බල සුබ නිමිති පෙර මඟ නැකතටත් වැඩී

මැයි 24, 2024

 

බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයෙකි. එසේ වුවත් සාමාන්‍ය මනුෂ්‍යයකු නොව අංගුත්තර නිකායෙහි දැක්වූ පරිදි “ආශ්චර්යමත් මනුෂ්‍යයෙකි” එබඳු ආශ්චර්ය ශ්‍රේෂ්ඨයෙකුගේ ජීවිතය වටා විස්මිත පුදුම එළවන ආශ්චර්ය සිද්ධි අපමණය. සිදුහත් මහ බෝසතුන් මව්කුස පිළිසිඳ ගැන්ම, උත්පත්තිය, බුද්ධත්වය ආදී සුවිශේෂී සිද්ධීන් බෙහෙවින් දක්නට ලැබෙයි.

බෝසත් උපත් අවස්ථාවේ තිස් දෙකක් පූර්ව නිමිති පහළ විය. ඒ මෙසේ ය.

දස දහසක් සක්වළ මහ පොළව ගිගුම් දුන් මහී ගර්ජනාව, දස දහසක් සක්වළ දිව්‍ය බ්‍රහ්මාදී සියලු ආලෝකය මැඬ පවත්වා පැවති මහා ආලෝකය, ජාත්‍යන්ධයින් ඇස් ලැබීම, ගොළුවන් ගායනා කිරීම, බිහිරන් කන් ඇසීම, කොරුන් ඇවිදීම, කුරුකුදු වූවන් ගාත්‍රා ලැබීම, ඇත්, අස්, මොණර, පරෙවි ආදී සියලු සත්වයින් බැමිවලින් මිදී රිසි පරිදි ගමන් කිරීම, කෙලෙස් හැටදහසක් සියලු නිරයන්හි ගිනි නිවී සිසිල් වීම, කල්පයක් මුළුල්ලේ බත් පැන් නොලත් ප්‍රේතයින් බත් පැන් ලැබ සා පිපාසා නිවා ගනිමින් අහෝ සැපයි කියමින් ශබ්ද නැඟීම, තිරිසන් අපායික සත්ත්වයින් ඔවුනොවුන් කෙරේ නොබියව සිත් සේ ඇවිදීම, සියලු සතුන්ගේ හැම අසාධ්‍ය රෝග සංසිඳී සැපයි, පි‍්‍රය තෙපුල් බිණීම, දස කුල ඇතුන් සතුටින් කුඤ්ච නාද කිරීම, සියලු සත්ත්වයින් අපි‍්‍රය වචන නොකියා පි‍්‍රය වචනම කීම, සත්කුල සියලු අශ්වයින් මියුරු හේෂාරව නාද කිරීම, සියලු සිංහයින් සතුටින් ගර්ජනා කිරීම, සියලු සිව්පාවුන් තම නාදයෙන් ඝෝෂා කිරීම, දස දහසක් සක්වළ දෙව් බඹුන් පැලැඳි ආභරණ බැබළීම, දස දහසක් සක්වළ දස දෙස බුදු රැස් පරිද්දෙන් රැස් විහිදීම, වන මල් සුවඳ මඳ පවන් පැවත්වීම, දස දහසක් සක්වළ එසැණින් මහවැසි වැසීම, මහ පොළොව දැදුරු කොට ජල ධාරා රිදී කඳන් සේ ඒ ඒ දිග දිවීම, පක්ෂීන් අහසින් නොගොස් තුරු අග නොහිඳ පොළවට බැස මධුර නාද කිරීම, ගංගාවන් ගැලීම නවතා රඳවීම, සමුදුරු රළ සංසිඳී මිහිරි ජලයෙන් පිරී පැහැදී සිටීම, සාගර පස් පැහැ මල් පිපීමෙන් සජ්ජින වීම, දිය ගොඩ සියලු මල් එක විට පිපී දස දෙස සුවඳ පැතිරවීම, දස දහසක් සක්වල ගල් මුල්වල අග දක්වා මල් පිපීම, දස දහසක් සක්වළ පොළෝ විවරව සත්බුමු දඬු පියුම් පිපීම, සියලු අහස්තල මුළුල්ලෙහි පියුමෙන් අතුරු නැතිව උඩ බලා නටු තිබීම, දස දහසක් සක්වළ මුළුල්ලෙහි මල් වැසි වැස පියා මල් අස්නයක් සේ වීම, ලොව පහළ වූ ධජමාලාවෙන් බඹලොව වසා ගැනීම යනු බෝධිසත්වොත්පත්තිය සමඟ සිදු වූ ආශ්චර්ය විස්මිත පුදුම එළවන පෙර නිමිති තිස් දෙකය.

