ලේඛනයට මඟ හෙළි කළ අපේ කාලයේ පුවත්පත

මැයි 31, 2024

‘සත වෙත සිරිසෙත සලසන සතිපත’- සුබසෙත පුවත්පතට 2024 මැයි 28 දිනට වසර 55 ක් සපිරුනි.1969 මැයි මස 28 වැනිදින සුබ මොහොතින් ඇරඹුණු සුබසෙත පත්‍රයෙන් මේ දක්වා අප සමාජයට ඉටුවූ මෙහෙවර අති මහත්‍ ය. විශේෂයෙන් ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට මෙන්ම ඡ්‍යොතිෂ ක්ෂේත්‍රයට මේ දක්වා සුබසෙත පත්‍රය මගින් ඉටුවූ සහ දැනට ඉටු කරන සේවය මිල කළ නොහැකිය .

සුබසෙත පුවත් පත ආරම්භ වීමට පෙර “දවස” පුවත්පත් ආයතනය විසින් පළ කළ “ඉරණම”පුවත්පත තිබුණත් එය වෙන් වූයේ ඡ්‍යොතිෂයට පමණි. ආයුර්වේදයට එහි ඉඩක් නොවීය. මේ අඩුපාඩුව දුටු එවකට ලේක්හවුස් ආයතනයේ සේවය කළ ප්‍රවීණ පුවත් පත් කතුවරයෙකු වූ පියසේන නිශ්ශංක සූරීන් එවකට ලේක් හවුස් අධිපති රංජිත් විජයවර්ධන මහතාගේ ආශිර්වාදය ඇතිව සුබසෙත පත්‍රය ආරම්භ කළේ ඡ්‍යොතිෂයට මෙන්ම ආයුර්වේදයටද සේවය සැලසීමටයි. මෙසේ ආරම්භ කළ සුබසෙත පුවත් පතේ ආරම්භක කතුවරයා වූයේ ද පියසේන නිශ්ශංක මහතාමය. එදා මෙදා තුර ප්‍රවීණ කතුවරුන් සහ කතුවරියන් රාශියකගෙන් ඔපවැටුණු සුබසෙත පත්‍රය මේ පනස්පස් වන වසරේ කතුවරිය වනුයේ ප්‍රවීණ පුවත් පත් කලාවේදිනියක වන අරුණි මුතුමලී මහත්මියයි.

මේ පනස්පස් වසරක කාලය තුල සුබසෙත පත්‍රය මගින් බිහි කළ ලේඛකයන් ප්‍රමාණය මා ද ඇතුළුව අතිවිශාලය. ඔවුන් මඟින් සමාජයට දායාද කළ ශාස්ත්‍රීය දැනුම් සම්භාරය ද අතිමහත්ය.

අප වැනි බොහෝ දෙනෙකු ලේඛන කලාව පිළිබඳව අත්පොත් තැබුවේ සුබසෙත පත්‍රයෙන් බව පවසන්නේ ඉතා නිහතමානීවය.

වෛද්‍ය ශාස්ත්‍රීය දැනුම, ඡ්‍යොතිෂ දැනුම මෙන්ම වාස්තු විද්‍යා දැනුම සඳහා තෝතැන්නක් බඳ වූ සුබසෙත අද වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්, ඡ්‍යොතිෂවේදීන්ට අමතරව නාහිමිවරුන්, පූජකවරුන්, අධ්‍යාපනඥයන්, විද්වතුන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, නීතිඥයන්, ව්‍යාපාරිකයන්,ගොවීන්, කම්කරුවන් ඇතුළු සියලුම ක්ෂේත්‍රවල ජනතාව අතර ජනප්‍රිය පුවත් පතක් බව නිතර අප වෙත ලැබෙන ලිපි සහ දුරකථන ඇමතුම්වලින් පැහැදිලි වේ.

එසේම මා වෛද්‍ය ශාස්ත්‍රය හදාරන කාලයේ සිටම සුබසෙත පත්‍රය කියවීමට දැඩි රුචියක් දැක්වූ අතර එමගින් ලද දැනුමද අතිවිශාලය.

මේ ආභාසයන් නිසා ඖෂධ පැළෑටි පිළිබඳ ලිපි ලිවීම මා 2002 වසරේ සිට ආරම්භ කළ අතර එදා සිට අද දක්වාම ඖෂධ පැළෑටි පිළිබඳ සුබසෙත පත්‍රයෙන් ලිපි ඉදිරිපත් කරමින් සිටිමි. මේ සදහා මා හට මඟ විවර වූයේ සුබසෙත පත්‍රය ආරම්භ වූ දින සිට 2002 වසරේ මියයන තුරුම සුබසෙත ට ශාස්ත්‍රීය ලිපි ලියන ලද මාගේ බාප්පා වන ගම්පහ සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය ආයුර්වේද විශාරද පණ්ඩිත වෛද්‍යාචාර්‍ය රිචර්ඩ් ඩී. පරණවිතාන මහතාය.

සුබසෙත පුවත් පතෙන් සමාජයට ඉටුකරනු ලබන සත්කාර්‍ය ඉතා විශාල වන අතර ශාස්ත්‍රීය ලිපි මෙන්ම සරල සාරවත් ලිපි අංශ රාශියකින් යුක්තව වඩා සාරගර්භ පුවත් පතක් ලෙස සෑම සතියකම සිකුරාදා පාඨකයන් වෙත නිකුත් කරනු ලබයි. මෙහි පළවන ශාස්ත්‍රීය කරුණු මඟින් වෛද්‍ය ශිෂ්‍යයන්, ආධුනික වෛද්‍යවරුන්, ප්‍රවීණ වෛද්‍යවරුන් මෙන්ම අනෙක් විෂයානුබද්ධ විද්‍යාර්ථීන් බොහෝ දෙනෙකුට මහඟු සේවයක් ලැබෙයි. මෙසේ අවුරුදු 55 ක් තිස්සේ සුබසෙත මගින් සමාජයට ඉටුකළ මෙහෙවර අති මහත්‍ ය. මා ඇතුළු බොහෝ දෙනෙකුට ලේඛන කලාවට මග හෙලිකළ අපේ කාලයේ වටිනාම ඡ්‍යොතිෂ්‍යායූර්වේද පුවත් පත වන සුබසෙත පත්‍රය මඟින් සමාජයට ඉටුකරන ජාතික මෙහෙවර ඉදිරියටත් තව තවත් සාර්ථකව ඉටුකිරීමට වත්මන් සුබසෙත ප්‍රධාන කර්තෘ ඇතුළු ක්‍රියාශීලී කාර්‍ය මණ්ඩලයට ශක්තිය ධෛර්යය ලැබේවා යි පතමි.

චිරං ජයතු. සුබසෙත

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.