නවක ලේඛකයකු ‘සුබසෙත’ දකින අයුරු

මැයි 31, 2024

වසර 55 සංවත්සරයට එළැඹෙන සුබසෙත පුවත්පත අද දැනුමෙන් පිරි පරිණත භාවයකට පත්ව ඇත. දැනට ජීවතුන් අතර නැතත් එදා මගේ පියාණන් ඉතා කැමැත්තෙන් කියැවූ එකම පුවත්පත සුබසෙතමය. අද එම පුවත්පතට නවක ලේඛකයකු ලෙස විවිධ මාතෘකා ඔස්සේ ලිපි සැපයීමට අවකාශයක් ලැබීම මම භාග්‍යයක් ලෙස සලකමි. පුවත්පතක නියම වටිනාකම මිණිය හැක්කේ එහි අන්තර්ගත ලිපිවල සාරගර්භය සුවසේ ජීවිතය සාර්ථක කර ගැනීමට උපයෝගී කරගත හැකි නම් පමණි. එම කර්තව්‍යය මනාලෙස සුබසෙත පුවත්පත මඟින් ඉටුකරනු ලැබීම මුළු මහත් ජාතියටම වාසනාවකි.

තවද එය කාලීන ගැටලු, ප්‍රශ්න ගැන කතාකරන සාකච්ඡා මණ්ඩපයක ස්වරූපයක් ගැනීම නිසා පාඨකයා නිතර දැනුමින් සන්නද්ධ කිරීමටත්, පාඨකයා ගේ ගැටලු අසා බලන, ඊට පිළියම් නොමිලේ සපයා දීම සිදුකරලීම තුළින් ඡ්‍යොතිෂය පමණක් නොව පුද්ගල පෞරුෂත්වයද නංවාළීමට හොඳ තෝතැන්නක් සදාලනු ලැබීම සතුට දන්වන්නකි.

පැරැණි සම්ප්‍රදායට ඕනෑවට වඩා ගැලී නොසිට එම ඡ්‍යොතිෂ සම්ප්‍රදායන් රැක ගනිමින් නූතන සමාජීය ගැටලු ඔස්සේ හදවත්වලට කතාකරන පුවත්පතක් වීමෙන් මෙය යළි මුද්‍රණයෙන් කෙටිකාලයක් තුළ ජන සමාජය හද බැඳ ගැනීමට සමත්වී ඇත. කතුවරියගේ කතුවැකියද ඉතා අගනේමය. මම ‘සුබසෙත’ පුවත්පතේ මුලින්ම කියවන්නේ කතුවැකියය. එය මනා දැනුම් සම්භාරයක් ලබාදෙන අතර ඕනෑම මාතෘකාවක් නූතන විද්‍යාත්මකව ගත්තත් ඡ්‍යොතිෂ පුවත්පතක දිශානතියට යොමුකරනුයේ මනා කෘතහස්ත අත්දැකීම් සමුදායක් පිරිපුන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිණියකගේ භූමිකාව මනා ලෙස ඉටු කරමිනි. චමත්කාරජනක ලෙස හසුරුවා ගන්නා වදන්පෙළ හදවතටම සැබවින්ම කතා කිරීමට සමත්වීම කෙතරම් ආශ්වාදජනක දැයි මම සිතුවෙමි.

සුබසෙත වෙතින් ජන සමාජය වෙත ලබාදෙන පණිවිඩ අව්‍යාජය. එහි තොරතුරු පක්ෂග්‍රාහී නොමැත. සෑම ලිපියක්ම සාරගර්භය. ස්වාධීනව ලේඛකයාගේ අදහස් ලියා දැක්වීමට ඉඩහසර ලබාදීමම කෙතරම් සුන්දරද?

සමාජයේ සැක සංකා දුක්ඛ දෝමනස්සයන්ට තම ඉරණමේ ගමන සැකසීමත් ඉන් මිදි ඉදිරි අනාගත ජීවිතය සුඛිත මුදිත කරගැනීමට අවශ්‍ය උපදෙස් මාලා නිරන්තරව කියාදෙමින් පුවත්පතකින් ජන සමාජයට, පාඨකයාට උපරිම සේවාවක් සනාලීමට “සුබසෙත” සමත්වීමම මොනතරම් විශිෂ්ට මෙහෙවරක් දැයි මම සිතුවෙමි.

පුවත්පතේ වර්ණ සංයෝජනය පිටුසැකසීම එහි හැඩගැන්වීම්, සිරස්තල යෙදුම් මහත් අකාර්ෂණීය ලෙස සිදුකර ඇත්දැයි සිතේ. නවක ලේඛකයන් සහ ප්‍රවීණ ලේඛකයන්ගේ ලිපි අකුරක් නෑර කියවමින් එහි අඩුපාඩු ඉතා සුහදව පෙන්වාදෙමින් සිදුකරන සේවාවද අතිමහත්ය.

‘සුබසෙත’ චිරාත් කාලයක් වැජඹේවා!

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.