ඔබටත් හදිසි ධනලාභ භූමි ලාභ තිබෙනවාද?

ජුනි 21, 2024

සිංහල අපේ දරුවෙක් මෙලොව එළිය දුටු විගසම උපන් වේලාවත් සමඟ හැකි ඉක්මනින් ඡ්‍යොතිෂ මාමා ළඟට යනවා. එයාගේ උපන් කේන්දරය හදාගන්න. එය ලැබුණු විස මූලික පරික්ෂාවකින් පසුව ඡ්‍යොතිෂ මාමා ඒ උපන් අය දුවක් නම් දින 05ක් ඇතුළතත් පුතෙක් නම් දින 10ක් ඇතුළතත් පංචායුධය දැමීමටත් නමට සරිලන අක්ෂරත් දෙනවා. ඊට පසු හැකි ඉක්මන් දිනයක සම්පූර්ණ කේන්දරය නිමකර ආපසු දීමට කටයුතු කරනවා.

ඒ සමඟම දීර්ඝ විස්තරයක් ද ලබාදෙනවා. ජීවන පලාපල සම්බන්ධව ඡ්‍යොතිෂ මාමා ඉස්සෙල්ල බලන්නෙ අෂ්ටමය නැත්නම් 8 වැකි රාශියන් පිහිටීම් ගැන. මොකද එතැනින් තමයි කෙනෙකුගේ ආයුෂ ගැන කතා කරන්නේ. බාලාරිෂ්ඨ ගැනත් ඔහුගේ තුන්වැනි ඇස යොමු වනවා. ඒ සම්බන්ධව අවශ්‍ය දෙයක් කිරීමට ඇතොත් එයත් දන්වනවා. ඒ ආකාරයට මුලින්ම ජන්ම පත්‍රයක් හදලා ගුණාගුණ කියනකොට ඔහුට “ශ්ලෝකයක් මතක්වනවා. එනම්

“ලග්නස්ථාන - ධනස්ථානා - සහජ - බන්දු - පියඞ ශුතඞ - ශ්‍රැත්‍රඞ - කලත්‍රංච - මෘත්‍යුංච - ධර්ම, කර්ම අයඞ වැයඞ කියලා මොකද මේ ස්ලෝකයෙන් රාශි 12 ගැනම සඳහන් වනවා.

ඔබ ඉපදුණු රටට හෝ වැඩකරන ස්ථානයට සේවයක් කරන්නට හිතාගෙන ගියාම සේවය කරන ස්ථානයේ වැඩ නිසා හෝ ඇසුරු කරන මිතුරු මිතුරියන් නිසා හෝ මහත් කනස්සල්ලකට පත්වන අවස්ථා ගොඩයි. කොටින්ම කිව්වොත් ඔබ මනසිකව තදින් කඩා වැටෙනවා. සමහර විට එහෙම වන්න ඉදිරිපත් වන කරුණු පෞද්ගලික නම් ඒවා කාටවත් කිව නොහැකි නිසා ජීවිතයත් එපා වන අවස්ථා බොහොයි. එහෙම හිත කඩා වැටුණට සතුටු වූ අවස්ථාවන් නැතුවම නොවේ. ඒ ලැබූ සතුට දරාගත හැකි වුණාට ලැබූ දුක කනගාටුව දරාගන්ට ටිකක් අමාරුයි. මොකද ඒ ප්‍රශ්නවලට පිළියමුත් නැහැනේ. ඒ ජීවිතයේ හැටි. අපිට මේ තත්ත්ව ලැබීමට පෙර දැනගන්ට හැකිවුණොත් ඉන් මඳකින් හරි මිදෙන්න සහනයක් ලබන්න හැකි වනවා. ඒකට ඔබේ මගේ කේන්දරය උදවු කරනවා. කේන්දරය පරික්ෂා කර ගැනීමකින් හෝ පූර්ව ලක්ෂණ සම්බන්ධව අවබෝධයකින් මේ දේවල් දැනගන්ට හැකියි. ඒ වගේම තමයි අප ඔබ ලබන හදිසි ධන ලාභ හෝ හදිසි පාඩු.