මේ දෙතිසක් පෙර නිමිති කවර ඵල පෙන්නුම් කරන්නේ වේද?

සර්වඥතා ඥානය ලැබීම, දෙව් මිනිසුන් සහිත බොහෝ ජනයාගේ සිත් පිනවන බවට, දිවැස් ලැබීමට, දම්සක් පැවතුම කළ එකහෙළා සාදු නාදය ලැබීමට, දිව කන් ලැබීමට, සතර සෘද්ධිපාද ලැබීමට, බොහෝ දෙනා අධිගමලාභිව නිවන් දක්නා බවට, අස්විමාන විඳීමට, රාග, ද්වේෂ ආදී එකොළොස් ගිනි නිවීම, කායගතාසති අමෘත ප්‍රතිලාභයට, ආර්ය අෂ්ටාංගික මාර්ගය මඟින් නිර්භය කරන බවට, චතුස් සත්‍ය ධර්ම ප්‍රතිලාභයෙන් අහෝ සැපයි පී‍්‍රති වචන කීම, ධර්මය පිළිගෙන සතුටුව පී‍්‍රති වචන කීම, සතර බ්‍රහ්ම හරණ භාවනාවන් ප්‍රතිලාභයට, අනුපූර්ව විහාර භාවනා ප්‍රතිලාභයට, මහත් වූ සද්ධර්ම නමැති භේරි නාදය ඇස්වීමට, ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති දොර හැරීමට, සියලු ලෝකයාට සද්ධර්මය නමැති ආලෝකය දක්වන බවට, අවිද්‍යා අන්ධකාරය දුරලා විද්‍යා ආලෝකය දැක්වීමට, දෙසැටක් දෘෂ්ටි ගති බිඳ හෙළීමට, මහත් වූ සද්ධර්ම නමැති වර්ෂාව වැස්සවීමට, කායික චෛතසික ශාන්ත සැප ඉපදීමට, මහජන සමූහයා අවවාද පිළිගෙන දිවිතෙක් සරණ යන බවට, චතුර්විධ වෛශාරද්‍ය ඥානයාගේ ලැබීමට, නිවන් රසයෙන් එකරස්භාවය ලැබීමට, බුද්ධත්වයට පැමිණ උදාන වාක්‍ය පවත්වන බවට, විමුක්ති සැප නමැති පුෂ්පයෙන් හා ශ්‍රාවණ්‍ය ඵලාභරණයෙන් භරිත වීමට, විමුක්ති සැපයකින් සැපතට පැමිණෙන බවට, සතර සතිපට්ඨාන ධර්මයාගේ ලැබීමට, සිව් පිළිසිඹියා අධිගමනයට, දස දහසක් සක්වළ දහම් නමැති මල් වැසි වැස්සවීමට, අර්හත් ධජ මාලාවෙන් සියලු ලොව ලීලෝපේත වන බවට ඒ දෙතිසක් පෙර නිමිති මෙම දෙතිසක් කරුණු පිළිබඳවය.

මහ බෝසතාණන් වහන්සේ ලුම්බිණි සල් උයනේ දී උපත ලදහ. ඒ පිළිබඳවද සොබාදහම අපූර්ව පූර්ව නිමිති රාශියක් දක්වන්නේ ය.

