ඇස්වහ කටවහ දුරලන සිරිකත කැන්දන සුදු මල් බඳුන

ජනවාරි 19, 2024

ඈත අතීතයේ සිට පැවති අපේ සිරිත් විරිත්වලට මෑත කාලයේ එකතු වූ අලුත්ම සම්ප්‍රදාය ලෙස නිවෙස ඉදිරිපිට තබන සුදු මල් බඳුන සැලකේ. වර්තමානයේ ඇතැම් නිවාස ඉදිරිපිට සුදු මල් දැමූ පිරිසිදු වතුර බඳුනක් තබා ඇති අයුරු දැක ගැනීමට හැකිය. මෙහි තේරුම බොහෝ දෙනා නොදනී. වැඩි පිරිසක් කරන්නේ අනුන් කරන නිසාවෙනි. ඇතැම් අයගේ විශ්වාසය ශි‍්‍රයාකාන්තා දේවියගේ බැල්ම තම නිවෙසට ලැබෙන බවය. සිංහල බෞද්ධ ජනතාව හා බැඳී පවතින චාරිත්‍රවලදී වතුරවලට මුල් තැනක් දී ඇත. අප ශුභ ගමනක් යන විටදී පවා සුදු මල් දැමූ වතුර වීදුරුවක් රැගෙන එන අයෙකු මුණ ගැසීමද යහපත් ප්‍රතිඵල ගෙන දෙන බව පිළිගැනීමයි. ස්වභාවධර්මයා විසින් අපට ලබා දුන් උතුම් වූ දායාදයකි වතුර. විවාහ මංගල උත්සවයේදී මංගල පෝරුවේදී පවා මනාල යුවළට අත පැන්වත් කරන්නේ නිදුක් නීරෝගි සුවය හා සැප සම්පත උදාවේවා යැයි යහපත් චේතනාවෙනි. මනාල යුවළ ශුභ නැකතින් මංගල ගමන අරඹන විටදී සුදුමල් දැමූ වතුර බඳුනක් දෝතින් ගෙන තම මෑණියන් ඉදිරියට එන්නේද වතුර සෞභාග්‍යයේ සංකේතයක් නිසාවෙනි. සිංහල අලුත් අවුරුද්ද ලබන විට ගෘහිණිය විසින් පිරිසුදු වතුර කළයක් නිවෙසට රැගෙන එන්නේද තම නිවෙසට සැප සම්පත ධනය හා සෞභාග්‍ය ලබා ගැනීමටය. නවග්‍රහයින් අතර සඳු හා සිකුරු ශුභවාදි ග්‍රහයන්ය. මේ ග්‍රහයන්ට අයිති වර්ණයද සුදු බව පැවසේ. සුදුපාට යනු පවිත්‍ර බවේ සංකේතයයි. සෑම ශුභවාදී කටයුත්තකටම ඉදිරියෙන් සිටින්නේ සුදුම සුදු වර්ණයයි. අනෙකුත් සෑම වර්ණයකටම වඩා සුදු පාට ඉතා පිරිසුදුයි. දැකුම්කලුයි. ඒ වගේම තම නිවෙසට, නිවැසියන්ට ඇතිවන ඇස්වහ කටවහ දෝෂවල අහිතකර බලය වතුරට ඇද ගැනීමට හැකියාව ඇත. තම නිවෙසට පැමිණෙන අයගෙන් ඇතිවන ඇස් වහ කටවහ දෝෂවලින් ආරක්ෂා වීමට තම නිවෙස ඉදිරිපිට මෙසේ දිය පිරි බඳුනක් තබා එයට සුදු මල් දමා තබනු ලැබේ. නිවෙසට සිරිකත කැන්දන ශ්‍රීයාකාන්තා දේවියගේ ගෙල බැඳි මල් මාලයේද ඇත්තේ සුදු මල්ය. එනිසාම ශ්‍රියාකාන්තා දේවියගේ බැල්ම ලබා ගැනීමටත් ඇස්වහ කටවහ දෝෂ දුරුවීමටත් තම නිවෙසට සෞභාග්‍ය උදා කර ගැනීමටත් මේ සුදු මල් පිරි වතුර බඳුන තැබීමේ ක්‍රමය ඉතාම සුදුසුය. වතුර පිරවූ මේ සුදු මල් බඳුන තම නිවසේ ප්‍රධාන දොරටුව අසල තැබීම ඉතා යහපත් ප්‍රතිඵල ගෙන දේ. එය වඩාත්ම සාර්ථක වීමට නම් නිවෙසට පිවිසෙන පැත්තේ දකුණු දෙසින් තිබීම සුදුසු වේ. එමෙන්ම නිවෙස හා අවට භූමියද ඉතා පිරිසුදුව තබා ගැනීමද වැදගත්ය. අඩුම වශයෙන් මෙම වතුර බදුන පොළොව මට්ටමේ සිට අඩි 3ක් වත් උසකින් තිබිය යුතුය. අඩි 3කට වඩා පහළින් මේ වතුර බඳුන තැබීමෙන් ඔබ බලාපොරොත්තුවන ශි‍්‍රයා කාන්තා දේවියගේ බැල්ම හා යහපත් ප්‍රතිඵල නොලැබේ. සුදු මල් දැමූ වතුර බදුන පහතින් තැබූ විට නිවෙසේ ඇති කරන පූසා, බල්ලා වැනි සුරතල් සතුන් මේ වතුර බඳුනෙන් ජලය බීමටද හැකිය. එසේ සිදු වන්නේ නම් ශි‍්‍රයාකාන්තා දේවියගේ බැල්ම දේවාශීර්වාදය තම නිවෙසට නෙැලැබී යනු ඇත. යහපත කෙසේ වෙතත් දේව දෝෂ, දේව කෝප ඇතිවේ. සෞභාග්‍ය උදා කර ගැනීමට නම් ඉතා පිරිසිදු ජලය තිබිය යුතුය. සෑම දිනකම උදයේ මේ කාර්යය යහපත් චේතනාවෙන් සිදු කළ යුතුවේ. කලින් දින බඳුනට දැමූ වතුර හා මල් ඉවත් කර නැවත අලුත් පිරිසිදු වතුර හා සුදු මල් දැමීම මඟින් ඔබේ නිවෙසේ ඇස්වහ කටවහ දෝෂ දුරුවී නිවෙසට සිරිතක කැන්දන ශි‍්‍රයා කාන්තා දේවියගේ බැල්ම හා දේවාශීර්වාදය ලැබී සතුට, සැනසුම නීරෝගි සුවය හා සෞභාග්‍යය උදාවෙනු ඇත.

 

පාරම්පරික යන්ත්‍ර මන්ත්‍රවේදී

එච්. විජිත කුමාර සිංදුරගේ

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.