ජන්මියකුට ලැබෙන ලාභ පාඩු හා හදිසි ලාභ පාඩු ගැන විස්තර කරන්නෙ 02 වැනි රාශිය නොහොත් ධනස්තානය වෙතිනුත් 11 වැනි රාශිය නැතහොත් අයස්ථානය වෙතිනුත්. මේ රාශිවලින් කියැවෙන එකම දේ ලාභ පාඩු විතරක්ම නොවේ. තව තව දේවල් කියැවෙනවා. හැබැයි තව රාශියක් සමඟ යෝගවන්ට ඕනෑ. උදාහරණයක් වශයෙන් 2 වැනි හා 7 වැනි රාශිය හෝ 11 වැනි රාශිය හා 7 වැනි රාශිය යෝගවෙලා නරකට බලපෑවොත් බාලාරිෂ්ඨ යෝගයක් හෝ ආයුෂ අඩුවීමක් සිදුකරනවා. විවාහය ගැන විස්තර කරනකොටත් මේ රාශිදෙක ගැන විස්තරාත්මකව සාකච්ඡා වනවා. මෙහෙම කරුණු තිබුණාටම එකපාරටම කිසියම් තීරණයකට එන එකත් වැරදියි. එහෙම කොච්චර නරකට පිහිටියත් ඒ රාශියට දෝෂ භංගයක් එනම් මේ රාශීන් දීප්තිමත් චන්ද්‍රයා හෝ දීප්තිමත් බ්‍රහස්පතිගේ දෘෂ්ටිය වැටුණොත් ඒ දෝෂය භංගවනවා. එම නිසා මේ තීරණ ගන්නකොට හැම දෙයක්ම ගැන පරික්ෂා කරන්ට ඕනෑ. මූලික වශයෙන් 02 වැනි රාශිය හා 11 රාශිය හා එහි පතිත ග්‍රහයෝ දිහා බැලුවාම ලාභ හානි ගැන කිව හැකියි.

කේන්දර පලාපලවලට අමතරව ඔබේ දැනීමේ ඇති පූර්ව ලක්ෂණවලින් ද ධන ලාභ ධන හානි හිත් සාංකා ගැන දැනගන්ට පුළුවන්. මේ පූර්ව ලක්ෂණවලින් ප්‍රයෝජන ගන්න නම් අපි ඉතා කල්පනාවෙන් සහ නිවුණු සංයමයකින් ඉන්ට ඕනෑ. ඒ සම්බන්ධව පුංචි අවබෝධයක් ද ඕනෑ තමයි.

පුරාණ ගැමියා, ගමමහගේ මේ පූර්ව ලක්ෂණ දැන හිටියා. නැත්නම් ඒ ගැන කිසියම් අවබෝධයක් තිබුණා මෙන්ම ඉන් ප්‍රයෝජනයක් වුණා.

පොල්අතු සෙවිලි කළ මැටි බිත්තිවලින් හෙබි කුස්සියේ බත පිසමින් හිටි ආත්තම්මා ජනේලයෙන් ආ තද සුළඟ බලලා, වහලේ පොල්අතු හෙලවෙන ශබ්දය බලලා අවබෝධයෙන් දුවට කියනවා. “දුවේ අර ගහේ බැඳලා ඉන්න වැස්සිව ලිහලා මඩුවට දාපං” වැලේ තිබෙන රෙදි ටික, වේළෙන්න දාපු දර ටික ගෙට ගනින්. ලොකු වැස්සක් එනවා.” කියලා මේ ලකුණු ආත්තම්මා දැනගෙන හිටියා. පසුගිය සුනාමියෙදී බොහෝ පක්ෂීන්, සතුන් සුනාමියට කලින් තිබූ ස්වභාවය තේරුම් ගත්තා. අම්ම අවබෝධයෙන් දැනගත් දේ සතා ඉවෙන් දැන ගත්තා. මේවා පූර්ව ලක්ෂණ. අපි ඡ්‍යොතිර්වේදීන් නොවුණත් මේ පූර්ව ලක්ෂණ ටිකක් දැනගෙන හිටියොත් ඉන් ප්‍රයෝජන ගන්ට පුළුවන්. සමහර විට ඔබ නොහිතන ප්‍රයෝජන ගන්ට පුළුවන්. සමහරු මේවාට නිමිති කියලත් කියනවා.

