මනස ආක්‍රමණය කරන චිත්තේ වයිරස්

ජූලි 5, 2024

මනුෂ්‍ය ශරීරයට නොයෙක් අන්දමේ ව්‍යාධීන් හට ගනී. එකී ව්‍යාධීන් බොහොමයකට හේතු වනුයේ අපත්‍ය ආහාර ගැනීම්, අධික වෙහෙසකාරී ක්‍රියා සහ ඍතු බලපෑම්ය. ඒ අතර විවිධ පළිබෝධ, බැක්ටීරියා, දිලීර, කෘමි උවදුරු, වයිරස් නිසා ද රෝග ඇති වේ.

දත් පණුවෝ කෑම, මෙය ප්‍රකෘති ඇසට නොපෙනෙන ජීවීන් විශේෂයකින් සිදුවන්නකි. චර්ම රෝග රැසකට හේතුව දිලීර ආසාදනයන් ය. ඇස්මා, නිව්මෝනියාව ආදියද පෙණහලුවල ආසාදනයකි. පසුගිය වකවානුවේ කොරෝනාව ද වයිරසයක් නිසා හටගත්තකි. එය දහනව වැනි සන්නිය ලෙස ද හැඳින්විය හැකිය. මේවා හඳුනාගෙන අධ්‍යයනය කර ප්‍රතිකාර කිරීමටද හැකි විය. එහෙත් මනසේ ඇතිවන ආසාදන මොළයේ යම් යම් රෝගකාරක තත්ත්වයන් නිසා හටගන්නකි. උමතුව එවැන්නකි. අලසකමද තවත් එකකි. ගතට වැලඳෙන රෝගවලට රෝග තත්ත්වය හා රෝග නිධානය සොයාගෙන ප්‍රතිකර්ම කළ හැකිය. නමුත් මනසට වැලඳෙන රෝග අතර උමතුව හැර වෙනත් රෝගද වේ. මේවා කේන්දරයට ඇතැම් විට හසු නොවේ. කර්ම දෝෂද නොවේ.

බෞද්ධ දර්ශනය හා හින්දුවේදය අනුව මනුෂ්‍යයා හැර පියවි ඇසට නොපෙනෙන අනන්ත අපරිමාන සත්ත්ව විශේෂ වේ. මසින්, ලෙයින්, අස්ථිවලින් මිනිස් සිරුර සැකසී ඇත. එහෙත් මිනිස් සිරුර වැලඳගන්නා මිනිස් ඇසට නොපෙනෙන ආත්ම වේ.

මේවා යක්ෂ, ප්‍රේත, පිශාච, කුම්භාණ්ඩ, භෛරව ලෙස නම් කළ හැකිය. මේ අතර බ්‍රහ්ම, දිව්‍ය, නාග ආදී මහේශාඛ්‍ය ආත්මද අල්පේශාඛ්‍ය ආත්මද වේ. ගංගා, සමුද්‍ර, පර්වත, රූක්ෂ ආශි‍්‍රත දේවතාවෝද වෙති. මනුෂ්‍ය ආත්මභාවයක් ලබනුයේ මව්කුසක ප්‍රතිසන්ධිය ගත් ආත්මයකි. ප්‍රතිසන්ධි විඤ්ඤාණයක ඇතුළත් වීමකි. පෙර භවයේ සිට චුති සිතින් වෙන් වී ප්‍රතිසන්ධි චින්තනයක් නිසා බිහි වී මිනිස්භවයක් ගත කරයි. උපතක් ලබා ජීවත්ව මියෙන තෙක් එකම ආත්මයම පවතී. එය කොයිල් කම්බියක් ලෙස පටන්ගෙන හයිටෙන්ෂන් වයරයක් ලෙස මැදිවයස ඉක්මවා යන තෙක් වැඩේ. පෙර භවයේ සිට පැවත ආ විඤ්ඤාණයෙන් ගෙන ආ දැනුම, බුද්ධිය ප්‍රඥාව වර්ධනය වෙමින් පෝෂණය වේ.

