තිථිය සමඟ රෙහෙණ නැකතත්

දසවක තිථිය සමඟ අස්ලිස නැකතත්

යෙදී ඇති දිනවලදී යෙදෙයි.

අගෝස්තු 26 සඳුදා සවස 4.01 දක්වා කැති නැකත පවතින අතර එතැන් සිට රෙහෙණ නැකත ලබා 27 අඟහරුවාදා සවස 03.43 දක්වා පවතී. එමෙන්ම 26 වැනිදා අලුයම 03.42ට අව අටවක තිථිය ලබා 27 වැනිදා අලුයම 2.23 දක්වා පවතින අතර, එතැන් සිට අව නවවක තිථිය ලබා 28 වැනිදා අලුයම 1.37 දක්වා පවතී. එමෙන්ම 26 වැනිදා රාත්‍රී 10.21 දක්වා ව්‍යාඝාත යෝගයද පවතී.

මේ අනුව ඉහත කී ජ්වල මුඛී යෝගය 26 වැනිදා අලුයම 3.42 සිට 27 වැනිදා සවස 3.43 දක්වාම පවතිනු ඇත.

මේ යෝගය පවතින කාලය තුළ ගෘහාරම්භ කටයුතු කළහොත් ගින්නෙන් හානිවිය හැකිය. ව්‍යාපාර කටයුතු ආරම්භ කළහොත් පාඩු සිදුවිය හැකිය. සොරසතුරු උවදුරු ඇති වේ. මේ යෝගයෙන් යමෙකු උපන්නොත්, මන්දායුෂ විය හැකිය. කේන්දරයේ ප්‍රබල දීර්ඝායුෂ යෝග තිබුණහොත් යෙහෙකි. මේ යෝගය පවතින කාලය තුළ ගමන් බිමන් අහිතකරය. ආපසු පැමිණීම අවිනිශ්චිතය. මේ යෝගයෙන් උපන්් ජන්මීන්ට ඇතැම් විට ශාරිරික, මානසික අඩුලුහුඬුකම් සහිත විය හැකිය. දුෂ්කර ප්‍රදේශවල දුකසේ ජීවත් වීමට සිදු විය හැකිය.

එබැවින් මේ දින 02 තුළ යම් ශුභ කටයුත්තක් අනාගතයට බලපාන ගමන් බිමන් යොදාගෙන ඇත්නම්, ශාස්ත්‍ර නියමය අනුව හැකිතරම් එම කටයුතුª මේ කාල සීමාව තුළ යොදා නොගන්නේ නම් මැනවි.

 

ඡ්‍යොතිෂවේදී

ඩබ්ලිව්. ජී. කරුණාතිලක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.