දෙවසරකට පසු සුබසෙත යළිත් මුද්‍රණයෙන් ඔබ අතට ආ හැටි

මැයි 31, 2024

එදා මුළු පත්තර මහගෙදරම බලා සිටියේ මහත් අපේක්ෂාවෙනි. වසර දෙකකට පමණ පසු සුබසෙත යළි මුද්‍රණය කරන බවට කන්තෝරුව පුරා ආරංචිය නොගිය සවන්පතක් නැති තරම්ය. ආයතනය තුළ යන මඟ හමුවන සියලු දෙනා අහන්නේ ‘පත්තරේ ආයෙ එනවාලු නේද?‘ කියාය. ඒ 2023 ඔක්තෝබර් 02 වැනිදා සඳුදා දිනයයි. වාණිජ මුද්‍රණ අංශයේ රජිත පෙරේරාගෙන් පණිවිඩයකි. ‘පිටකවරයයි, දේව රූපයයි මුද්‍රණයට සූදානම්. අනුමත කරන්න එන්න.‘ සුබසෙත අපි වහා එතැනට ඉගිලුනෙමු. එහි නියෝජ්‍ය කළමනාකාර චන්දන රුද්‍රිගු සෙසු පිරිස ද සමඟ ඒ වන විටත් මුද්‍රණ යන්ත්‍රය අසලය. ‘අදත් හරියට අලුතෙන්ම පත්තරය මුද්‍රණය කරන දවස වගේ. 1969 තිබුණු තාක්ෂණය එක්ක මැයි අග වෙද්දි තත්ත්වය කොහොම තියෙන්න ඇත්ද?‘ අපි අපිම කියා සිනාසුනෙමු. වර්ණවත් සුබසෙත මුල් පිටුව ඔප කඩදාසියේ මුද්‍රිතව බැබළෙන විට දරුවකුගේ සිනහ මුහුණ දකින මවකට මෙන් සෙනෙහස පිරි හැඟීමක් හද පත්ලෙන් මතු වී දෙතොල් මත විසිර ගියා සේ දැනිණි. ඒ සමඟම රොටරි මුද්‍රණ යන්ත්‍රය අප එනතුරු බලා සිටින බවට පණිවිඩ දෙකකි. එකක් මුද්‍රණ අංශ කළමනාකරු ආර්.ඩී.ටී නයනජිත් ගෙනි. ඒ අතර නියෝජ්‍ය කළමනාකරු චින්තක පෙරේරාගෙන්ද ඇමතුමකි. අපි එතැනට සැණින් පිවිසියෙමු. දැන් පුවත්පතේ සියලු පිටු මුද්‍රණය වී හමාරය. බෙදාහැරීම් කළමනාකරු ඩිලන්ත බටුගෙදරගේ අධීක්ෂණය යටතේ පිටපත් අට්ටි ගැසෙමින් බෙදාහැරීම් අංශයෙන් ප්‍රවාහන අංශයට යයි. එහි ජ්‍යෙෂ්ඨ කළමනාකරු තිස්ස ධම්මික හා කළමනාකරු අරුණ රූපසිංහ උනන්දු වන්නේ ඒවා හැකි ඉක්මනින් රට පුරා නියෝජිතයන් කරා පිටත් කිරීමටය. හේතුව ඒ වනවිටත් ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු අමිල පීරිස්ගේත් ක්ෂේත්‍ර මෙහෙයුම් කළමනාකරු ශාන්ත පුෂ්පකුමාර, අලෙවි පරිපාලන කළමනාකරු කපිල ෆර්ඩිනැන්ඩස්, නියෝජ්‍ය කළමනාකරු අංජන සිල්වාගේත් පිරිස් මුළු රට පුරා සුබසෙත එන බවට ප්‍රචාරය කර පාඨකයන්ගේ බලාපොරොත්තු දල්වා තිබීමයි. ඒ සියල්ල සිදු වන අතර පළමු පිටපත් කීපය අධ්‍යක්ෂ මණ්ඩලයට කෘතඥ පූර්වකව ලබා දිය යුතු වෙලාව පැමිණියේය. මම ඒවා රැගෙන ඉහළ මහලේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් කාමරය වෙත ගියෙමි.

සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර පරණතන්ත්‍රී, නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතීඥ ජනක රණතුංග, මූල්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, අධ්‍යක්ෂ මෙහෙයුම් නීතීඥ මංජුල මාකුඹුර යන වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල සහ සමාගමේ ලේකම් සුදර්ශි හේවාවසම් යන මහත්ම මහත්මීහු පුවත්පත මහත් ඕනෑකමින් ‘නරඹන්නටත්’ කියවන්නටත් වූහ. ඔවුන්ගේ මුහුණුවල ඇඳුණේ මහත් තෘප්තියකි. එය මා එතෙක් දරා සිටි අභියෝගාත්මක බර ජයග්‍රාහී හැඟීමකට පෙරළන්නට සමත් විය.

එයට හේතුව සුබසෙත එසේ යළි මුද්‍රණය වූයේ රතු පළස් මතින් ආ පහසු ගමනකින් නොවන නිසාය. ආසන්න පෙර කර්තෘ අජිත් ධර්මසිරි මහතා විශ්‍රාම ගන්නා විට කොරෝනා වසංගතය නිම වී තිබිණි. එහෙත් කඩදාසි මිල අධික ලෙස ඉහළ යෑම නිසා බොහෝ පුවත්පත් මුද්‍රණය අත්හිටවන්නට තීරණය විය. ඒ අවස්ථාවේ කතුවරයකු නොමැති සුබසෙත වැඩ ආවරණයට බාර වී තිබුණේ තුෂාරි වික්‍රමසිංහ මාධ්‍යවෙදිනියටයි. ඇයට මහත් අත්වැලක් වූයේ පුවත්පතේ වසර විසිපහක පමණ අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී ධම්මිකා රාජපක්ෂගේ සහයෝගයයි. ඔවුන්ගේ සියලු කාර්යාල කටයුතුවලට සහාය ලැබුණේ සිසිර අමරසිංහගෙනි. සුබසෙත පිටු දහයක විද්‍යුත් පුවත්පතකට හෙවත් ඊපේපරයකට සීමා වී තිබිණි. වසංගතය නිම වුවද පුවත්පත්වලට වසන්තය උදා වූයේ නැත.

ඒ අතර 2023 වසරේ ජනවාරි මාසයේ සුබසෙත සඳහා විෂයය ප්‍රාමාණිකයන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ පවත්වන තරගකාරී සම්මුඛ පරීක්ෂණයක් මඟින් කතුවරයකු තෝරාගැනීමට එවක සිටි සභාපති සහ වත්මන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා තීරණය කළේය. ඒ අනුව සුබසෙත පුවත්පතේ නවවැනි කතුපදවිය දැරීමේ භාග්‍යය ඒ වසරේ බක්මාසයේ අවසන් සතියේ මා හට උදා විය. මා අතින් පළ කළ යුතු පළමු කලාපය වූයේ එවර වෙසක් පෝය වෙනුවෙන් නිකුත්වන විද්‍යුත් පුවත්පත වීම මහත් වාසනාවන්ත පෙර නිමිත්තක් ලෙස හැඟිණි. එහි ප්‍රධාන පුවත සඳහා තොරතුරු සැපයූ ආචාර්ය හර්ෂ විජයවර්ධන සහ සිවිල් ඉංජිනේරු ප්‍රියන්ත දයාරත්න මහත්වරු මෙන්ම එහි පළ වූ කවියේ නිවැරැදිභාවය තහවුරු කළ සඳගෝමි කෝපරහේවා මහාචාර්යතුමන් ගෞරවයෙන් සිහිපත් කළ යුතුව ඇත.