මේ අතර ඇතැමෙකු මේ භවයේ දීම වෙනත් ආත්මවල විඤ්ඤාණයන් විසින් ආක්‍රමණය කරනු ලබයි. මිනිස් භවයකට ඒමට නොහැකි වූ ආත්ම සංඛ්‍යාව පෘථිවි තලයේ සිටින මනුෂ්‍ය සංහතියට වඩා විශාලය. කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත භූතාත්ම අවට සැරසරති. මේවා ආගමික දර්ශනයන් අනුව අනුමාන කළ හැකිය. විශ්වාස කළ හැකි ය. බැහැර කළ නොහැකිය.

පේනයකින්, ආරූඪයකින්, අංජනම් එළියකින් දැකිය, ඇසිය යුතුය. එසේ නොමැති නම් ගත කරන ජීවිත පැවැත්ම අනුව විග්‍රහ කළ හැකිය. අධ්‍යයනය කළ හැකිය. නිරීක්ෂණය කළ හැකි ය. එවිට රෝගය හා රෝග නිධානය හසුවේ. එවිට මේවාට හේතුව පෙර කරන ලද කර්මයවත් කේන්දරය වත් නොවන බව පැහැදිලි වේ.

දොල පිදේනි දීම්, පළි දැරීම්, ශාප කිරීම් නිසා අමනුෂ්‍ය බලවේගවලට මිනිස් සිතට ගතට රිංගා ගැනීමට පහසුය. අමනුෂ්‍ය බලවේගවලට මිනිස් ආයුෂ සිය දහස් ගණන් ගත කළ හැකිය. භවයෙන් භවයට ද යා හැකිය. මෙවැනි ඇතැම් භූතාත්මයෝ මරණ මංචකයේ දී පවා විවිධ වෙසින් පෙනී සිට ආරාධනා කරති. කොපමණ පින් කළත් අවසාන චිත්තය වෙනස් වේ.

ඇතැම් අමනුෂ්‍ය බලවේග හොඳින් සතුටින් සමාදානයෙන් සිටින අයට කැමැති නැත. ඇතැම් භූමිවල ඉඩම්වල මියගිය අයිතිකරුවෝ සිටිති. ඔවුහු තමන්ගේ අතීත පෙරභව අයිතියට සැරසරති. ඔවුන්ව එළවීමට කටයුතු කරති. ලෙඩට දුකට පරිහානියට පත් කරති. මනසට ප්‍රවේශ වී හතුරුකමට, කෝපයට, ද්වේශයට, ගැටුම්වලට යොමු කරවති. භේදභින්න කර ඇනකොටා ගැනීමට සලස්වති. තුවාල සිදුකර ලේ දකින්නට කටයුතු කරති.

තවත් භූතාත්ම පෙරභවවල සිටද පැමිණ මනසට රිංගා ගනිති. ඇතමෙකුට කාලි අම්මා, ගම්භාර අප්පච්චි, පත්තිනි මෑණියෝ ආදී නම් කියා ප්‍රවේශ වෙති. නරයන්ගේ දේශපාලන පක්ෂ පාට නායකත්ව මෙන්ම භූතාත්ම ද විවිධ අයුරින් පෙනී සිටිති. වරෙක ඔබ අප මෙන් මනුෂ්‍ය ස්වරූපයේ සිට භූතාත්ම විසින් කරනු ලබන මෙහෙයවීම මත මිනිස් කනින් අසයි. මිනිස් ඇසින් බලයි. මිනිස් කටින් කතා කරයි. සැබෑ ආරූඪ, පේන කියන තැනකට ගොස් නිරීක්ෂණය කරන්න. පුද්ගලයා අක්‍රිය වෙනත් කෙනෙකු ලෙස හැසිරේ. කතා කරයි. මෙසේ සමහරෙකුගේ ගතේම, මනසේම සිටියි. ආරූඪ ආවේශ පේන කීම්වල ඇත්ත යථාර්ථය එයයි.

පෙර භවයේ හෝ ඊට පෙර භවයන්හි සිට පැමිණි ඇතැම් වෛරක්කාර භූතයෝ ද ගතට සිතට ප්‍රවේශ වී හතුරුකම් කරති. අවැඩට නරකට පොලඹවති.

