මවගේ දොළදුකින් හෙළිවන උපදින දරුවාගේ වතගොත

අගෝස්තු 23, 2024

ගැබ්ගත් ස්ත්‍රියක් සිව්වැනි මාසය සම්පූර්ණවීමේ දී කුස තුළ සිටින දරු සිඟිත්තාගේ හදවත ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමෙන් මව සහ දරුවා අතර සම්බන්ධය හේතුකොට ගෙන දරුවාට ඇතිවන චිත්ත ආවේගයන් නිසා දොළදුක හටගන්නා බව සුශ්‍රැත්‍රාචාර්යවරයා විසින් සිය ග්‍රන්ථයේ විස්තර කර ඇත. දෙක යන අර්ථය ‘දෝ’ යන්නෙන් ගෙන දෙයි. ‘ළ’ යන්නෙන් හදවත යන අර්ථය ගෙන දෙයි. දොළ දුකක් ඇති වූ විට එය සංසිඳවිය යුතුමය.

නොඑසේ නම් ඉපදීමට සිටින දරුවාගේ කායික හා මානසික දුර්වලතාවයන්ට එය හේතුවිය හැකි බව වෛද්‍යවරුන්ගේ මතයයි. නොඑසේ නම් ඉපදෙන දරුවා ආබාධිත තත්ත්වයකට පත්විය හැකිය. දොළදුක එක් ඉන්ද්‍රියකට පමණක් සීමාවූවක් ද නොවේ. ඇස, කන, නාසය, දිව හා ශරීරය යන සංවේදී ඉන්ද්‍රියන්ට අරමුණු ඇතිවන කවර ස්ථානයකින් හෝ දොළදුකක් ඇතිවීමට හැකිය. ඇස පිනවන රූප දැකීම, කන පිනවන මිහිරි නාද ඇසීම දිව පිනවන රසවත් ආහාරපාන ගැනීම, නාසය පිනවන මිහිරි සුවඳ ආඝ්‍රාණය කිරීම ශරීරයට සැප ඇතිවන ස්පර්ශයන් ලබාගැනීම ආදී ආශාවන් විවිධ විය හැක.

ආත්මයෙන් ආත්මයට පැවත එන සංකීර්ණ ආශාවන් මවගේ කුසතුළ සිටින දරුවා මවගේ මනසට ඇතුළු කරයි. දරුවාට ඇතිවන එම ආශාවන් රැස්කර තමා කල පින් පව් අනුව ඉදිරි මාස හය හත තුළ දී මෙලොව එළිය දැකීමෙන් පසු දරුවාගේ චරිත ලක්ෂණ මේ අයුරින් අනාවරණය කළ හැකි ය.

දොළ දුකක් ඇති වූ විට ඇය ආශා කරන දෙය ලබාදීමෙන් දීර්ඝායුෂ ඇතිවන්නා වූ, වීර්යවන්ත වූ දරුවෙකු මෙලොව ජනිතවනු ඇත. දොළදුකක් ඇති වූ විට ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. තමන් කැමති ලස්සන පි‍්‍රයමනාප දෙයක් දැකීමට ආශාවක් ඇතිවී එය නොදැක සිටීමෙන් බිහිවීමට සිටින දරුවාගේ ඇස්වල විකෘති භාවයක් ඇතිවීමට ඉඩ ඇත. ඇස්වල වපර ගති මෙන්ම පෙනීමේ දුර්වලකම්ද ඇතිවිය හැකිය.

අලංකාර රෙදි පිළි හෝ රන් ආභරණ ආදිය කෙරෙහි වැඩි ආශාවක් හෝ නැතහොත් දොළදුකක් ඇතිවුණි නම් රන්මිණිමුතු ආදී ආභරණ කෙරෙහි ඇල්මක් ඇති අලංකාරයට කැමති දරුවෙකු උපදියි. ගෙදර දොර විවේකීව සිටින විට දහම් පොත්පත් බැලීමට කියවීමට මෙන්ම විහාරස්ථානවලට ගොස් වැදුම් පිදුම් කිරීමට ඇය තුළ ආශාවක් ඇති වුණි නම් තමාගේ කුස තුළ සිටින දරුවා අනාගතයේ දී පැවිදිවීමට ඉඩ ඇත. නැතිනම් දහමට ඇලුම් කරන ධාර්මික අයෙකු විය හැකි ය. දේවාලයකට භාරහාරවීමකට හෝ දේවරූප දැකීමට ආශාවක් මව තුළ උපන්නේ නම් සිය දරු සිඟිත්තා අනාගතයේ දී සමාජයේ ඉහළ තනතුරකට යාමේ භාග්‍යයක් ඇති වාසනාවන්ත අයෙකි. තිරිසන් සතුන් දැකීමට දොළදුකක් ඇතිවුණි නම් සැඩපරුෂ ගතිගුණවලින් පිරුන දාමරික ක්‍රියාවලට පෙළඹෙන ගුණධර්මවලට ගරු නොකරන දරුවකු උපදින්නට සිටින බවට පූර්ව නිමිත්තක් ලෙස සැලකේ.