වසර 54ක ගෞරවණීය ඉතිහාසයක් හා සන්නාමයක් හිමිව තිබූ පුවත්පතකට පුනර්ජීවනය දීම යනු ලෙහෙසි පහසු අභියෝගයක් නොවීය. එක් අතකින් තරගකාරී පුවත්පත් වෙළෙඳපොළ අත්පත් කරගෙනය. අනෙක් අතින් මේ විෂයය පිළිබඳ නූතන සමාජයේ විවිධ මත පළ කරන්නන් බහුල වී ඇත. තවද නව මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වීම ඉතා වේගවත් සේම එදාට වඩා පාඨකයන්ට විෂයය කරුණු පිළිබඳ යාවත්කාලීන වීමට ඇති අවකාශය පුළුල්ය. වසර විස්සක් පුරා ලේක්හවුස් ආයතනයේ සිළුමිණ, දිනමිණ පුවත්පත්වල මාධ්‍යවේදිනියක ලෙස හා සරසවිය පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරිය ලෙස ද ඊට පෙර සත්වසක් පමණ විද්‍යුත් මාධ්‍යවල ද මා ලද අත්දැකීම් මෙනෙහි කරමින් මේ තත්ත්වයට මුහුණ දීමට සූදානම් වුණෙමි. සිසිර පරණතන්ත්‍රී කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂතුමාගේ වසර හතළිකට ආසන්න මාධ්‍ය අත්දැකීම් සහ ඡ්‍යොතිෂ පුවත්පත් කීපයක් අරඹා පළ කිරීමෙන් ලද දැනුම් සම්භාරය ඔස්සේ ලැබුණු උපදෙස් අනුව මේ අභියෝගය මනා සැලැස්මකින් හා ඉවසීමකින් යුතුව ජයගත යුතු විය. එහි ප්‍රමුඛ අරමුණ වන්නේ සුබසෙත යළි මුද්‍රණද්වාරයෙන් සහෘද පාඨකයන් අතට ලබා දීමයි. ඒ සඳහා මට ද ශක්තිය වන්නේ ධම්මිකා, තුෂාරි සහෝදර මාධ්‍යවේදිනියන් සහ සිසිර අමරසිංහමය. නිදහස්් මාධ්‍යවේදිනියක වන ජයන්ති කුරේ ද ඊට අත්වැල් සැපයයි.

පළමු පියවර ලෙස නව මාධ්‍ය ඔස්සේ පමණක් පළ කෙරෙන සුබසෙත පිළිබඳ නව මාධ්‍ය ඔස්සේම ප්‍රචාරයක් ලබාදීමට සුබසෙත යූටියුබ් නාළිකාව 2023 මැයි 22 දින ආරම්භ කෙරිණි. එහි මුල් අදියරේ වැඩසටහන් කීපයක්ම නිස්සරණාධ්‍යාශයෙන් රූගත කර සංස්කරණය කර දුන් ප්‍රවීණ සිනමා කැමරා ශිල්පී සහ සංස්කරණ ශිල්පී ප්‍රවීන් ජයරත්න මහතාට සුබසෙත කර්තෘ මණ්ඩලය හා ලේක්හවුස් ආයතනය වෙනුවෙන් මාගේ නොවක් ස්තුතිය පළ කරමි. එහි වැඩසටහන් සඳහා සහභාගී වූ සියලු දෙනාටද අපගේ ගෞරවය හිමි විය යුතුය. එමෙන්ම නාළිකාවට ජනාකර්ෂණය ලබා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස ජනප්‍රිය චරිත ඡ්‍යොතිෂය පිළිබඳ දක්වන අදහස් අප යූ ටියුබයට එක් කිරීමෙහිලා සම්බන්ධීකරණයෙන් සහාය දුන් ප්‍රවීණ කැමරා ශිල්පී උපුල් නිශාන්ත මහතාගේ සහාය ද අගය කළ යුතුය.

මාස දෙකක පමණ කලක් ඇතුළත විද්‍යුත් පුවත්පතේ පිටු සංඛ්‍යාව ක්‍රමයෙන් 20 දක්වා ඉහළ නැංවීමත් ඡ්‍යොතිෂයට හා ආයුර්වේදයට පමණක් සීමා නොවූ වෙනත් විෂයයන් ඔස්සේ සැකසුණු ලිපි එයට එක් කිරීමත් මේ අතර සිදු කෙරිණි. ඒ සඳහා කෙටි දැනුම් දීමකින් පවා කිසිදු ප්‍රතිලාභයක් නොතකා සාරවත් ලිපි සැපයූ සියලු දෙනා වෙත ප්‍රණාමය පුද කරනු කැමැත්තෙමි.