රූපවාහිනී යන්ත්‍රය, රේඩියෝව දුරස්ථ පාලකයකින් නාළිකා, වැඩසටහන් මාරු කිරීම මෙහෙවීම සිදුකළ හැකිය. විද්‍යුත් උපකරණ තරංග මතින් වෙනස් කිරීම, මාරු කිරීම දුරස්ථ පාලකයකින් කළ හැකිවාක් මෙන් මිනිස් සිරුරද මිනිස් මනසද ජීවි චුම්භක ජීව විද්‍යුත් ශක්තියකින් පරිපාලනය කළ හැකිය. භූතාත්මවලටද එවැනි දේ කළ හැකිය. භූතාත්මවලට ඇස දුරස්ථ පාලකය මඟින් මනස වරින් වර වෙනස් කළ හැකිය. පාලනය කළ හැකිය.

සමහරකුගේ ක්‍රියාවන් දෙස බලන විට පෙර භවයේ සිට පැමිණි විඤ්ඤාණය නොවේ. ආක්‍රමණික බලවේගවලට හසුවූ ඒවාය. ඇතැම් ළමුන්ගේ ක්‍රියාවන් දෙස බැලූවිට එය පෙර භවය, වර්තමාන භවය කුඩා කල සිට වර්ධනය වූ ළමා මනසයි. තුරුණු විය, වැඩිහිටි විය වන විට බාහිර පළිබෝධ හා භූත බලවේගවලට ගොදුරු වේ. ධම්ම නියාම, කම්ම නියාම, ඍතු නියාම, බීජ නියාම හා චිත්ත නියාම යනුවෙන් නියාම ධර්ම 5 කි. මේ එකම නියාම ධර්මයකටවත් හසු නොවන ක්‍රියාවන් භූතාත්ම නිසා සිදුවේ. මොළයට ඇසින්, කනින්, කටින් රිංගා යන මිනිස් සිත මෙහෙයවන බලවේග භූතාත්ම වේ.

ඇතැම් පුද්ගලයන් මව්පිය පරපුරෙන් එන ජාන උරුමයෙන්ද මේ භවයේ දෙමාපියන්ගේ යොමු කිරීම නිසාද, පාසල් අධ්‍යාපනයේ සිට ගුරුවරුන්ගෙන් ලැබෙන මඟපෙන්වීම් නිසාද ඉගෙන ගනී. ඇතමකු පෙර භවයන්හි සිට ආ විඤ්ඤාණය නිසාද හොඳ උගත්කම් දැනුම් නුවණ ප්‍රඥාව ලැබේ. ඇතැම් පුද්ගලයන්ට පෙර භවයන්හි ඥාතීන් පැමිණ මනසට ප්‍රවේශ වී උදව් කරති. ඇතැම් එවැනි භූතාත්ම බැහැරින් සිට උදව් කරති.

ඇතැම් දරුවන්ට විභාග අභිමුඛයේ දී රෝග පීඩා වැලඳේ. අධ්‍යාපනයට විභාගයට බාධා පැමිණි විභාගයේ දී හොඳට තිබෙන මනස සිහිය වෙනස් කෙරේ. හොඳට ලියන්ට පුළුවන් ප්‍රශ්නය මඟ හරවයි. වැරදි පිළිතුරකට යොමු කරවයි. අමතක කරවයි. මේ හැම එකක්ම කර්මය හෝ කේන්දරය නොවේ. හතුරු භූතාත්ම කරන වෙනස්කම්ය. හතුරුකම්ය.

එනිසා ඇතැම් දෙමාපියෝ බෝධි පූජා, ග්‍රහ පූජා, ශාන්තිකර්ම, දේව පූජා පවත්වනු ලබති. එවිට භූතාත්ම කරන අනිසි බලපෑම දුරු වේ.