ඔබේ නිවෙසට වත්තට පක්ෂීන් එකවර ආවොත් අතුඅග පැන පැන සතුටු වුණොත් ළඟදීම ඔබට සතුටක් ලැබීමට යම්කිසි දෙයක් සිදුවනවා. එහෙම ඇවිල්ලා එකවර ගියොත් ටිකක් නරක කාලයක් බලාපොරොත්තු වුණොත් හොඳයි. මේ වගේ පොඩි පොඩි නිමිති දැනගන්න එක ඔබට වාසිදායකයි.

කලින් කලට ඔබේ ජීවිතයේ ඉදිරි ස්වභාවය දැනගන්ට ඔබ කේන්දරය බලාගන්න එක ස්වභාවයක්. උගත් ඡ්‍යොතිර්වේදියා ඔබේ කේන්දරය කලින් කියූ ශ්ලෝකයට අනුව රාශි සමඟ උත්පත්ති කේන්දරයත් තත්කාල කේන්දරයේත් පිහිටීම් බලා දැනට ගතවන අතුරු දසාව ගැන විශේෂ පරික්ෂාවක් කරනවා. මේ අවස්ථාවට ඉටුවන අයහපත් දේත් යහපත් දේත් එම අතුරු දසාව පවතින කාලසීමාව තුළ පල දෙනවාමයි.

අපි හිතමු ඔබේ කේන්දරය බලා පලාපල කියනකොට යම් ග්‍රහයකුගේ කිසියම් අශුභ කාලයක් සුබ කාලයක් අද සිට මාස 3ක් ඉදිරියට තිබෙනව කියලා. ඒ තත්ත්වය ක්‍රියාකාරිව පවතින්නෙ මාස 03ක් විතරයි. සමහර ඡ්‍යොතිර්වේදීන් කියනව වගේ හැමදාම පවතින්නෙ නැහැ. සුබ දෙයක් නම් මේ කාලය තුළ එය ලබාගන්න උත්සාහ කරන්න ඕනෑ. අශුභ කාලයක් නම් අනවශ්‍ය ගමන්බිමන් නොයා ප්‍රවේශම් වන්ට ඕනෑ.

පූර්ව ලක්ෂණයකින් හෝ කිසියම් දැනීමකින් ඔබගේ කේන්දරයේ පලාපල බලාගන්ට සිත් වුණා හිතමු. එහෙනම් එහි 02වැනි රාශිය 11 වැනි රාශිය ගැන ටිකක් විමසිල්ලෙන් බැලුවොත් ඔබට ලැබෙන වාසිය හෝ අවාසිය දැනගන්න පුළුවන් වගේම ඒක කුමක්ද යන්න දැනගැනීම වටිනවා . එහෙනම් අතුරු දසා ලබා ඇති ග්‍රහයා කවුද කොතැනද ගෝචරය කියල බැලුවාම ඒකේ ස්වභාවය එනම් හිත් රිදීමක් ද ලාභයක් ද පාඩුවක් ද කියල දැනගන්නව වගේම ඒ තත්ත්වය චර, තිර, උභයවලින් කොයි එකද කියල බැලුවාම චංචල ද, නිශ්චල ද, දෙකටම නැති එකක් ද කියලත් දැනගන්ට හැකියාව තිබෙනවා. මේ විස්තර දැනගන්නට අලුතින් පොත්පත් ගන්ට ඕනවන්නෙ නැහැ. අඩුම තරමින් සුබසෙත පුවත්පතේ එක එක ඡ්‍යොතිර්වේදි මහතුන්ගේ සටහන් බැලුවාම දැනීමක් ඒවි. ඒ සටහන් වටින ඒවා.