තවත් දෙමසක් ගතවන විට වත්මන් සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පැවසුවේ පළමු පුවත්පත මුද්‍රණය සඳහා අවශ්‍ය පිරිවැය සපයාගත හැකි නම් සුබසෙත මාසිකව මුද්‍රණයෙන් නිකුත් කළ හැකි බවයි. කෙසේ හෝ ජයගත යුතු මේ අභියෝගය පිළිබඳ වසර හතළිස් අටක පමණ කාලයක් සුබසෙතට ලිපි සපයන නිදහස් මාධ්‍යවේදී බී. එල්. ප්‍රේමරත්න මහතාට දැනුම් දුන් විගස ආයුර්වේද වෛද්‍ය සුමිත් රාජපුර සහ ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී මොරටුවේ තිස්ස මහානාම යන මහත්වරුන්ගේ නොමඳ සහාය ලබා ගැනීමට යුහුසුළු විය. එයටම අත්වැලක් සපයන්නට ගුප්තවිද්‍යාවේදී රංජිත් විද්‍යාරත්න මහතා ද ඉදිරිපත් වූයේය. ඔවුන් දුන් ඒ දිරිය නොවන්නට සුබසෙත මුද්‍රිත පුවත්පත ඔක්තෝබර් මාසයේ සිට මසකට වරක් හෝ යළි පාඨකයන් අතට පත් කරන්නට අවස්ථාවක් නොලැබෙන්නට තිබිණි. සුබසෙත පුවත්පත කෙරෙහි මෙන්ම මා කෙරෙහි ඔවුන් තැබූ අපරිමිත විශ්වාසය මාධ්‍ය ජීවිතයේ මා ලද සුවිශේෂී අත්දැකීමක් ලෙස සදා මතකයේ රැඳෙනු ඇත. යළි එන සුබසෙතට දැන්වීම් ලබා ගැනීමට වෙහෙසෙන්නේ සහකාර සාමාන්‍යාධිකාරී අසංක පීරිස් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ විධායක දැන්වීම් ගිහාන් කුඹලාතර ඇතුළු පිරිසය.

සය මසක් ගතවන විට සුබසෙත යූටියුබය පිළිගත් නාළිකාවක් බවට පත්වීම දෙවැනි ජයග්‍රහණයයි. ඒ සඳහා ගුණාත්මක වැඩසටහන් ඉදිරිපත් කිරීමට තම කාලය ශ්‍රමය මිඩංගු කළ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහ, උමා ඡ්‍යොතිෂවේදී හෙක්ටර් පද්මසිරි, ඡ්‍යොතිර්වේදින් වන මියුරු සම්පත් ලියනගේ, හරිශ්චන්ද්‍ර කුමාර, ලේඛාංජලී වඩුගේ, අංක විද්‍යා හා හස්තරේඛා විශේෂඥ බී. ඒ, ජයවර්ධන, ආචාර්ය ලීලානන්ද වික්‍රමාරච්චි යෝගීතුමා, වෛද්‍ය මධුර පරණවිතාන, ආචාර්ය රාජා තිලකරත්න, තාරකා විද්‍යාඥ අනුර සි. පෙරේරා, සෝමපාල විජේසූරිය ඇතුළු ගිහි පැවිදි විද්වතුන් සියලු දෙනාගෙන් ලද සහාය අතිමහත්ය. ඒ වැඩසටහන් සැකසීමේදී හා නව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේදී නීති හා පරිපාලන අධ්‍යක්ෂතුමන්ගේ අධීක්ෂණය යටතේ හැකි සැමවිට සහාය දෙන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (දැන්වීම්) චින්තක යාපා ප්‍රමුඛ ලේක්හවුස් ඩිජිටල් මාධ්‍ය අංශයේ පද්ධති ඉංජිනේරු අයේෂ් රාජපක්ෂ සහ නව මාධ්‍ය අංශයේ සහකාර කළමනාකරු මංජුල මහින්ද මෙන්ම තනුෂිකා සෙනෙවිරත්න ඇතුළු සියලු සහෝදර සහෝදරියන්ගේ සේවය අගය කළ යුතුය. එසේම තොරතුරු තාක්ෂණ උපදේශක සංජය ජයමාන්නගේ සහයෝගයද අමතක කළ නොහේ.