ඇතැම් පුද්ගලයෝ ඊර්ෂ්‍යාවට, අමනාපයට, වෛරයට, ද්වේෂයට අන වින, කොඩිවින, පළිදැරීම්, හිරබන් ධන කරති. ඒවා බොහොමයක් ද භූතාත්ම භාර ගනිති. හානි පමුණුවති. මේවා සොයා ගැන්ම අසීරුය. හරියට රෝගයක් උත්සන්න වූ විට හෙළි වන්නාසේය. එවිට බොහෝ දෙනෙක් භූත ඇදුරන්ගේ පිහිට පතති. එනිසා කොම්පියුටරයකට වෛරස් ගාඩ් දාන්නා සේ, රෝග වැළැක්වීමට ප්‍රතිශක්තිකරණ දෙන්නා සේ ආරක්ෂා කිරීමට උනන්දුවෙති.

වැඩි වශයෙන්ම මනුෂ්‍යයෙකුගේ මනසට රිංගා ගත හැකිවනුයේ ඔහුගේ හෝ ඇගේ හෝ ආයු කාලය තුළදීය. එපමණක් නොව අමනුෂ්‍ය බලවේග ඊළඟ ආත්මභාවය දක්වාද යති. ඇතැම් භූතාත්ම මරණ මඤ්චකයේ දී පෙනී සිට ඔවුන්ගේ ලෝකයට කැඳවාගෙන යති. පසුගිය කොරෝනා සමයේ දී වෛරසයක් ලෙසින් මනුෂ්‍යයාගේ පෙණහලු තුළට රිංගා ජීවිත හානි කළ බව ඇතැමුන්ගේ විශ්වාසයයි. අපගේ ශ්‍රී ලාංකික ගැමි සංස්කෘතියේ භූත බලවේග දුරු කිරීමට 18 (දහ අට) සන්නිය නැටූහ. මෙය හැඳින්විය හැක්කේ 19 වෙනි සන්නිය ලෙසය.

ඇතැමෙකුට නින්දේ දී කවදාවත් නුදුටු විරූ සීන පෙනේ. බිය ගැන්වෙන හීන, පරාපර, පුද්ගලයින් පවා පෙනේ. දුර ගමන්, ගංගා ඇළ දොළ විශාල මන්දිර, අහස, ගින්දර මරණ පවා පෙනේ. මේවා බොහොමයක් භූතාත්ම මනසට රිංගා ගැන්ම නිසා පෙනෙන විකාරයන්ය. ටෙලි නාට්‍ය විකට කතා මාලා මෙනි. ඇතැම්වා භූතාත්ම පෙන්වන චිත්‍රයන්ය.

පහත් පෙළේ භූතාත්ම බොහෝ විට හානි පමුණුවනු ලැබුවද උසස් ආත්ම වූ අල්පේශාඛ්‍ය දේවාතාවුන්ගෙන් එතරම් හානි නොවේ. ගංගා, සමුද්‍ර, ගස්, පර්වත ආදියේ අරක්ගත් අල්පේශාඛ්‍ය දෙවි දේවතාවුන්ගෙන් නොව පහත් පෙළේ භූතාත්ම වූ යක්ෂ, ප්‍රේත, පිශාච, කුම්භාණ්ඩාදීන් ගෙන් හානි සිදුවේ.

මෙවැනි ආක්‍රමණික බලවේග දුරු කර ගැන්මට තමුන් විසින් පිරිත් සූත්‍ර කොතෙක් කීවත් ඉවත් කළ නොහැකි ය. තමාගේ අභිමුඛයේ දී අඩි 3 ක් පමණ සිට නූල් තුන් පටක් හෝ 7 පටක් අල්වා ගැනීමට සලස්වා පිරිත් කිව යුතුය. මේ සඳහා රතනසූත්‍රය, මහාසමය, ආටානාටිය, ජය පිරිත, දස දිසා පිරිත, ධජග්ග පිරිත වාර ගණනාවක් කිව යුතුය. පිරිත් පැන් බීමට සැලැස්විය යුතුය. නූල් ජීවම්කර අත බැඳිය යුතුයි. නූල් ජපකර කොට්ටය තුළට දැමිය යුතු ය. දෙහි කැපිය යුතුය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.