අනික තමයි ඔබට කිසියම් ලාභයක් පාඩුවක් ලැබෙනවා නම් විශ්ව ශක්තිය ඔබට උදව් කරනවා. සුබ දෙයක් නම් සුබ ලක්ෂණ ලැබේවි. යහපත් හීන දකීවි. ඔබ බසයෙන් රක්ෂාවට යනවා නම් ගිය හැටියෙම බසයක් ලැබේවි. ඉඳගන්නත් අසුනක් ලැබේවි. ඔන්න ඔය වගේ ධනාත්මක ප්‍රතිචාර ලැබුණොත් ඔබේ හිතවත් ඡ්‍යොතිර්වේදී මහතාව හමුවන්න. ඉදිරි කටයුතු ඔහු විස්තර කර දේවි.

හැබැයි නරකට හිටියත් ඔය වගේමයි.

අපි හිතමු ඉඩමකට සම්බන්ධ නම් ඒ වත්තෙ කුරුල්ලො පැමිණ අතු අග එහාට මෙහාට පැන පැන සෙල්ලම් කරාවි (දෙමලිච්චො හැර) තලගොයි වෙනදට වැඩියෙ ඒවි. සමහර විට නිධානයක් වගේ එකක් නම් ඒකෙ ආරක්ෂකයා වත්තෙ එහාට මෙහාට යාවි. මේ ලකුණූ එනකොට ඔබ මේක තේරුම් ගන්ට ඕනෑ. වස්තුවක ලාභයක් කියල හිතුණොත් පස්තෙල් ටිකකට මම පසුව ලියන පුංචි මන්ත්‍රයෙන් මතුරන්න. සාමාන්‍යයෙන් 1008 වරක් ඇති. ඉන් පහනක් දල්වා ඉඩමේ අරං යන්න ඔබට සැක හිතෙන තැන මේ පහන පොළවේ තබන්න. කිසියම් වස්තුවක් ඇත්නම් පහනේ දැල්ල වේගයෙන් කැරකැවේවි. දැන් අවශ්‍ය දේ කරගන්න.

 

මන්ත්‍රය

 

“සුරංසුර දිෂ්ටි - අසුර දිෂ්ටි ලංකා

විෂ්ණු දිෂ්ටි – ඊශ්වර දිෂ්ටි කානේස්වර දිෂ්ටි

කානේස්වර අවතාර දිෂ්ටි -නානේස්වර දිෂ්ටි

නානේස්වර අවතාර දිෂ්ටි, සර්ව දේවතා දිෂ්ටි

සරස්වති දිෂ්ටි සරස්වති මුඛ තුළ දිෂ්ටි ශි‍්‍රයා

දේව දිෂ්ඨි, ශි‍්‍රයාදේව අවතාර දිෂ්ඨි, මා ගිය තැන් ආ තැන් යන්ත්‍ර මන්ත්‍ර කල එළි දිෂ්ටි ඒං ඒං ඒං”

මේ මන්ත්‍රය ශබ්දයට කළාම ඇති හරියටම අකුරු කියවන්න ඕන නැහැ. ඕකත් නිදන් ගැනීමක් තමයි. කල්පනාවෙන්. නිදන් ගැනීමට අපට නීතියෙන් අයිතියක් නම් නැහැ.රම්පරික ඡ්‍යොතිෂවේදී /ගුප්තවේදි

මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.