මේ‍අතර පුවත්පතේ ගුණාත්මක වෙනස මෙන්ම ආකර්ෂණීය බව රැකගැනීමට මහත් පිටිවහලක් වූයේ මෙතෙක් ඡ්‍යොතිෂ පුවත්පත්වලට දායකත්වය නොදුන් පිරිසක් වන මහාචාර්ය ආරියරත්න ඇතුගල, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිස්ස ප්‍රේමසිරි, සම්මානනීය ගත්කතුවර චම්මින්ද වෙලගෙදර වැනි පිරිසකගේ පර්යේෂණාත්මක ලිපි එක් කිරීමට හැකි වීමයි. එසේම නවක ලේඛකයකු ලෙස සුබසෙතින් දොරටවඩින හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ආචාර්ය විජය සමරසිංහගේ කොණ්ඩදෙණියේ හාස්කම් ලිපි පෙළ ද විශාල ජනාකර්ෂණයක් දිනා ගන්නට සමත් වුණි. සරසවි සිසුවියක වන ඉෂාරා විජේරත්නට ද පුවත්පතේ මෙන්ම යූටියුබයේ අවස්ථාව ලැබුණේ නවකයන්ට සුබසෙත අත දෙන බැවිනි. ලිපිවල අරුත කියූ සැණින් මනාව සිතුවමට නඟන සමන් ශ්‍රී කාන්ත සහ නිරෝෂන් කරුණාතිලකගේ තෙලිතුඩින් පුවත්පත තවත් විචිත්‍රවත් වෙයි. ගැළපෙන ඡායාරූප ලබා දීමට විමල් කරුණාතිලක ප්‍රමුඛ ඡායාරූප අංශයේ සහෝදරයන් ගන්නා වෙහෙස අපමණය. ඒ සිතුවම් මෙන්ම සේයා රූ නිසි පරිදි සකසා දෙන්නේ රුවන් විජයලත් ප්‍රමුඛ ඡායාරූප සැකසුම් අංශයයි.

දියුණු තාක්ෂණය භාවිත කරමින් අත්පිටපතම එවන පන්හිඳටම හුරු වූ ඇතැමුන්ගේ ලිපි කලට වේලාවට පරිගණක යතුරුලියනය කර දෙන්නේ මයුරංග සිරිවර්ධන සහ පද්මේන්ද්‍රා පල්ලියගුරුය. සෙල් ලිපි බඳු අකුරු සහිත පිටපත්වල සෝදුපත් බලමින් ඒවායේ බස නිවැරැදි කිරීමට වෙහෙසෙන නුවන් අමරසිංහ ප්‍රමුඛ පිරිසද අමතක කළ නොහේ. තෝරාගත් ලිපි පාඨකයාට කියවීමට රුචි උපදවන අයුරින් පිටු සකස් කළ යුතු ආකාරය පිළිබඳ කතුවරයකුගේ මනසේ මැවෙන චිත්තරූපයට බෙහෙවින් සමානව පිටුසැකසුම් කිරීමේදී සුබසෙත මුල්පිටුව නිරන්තර නිම වන්නේ වාර ප්‍රකාශන පිටු සැකසුම් අංශයේ ප්‍රධාන සැලසුම් ශිල්පී චක්සු අබේවික්‍රම අතිනි. අනෙක් පිටු විචිත්‍රවත් වන්නේ ඉරේෂා පි‍්‍රයංගනී අතිනි. ඒ පිටුවල අගය රකිමින් දැන්වීම් එක්කරන්නට යුහුසුළු වන්නේ සහකාර කළමනාකරු පාලිත ගොඩමුන්න ඇතුළු පිරිසය. එයට අත්වැල් සපයන්නෙන් සහකාර කළමනාකරු කපිල අලුත්ගේ සහ ජ්‍යෙෂ්ඨ විධායක දැන්වීම් නිලධාරිනි අමාලි උමංගා ඩයස් ඇතුළු කණ්ඩායමයි.

ඒවා නිෂ්පාදන අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු සමන්ත ජයවීර ප්‍රමුඛ පිරිස අතින් මුද්‍රණයට පෙර සූදානම් කෙරෙයි.