සමාජයේ ඉහළම තැන්වල සිටින මැති ඇමැති හෝ ඊට උසස් ප්‍රභූවරයකු දැක ඔවුන් හා පිළිසදරයේ යෙදීමට මවට ආශාවක් උපන්නේ නම් ඉපදෙන්නට සිටින දරුවා අනාගතයේ දී පිනට නැඹුරු වූ මහා භාග්‍යවන්තයකු වන බවයි. ගැබ්බරව සිටින ස්ත්‍රියක් බොහෝ විට කටුක ඇඹුල් රස ඇති ලොවි ගැට, අඹ ගැට, ඇඹරෙල්ලා, වෙරළු ගැට, දිවුල් ගැට කෑමට ආශාවක් දක්වයි. මෙයින් පැහැදිලි වන්නේ ඇය ළදරු අවස්ථාවක ජීවත්වීමට ඇති ආශාවකි. සිඟිති දරුවකුගේ හැඟීම් රටාවන් නොදැනුවත්වම ඇයගේ යටිහිතේ ඇතිවීමෙන් ඇති ගැබ්ගත් අයෙකුª බවත්, ස්වාමි පුරුෂයා හා සමීප සෙසු අයගේ ආදරයට හා සුරතලයට ලක්වීමට සමත් වන්නියක බවත් පෙන්නුම් කරයි. මේ කටුක ගැට වර්ගවලට ඇති ආශාව ඇය නොදැනුවත්වම සිදු වන්නක් බව පෙනේ. ‘ඩියුමස්චි’ නම් මනෝ විද්‍යාඥයාගේ මතය ද එයම වේ. ඇතැම් අයට මෙම කාලයේ දී මස් වර්ග කෑමටද ආශාවක් ඇතිවේ. ඇය පි‍්‍රය කරන මස් වර්ග අනුව උපදින්නට සිටින දරුවාගේ ගතිගුණ හා ක්‍රියාකාරකම් ද සැකෙවින් දැනගත හැක. කුමන කරදරයක් හෝ බාධාවක් ඉදිරියට ආවත් සියල්ල අභිබවා ඉදිරියට යෑමේ ප්‍රබල ආත්ම ශක්තියක් ඇති ශක්ති සම්පන්න දරුවකු පිළිසිඳගෙන සිටින බව හැඟීයන්නේ මවට ගවමස් කෑමට ආශාවක් ඇති වූ විටය. මී හරක්මස් කෑමට ආශාවක් ඇති වී නම් රතුපාට හුරු ඇති රෝම කූපයන්ගෙන් ගැවසුණු ශක්ති සම්පන්න දරුවකු මෙලොවට බිහිකරන බව පැවසේ. වේගවත් ගමන් ඇති උත්සාහයෙන් කටයුතු කරන අවිහිංසාවාදී ලෙස කටයුතු කරන දරුවකු උපත ලබනු අත.

කිරිබත්, ගිතෙල්, කිරි පැණි වර්ගවලට ආශාවක් ඇති වුවත් නම් පැහැදිලි වනුයේ අනාගතයේ දී පිනට දහහමට ලැදි ධාර්මික අයකු උපදින බවයි. කරවල, මස්, මාළු ආදිය තෙලින් බැඳ කෑමට ආශාවක් වී නම් උපදින දරුවා කාමුක හැඟීම්වලට වඩා ලොල් වූ අයකු වෙයි. මීකිරි, පලතුරු වර්ග පලාකොළ ආදියට පි‍්‍රයවී නම් ඉපදෙන දරුවා වඩාත්ම නිරෝගී වේ. ජනතාව අතර කීර්තිමත් අයෙකු වේ.

(පැරණි පොත පත ඇසුරිනි)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.