මඟුල් සල් උයන ගස්වැල් අතුරු සිදුරු නැතිව මලින් බරවෙමින් අතිශයින් ශෝභාමත් විය. මල් රොන් ගන්නා බඹර, මී මැසි ආදින්ගේ නාදය, ගිරා, මොණර, කොවුල් ආදි සියොතුන්ගේ නාදය අපූර්වතම සිත් ගත් දර්ශන වූයේ ය. සල් අත්ත මහමායා බිසොවුන් දෙසට නැමිණි. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය පිණිස පරිසරය දක්වන පෙර නිමිති රැසක් ගැනම කියවන්නට ලැබෙයි.

ආශ්චර්යමත් සිදුවීම් මැද උපත ලද සිදුහත් බෝසතාණන් වටා නොයෙකුත් පෙර නිමිති බැඳේ. සුදොවුන් රජුගේ පුත්‍ර ලාභය අසා ආ අසිත තවුසාණන් පුතු ලවා වන්දනා කරන්නට පියා උත්සුක වූ කල තවුසාණන්ගේ ජටා මතුයෙහි කුමරුන්ගේ පා පිහිටි අතර ඒ තුමන්ගෙන් වැඳුම් ලබන්නට කවරෙක් වත් නැති බව පෙන්වන්නකි. බෝසතාණන්ගේ සිරුරෙහි වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඔස්සේ කුමරා ඒකාන්තයෙන්ම බුදුවන බව තවුසාණෝ දුටහ. නම් තබන අවස්ථාවේ දේහ ලක්ෂණ ඔස්සේ කුමාරයා අනාගතයේ කවරෙක් වන්නේ දැයි බමුණෝ ප්‍රකාශ කළහ. කොණ්ඩඤ්ඤ බමුණා නළල් තලෙහි දක්ෂිණා වෘර්ත ඌර්ණ රෝම ධාතුව දැක කුමරා නිසැකවම බුදුවන බව ප්‍රකාශ කළේය.

උයන් කෙළි යාමේ දී මහල්ලෙකු, ලෙඩෙකු, මළමිනියක්, පැවිදි නමක් දකින කුමරු ගිහිගෙයින් නික්මෙන්නේ ද සතර පෙර නිමිති දැකීමෙනි.

මහා බෝසතාණෝ බුද්ධත්වය ලැබීමට පෙර දින සිහින පහක් දුටහ. ඒ බුද්ධත්වය ලැබීම පෙන්වන පූර්ව නිමිතිය.

මේ සිහින තමන් නිසැකවම බුදුවන බවට පැහැදිලි පෙර නිමිති බව මහ බෝසතාණෝ වටහා ගත්හ.

සුජාතා සිටු දේවිය විසින් පුදකළ පිඬු වළඳා අවසන නැඟී සිටි බෝසතාණෝ රන් පාත්‍රය ගෙන නේරංජනා නදිය වෙත ගොස් “අද මාගේ බලාපොරොත්තුව වන සම්බුද්ධත්වය නිසැකයෙන්ම සිදුවේ නම් මේ රන් පාත්‍රය උඩුගංබලා යේව“ යි අධිෂ්ඨාන කොට රන්තලිය ගඟට දැමූහ. එය උඩු ගං බලා පාවී ගිය අතර එය මහ බෝසතාණන්ගේ අදහස් මස්තකප්‍රාප්ත වන බව ප්‍රත්‍යක්ෂ කරන පෙර නිමිත්තක් විය. සියලු පෙර නිමිති තම අසමාර්ථය සාර්ථක වීමේ පැහැදිලි සලකුනු බව මැනවින් වටහාගත් උන්වහන්සේ මහත් ප්‍රසන්න සිතින් පසුවූහ. මේ පරිදදෙන් බෝසත් චරිතය වටා අතිශය වැදගත් සිදුවීම් සම්බන්ධයෙන් කියැවෙන පූර්ව නිමිති බොහෝ ය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.