පුවත්පත වෙළෙඳපොළට නිකුත් වූ බව තහවුරු කිරීමටත්, සුවහසක් පාඨක ජනතාවට සුබසෙත සැලසීමටත් සුබසෙත ඡ්‍යොතිෂායුර්වේද සායනයක් පැවැත්වීම සුදුසු බව කර්තෘ මණ්ඩලයේ හැඟීම විය. ඒ අනුව දෙසැම්බර් මාසයේ මුල දින දෙකක් පුරා කැලණිය ප්‍රදේශයේ ජනතාවට නොමිලේ සුබසෙත සායනයක් පැවැත්වීමට කැලණිය විෂ වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලයේ අධිකාරිනී විදුහල්පතිනි විෂාරද පණ්ඩිතවිනිතා කල්‍යාණි පතිරාජ වෛද්‍යතුමිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයත්, ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් දැක්වූ සහයෝගය අතිමහත්ය. ඒ වැඩසටහන සඳහා සහභාගී වූ සියයකට අධික ඡ්‍යොතිෂවේදීන්, දේශීය වෛද්‍යවරුන්, හස්තරේඛා විශේෂඥයන්, වාස්තු විද්‍යා ශිල්පීන් ඇතුළු නානාවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් හට මෙන්ම ඔවුන් සම්බන්ධීකරණයේදී සහාය දැක්වූ ඡ්‍යොතිෂවේදී මාකෙහෙල්වල කරුණාපාල මහතාට සුබසෙත ප්‍රණාමය පිරිනැමිය යුතුය. එහිදී අපමණ සහාය දුන් කැමරා ශිල්පීන් වන ගීත් ද මැල්, ගයාන් පුෂ්පික, සුලෝචන ගමගේ සහ රුක්මල් ගමගේ සොයුරන් සුබසෙතට සෙතකි.

මෙරට පළමු වරට ඡ්‍යොතිෂයට සම්බන්ධ පුවත්පතකින් ජීවිතයට වැදගත් කරුණු ඇතුළත් පොත් පිංචක් ලබා දෙමින් සුබසෙත තවත් පාඨක හදවත්වලට සමීප කරන්නට සිසිර පරණතන්ත්‍රී මහතා දුන් උපදෙස ද අනෙක් කරණු මෙන්ම ඉතාම ප්‍රබල ලෙස පුවත්පත ජනතාව වැලඳගැනීමට හේතුවක් විය. ජනාකර්ෂණය ඉහළ යත්ම සභාපතිතුමාගේ උපදෙස් මත අධ්‍යක්ෂ මණ්ඩලය තවත් තීරණාත්මක පියවරක් ඉදිරියට තැබූහ. ඒ 2024 ජනවාරි මාසයේ සිට සතිපතා සුබසෙත මුද්‍රණයෙන් නිකුත් කිරීමටය. එවන් තීන්දුවකට ළඟා වීමට මඟ සලසමින් සුබසෙත සමඟ අත්වැල් බැඳගත් සහෘද පාඨක ජනතාවට සමස්ත කාර්ය මණ්ඩලයේ ගෞරවය හිමිවිය යුතුමය.

මේ වන විට පුවත්පත යළි මුද්‍රණය වන බවට රට පුරා පැතිරී ගිය ආරංචිය මත සුබසෙත වෙත ලිපි ගලා ඒම ඇරැඹී ඇත. එහෙත් මුද්‍රණය ඇණ හිටි සමයේ පවා සුබසෙත අත් නොහැර සිටි පිරිස අතහරින්නට එය හේතුවක් නොවේ.

බොහෝ ජ්‍යෙෂ්ඨයන්ගේ දැනුම ලොවට බෙදන අතරම ඔවුන්ගෙන් මතු මේ අස්පර්ශී සංස්කෘතික උරුමයන් ඉදිරියට පවත්වා ගෙන යන තරුණ පරපුරට අවස්ථාව දීමේ මහඟු මෙහෙවර මේ ඓතිහාසික පුවත්පතින් ඉටු කළ යුතුය යන දැඩි අධිෂ්ඨානයෙන් නවක ලේඛකයන්ට සුබසෙත නව මුද්‍රණයේ දොරටු විවර විය.

පැරැණි සුබසෙත අධ්‍යයනයේදී එහි සම්ප්‍රදාය වන්නේ හැකිතාක් දැනුම එක පුවත්පතකින් ලබා දීමට පිටු කළමනාකරණය කිරීම මිස විශාල ඡායාරූප ආදියෙන් හිස්තැන් වැසීම නොවේ. සියලු දානයන්ට වඩා උතුම් දැනුම බෙදා දීමේ ඒ මහඟු සද්කාර්යය එලෙසින්ම පවත්වා ගැනීම පහසු කටයුත්තක් නොවුවද ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ අඩිපාරේ ගිය ඔහු පුත් රන්ජිත් විජයවර්ධනයන් සහ පියසේන නිශ්ශංක සූරීන් වැනි සුබසෙත ආරම්භක ප්‍රාඥයන්ගේ සැබෑ අනුප්‍රාප්තිකයන් වන්නේ ඒ සම්ප්‍රදාය රකින්නන් බව ආයතනයේ සියලු සේවකයන්ගේ විශ්වාසයයි.

සම්ප්‍රදාය රැකගෙන අලුත් ලොවට යන ගමනේ ඇතැම් ලේඛකයන් පුරුදුව සිටි ගතානුගතික ශෛලීන් වෙනස් කරමින් නව ආරකින් ඒවා නූතන පාඨක පිරිස වෙත ලබා දීමේ අභියෝගය ජය ගැනීමද අවශ්‍යතාවයක් විය. ඒ සඳහා විශේෂාංග රචනයේ විවිධ උපායන් වෙත ඔවුන්ගේ අවධානය යොමු කළ පසු ඒ ක්‍රමවේද සාර්ථක වන්නට විය.

මේ අතර මාර්තු මාසයේ යළිත් පාණදුර නගරය ආශ්‍රිතව සායනයක් පැවැත්වීමට කටයුතු යෙදුණි. එයට සහාය දුන් ප්‍රියන්ත දයාරත්න මහතා ප්‍රමුඛ පාණදුර නගරසභාවේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි අනුස්මරණ පුස්තකාලයාධිපතිනි ඇතුළු කාර්ය මණ්ඩලයට ද, දහසක් රාජකාරී අතර ඒ දිනය පුරා ජනතාවට සේවය සැලසූ සියලුම විෂයය ප්‍රාමාණිකයන්ටද අපගේ කෘතඥතාව පිරිනැමේ.

මෙහි නම් නොකියවුණ ද බොහෝ දෙනකු සුබසෙත වෙනුවෙන් කැපවන බව පුවත්පත කියවන ඔබ දනී. ඔවුන්ගේ සේවය ජනතාවට පහසුවෙන් ලබා ගැනීමට හැකිවන පරිදිත් නවක පිරිස් ජනතාවට හඳුන්වා දීම සඳහාත් ඡ්‍යොතිෂ ආයුර්වේද නාමාවලියක් සකස් කිරීමේ කටයුතු දැන් අරඹා ඇත්තෙමු. එසේම පනස්පස් වසරක සුබසෙත මෙහෙවරට අතදුන් පිරිස ඇගැයීමේ උලෙළක් සංවිධානය කෙරෙමින් පවතින බවද ඉදිරියේදී ජනතාවගේ සුබසෙත වෙනුවෙන් තවත් සායන රැසක් පවත්වන බව ද සතුටින් ප්‍රකාශ කරමු.

අද වන විට වසර 55ක් අඛණ්ඩව ජනතාවට යහපත සැලසීමේ අරමුණින් මෙහෙවරේ යෙදෙන සුබසෙත සන්නාමය සමඟ නූතනත්වය සහ සම්ප්‍රදාය එක ලෙස රැගෙන යෑමට අපට හැකි වී ඇත. එහිදී සුපුරුදු තේමාවලින් වෙනස් වූ චිත්‍රකතාවක් සැපයීමේ අභියෝගය වසර විසි හතක විරාමයකට පසු බාරගත් ජ්‍යෙෂ්ඨ ඡ්‍යොතිෂවේදී ටී. හෙන්රි බේම්මුල්ල වැනි සුබසෙත ආරම්භක සාමාජිකයකුගේ දැනුම සහ සහයෝගය ලැබීම භාග්‍යයකි. එමෙන්ම පාඨක ජනතාවගේ ගැටලු ක්‍රිෂ්ණමුර්ති පද්ධතිය ඇසුරින්, නාඩි ඡ්‍යොතිෂයෙන් සහ වෛදික ක්‍රමයෙන් විසඳා දෙන පිරිසගේ සේවය අගය කළ යුතුය.

පනස් පස් වසරක් යනු සාමාන්‍ය පුද්ගලයකු නම් විශ්‍රාම යන වයසයි. එහෙත් සුබසෙත නව පණක් ලබමින් යළි දෙපයින් නැඟිටින්නේ වසර දහස් ගණනක් පුරා පැවතුණු අස්පර්ශී ඥාන සම්භාරය මෙන්ම අපේ රටේ සංස්කෘතිය හා බැඳුණු විස්මිත දැනුම් පද්ධතිය දේශීය වශයෙන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන් ප්‍රචලිත කිරීමේ බර කරට ගත් තරුණ ජවයත් සමඟය. ඒ සඳහා සම්ප්‍රදායික මෙන්ම නූතන මාධ්‍ය භාවිත කරමින් අභිසාරී (ඛ්ධදමඥපඨඥදබ) ක්‍රමවේදයක් අනුගමනය කරන සුබසෙත නවගමනක සුබ නිමිති දකින යුගය එළැඹී තිබේ. තවමත් අප ඒ ගිරි දුර්ගය තරණය කරන අභියෝගය ජය ගනිමින් සිටින්නෙමු. එහි ප්‍රතිපලයක් ලෙස මාස පහක් පමණ කෙටි කලක් තුළ සාධනීය මට්ටමින් වෙළෙඳපොළ කොටස අත්පත් කරගැනීමට හැකිව ඇත. ඒ කඳු මුදුනට පුවත්පත ඔසවා තැබීමේ වගකීම වෙනුවෙන් මුළු ශක්තිය යෙදවීමට වත්මන් කතු මඬුල්ල සැදී පැහැදී සිටින බව විශ්වාසය. ඒ සඳහා සමස්ත ලේක්හවුස් ආයතනයේද සහෘද විෂය ප්‍රාමාණිකයන්ගේ, විද්වතුන්ගේ මෙන්ම පාඨක ජනතාවගේද අපමණ ශක්තිය දැනටමත් අපට ලැබී තිබීම සතුටට කරුණකි. එහෙත් සුබසෙත යනු යළි කිසිදු දිනෙක කුමන හේතුවක් මත හෝ සැඟව යා යුතු පුවත්පතක් නොවේ. මේ වන විට සුබසෙත සන්නාමය ඒ තත්ත්වයෙන් මිදී ඇති බව සහතිකය. එමෙන්ම කඳු මුදුනට ගිය පසු පහසුවෙන් යා හැකි පල්ලම හමුවන බව පැහැදිලිය. ඒ පහසුව නියත වශයෙන්ම අත්විය යුත්තේ අපෙන් පසු පරපුරටයි. කතුවරයකුගේ සාර්ථකත්වය රඳා පවතින්නේ තමන්ගෙන් මතු ඒ පුවත්පත තව තවත් විශිෂ්ට අන්දමින් ජනතාව අතට පත් කිරීමේ පසුබිම සැකසීම මත බවට ඇති විශ්වාසය පදනම් කොටගෙන ඒ අවස්ථාව මතු මතුත් බිහිවන සුබසෙත කතුවරුන්ට උදා කිරීමේ පිවිතුරු චේතනාව පෙරදැරි කරගෙන සුබසෙත පනස්පස්වැනි සංවත්සරය ආගමික වතාවත් සමඟින් සමරන්නට කටයුතු යෙදුවෙමු. දෙවසරකට පසු සුබසෙත මුද්‍රණයෙන් ඔබ දෝතට ආ හැටි මෙන්ම මතු දවසේ ඔබේ අනාගත පරපුර අතට එය අත්පත් වන සැටි ද එසේය. ඉර හඳ තරු පවතින තුරු සුබසෙත පවතීවා යනු අපගේ සදාතනික පැතුමය!

 

කර්තෘ අරුණි මුතුමලී

සේයාරුව - වාසිත පටබැඳිගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.