වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
භූතයා නපුරුයි ප්‍රේතයා අහිංසකයි
අප ජීවත් වන්නේ විවිධ විෂම ලෝකයක් තුළ බව නැවත නොකිව්වට ඔබත් මමත් දන්නවා. කී දෙනෙකුගෙන් කී දෙනාද එකිනෙකාට උදව් කරන්නේ. මනුෂ්‍යයා මනුෂ්‍යයාට නිතරම රැවටෙන බව දන්නවද දන්නෙ නැහැ. අපි හැමදෙනාම හිතාගෙන ඉන්නෙ මේ ලෝකේ පහළ වූ දෙයක් ඇත්නම් ඒ අපි සඳහා ම බව. එක්තරා ආගමකත් මෙහෙම කියනව විතරක් නොවේ. ඒක විශ්වාසත් කරනවා. නැවත හැරී බලනකොට ඒ කිසිවක් අපට හිමි නැහැ. “සබ්බේ සත්තා අනිත්‍යා” කියලයි බුදු දහමේ තිබෙන්නේ.
කෙනෙක් තව කෙනකුව රවටන කොට එයා කීපවරක් රැවටුණු බව අවබෝධ වන්නෙ නැහැ. හරියට අපි කෙනකුට එක ඇඟිල්ලක් දිගු කරන විට ඇඟිලි හතරක් අපේම දිශාවට හැරිල තිබෙන බව වැටහෙන්නෙ කීයෙන් කීදෙනාට ද? ඇට මස් නහර වහ ගෙන ඉන්න මේ මිනිස් හමට වහ වැටිච්ච යෞවන යෞවනියෝ එකිනෙකාට බැඳෙන්න කොච්චර දඟලනවද. මේ මිනිස් හමට යටින් ඇති නවදොරින් ගලන ඕජස ගැන දන්නව නම් කිසිත් සටන් නැහැ. හැම දෙනෙක්ම ඒ ඕජස් අපි‍්‍රය කරනවා. ඒ එක් අයෙක් හැර. ඇතිවීම, පැවතීම, නැතිවීම ලබාදුන් විශ්ව ශක්තියට විරුද්ධව නැතිවීම නැත්නම් මරණය නැති කිරීමට හෝ දුරස් කිරීමට නවීන ක්‍රම කොච්චර සොයා ගත්තද? තව තවත් ගන්නවද? ඒ වුණාට මරුවට අවශ්‍ය වේලාවට මේ ඔක්කොම දමල ගහල යන්ට ඕනෑ. බොහොම අයට මේක අමතක වගෙයි වැඩ.
මේ කිසිත් ගාණකටවත් නොගෙන දවසින් දවස මිටි බඳිනවා රැගෙන යන්ට. මරණය දකින බොහෝ දෙන හැමදේම කොට්ට උරවලට එකතු කරන බව පදික වේදිකාවේ සිටින සිඟන අය අපි කොතෙකුත් දකිනවද, මරණාසන්නයේ රෙදි ඇඳගෙන සිටින බොහෝ දෙනා මරණය කිට්ටුවන විට ඒ වස්ත්‍රය සිරස දෙසට අඳිනවා දැක තිබෙනවද? ඒ රැගෙන යන්න එකතු කරනවා. ඒ අඳින හැම විටක් පාසාම බැඳීම ඇතිවනවා. අවසානයේ දී මේ බැඳීම් ආශාව චුති චිත්තයට එකතු වෙලා ප්‍රේතාත්මය ලබනවා.
මේ ප්‍රේතයා වර්ග කීපයකට බෙදනවා. සමහරුන්ට සිත තිබෙනවා කය නැහැ. තවත් කෙනකුට කය තිබෙනවා සිත නැහැ. ඇත්තේ ආසාව තව කෙනකුට නොදෙන ආසාව. ආසාව තිබුණට බඩගිනි එනවා දුන්නට කන්න බැහැ. ඒත් අනුන් කනවට කැමැති නැහැ. නොදී කෑවොත් කෙළ හළලා ලෙඩ කරනවා. කෙනකුට ප්‍රේතාකර්ෂණය වුවොත් ප්‍රශ්න ගොඩක් පැන නඟිනවා.
සමහර විට ප්‍රේත, ප්‍රේතාවියන් ඔබ කොච්චරවත් දැක ඇති. ඒ ගැන ඔබට වැටහීමක් නැහැ. ප්‍රේතයා නපුරු නැහැ. අහිංසකයි. හැබැයි භූතයා නපුරුයි. මනුෂ්‍යයෙකුට ප්‍රේතයා වැහුණොත් මනුෂ්‍යයා වෙනස් වන්නේ නැහැ. එහෙත් කරන කියන අංග ප්‍රේතයා වගෙයි. හැබැයි හැම තිස්සෙම ප්‍රේතාකර්ෂණය නැහැ. ඔබ ප්‍රේතයා ගැන හරියට අවබෝධ කර ගත්තොත් පුදුම වේවි. ලස්සන ප්‍රේත ප්‍රේතාවියොත් නැත්තෙ නැහැ.
දවසක් ආනන්ද හාමුදුරුවො බුදු හාමුදුරුවො සමඟ ජම්බුද්වීපයේ වජිර නදිය අසලින් වඩිනකොට එක්තරා මනුෂ්‍ය දුවක් නිර්වස්ත්‍රව සිට මේ දෙනමම දැක හැංගුණාලු. ආනන්ද හාමුදුරුවොත් එවකට රහත් වී නොසිටි නිසා මේ දෙස බලා බුදුහාමුදුරුවන්ට සැළකලා. එවෙලේ බුදුහාමුදුරුවො අනන්ද හාමුදුරුවන්ට වදාළේ එසේ නම් අතේ ඇති රෙදි කැබැල්ල ඇයට දෙන්ට ඇඳගන්න කියලා. හැමදේම ප්‍රායෝගිකයෙන් උගන්වන බුදුහාමුදුරුවො මෙහෙම කියූ සැණින් ආනන්ද හාමුදුරුවො එසේ කළාලු. නමුත් ඒ ස්ත්‍රිය එය ප්‍රතික්ෂේප කළා ඒ ඇයිද යන්න විමසීලු. එවිට බුදුහාමුදුරුවන්ගේ පිළිතුර වූයේ “ඒ ස්ත්‍රිය ප්‍රේතියක් වස්ත්‍ර අඳින්ට පින් මදි” යන්නයි. ඒ ප්‍රේත - ප්‍රේතිගේ හැටි.
සමහර ප්‍රේත, ප්‍රේතාවියන්ට කෑම දුන්නට කන්ට බැහැ. හැබැයි සියලුම ජාති ප්‍රේත දොළේ තිබෙන්ට ඕනෑ. ඊට පස්සේ ප්‍රේත ඉණාව මතුරල කතා කරපුවාම ඇවිත් සුවඳ බලලා කියන දේ අහල පිටවනවා. යක්ෂයින්ට වෙසමුණි රජ්ජුරුවො අණ දී ඇති ලෙසටම ප්‍රේත - ප්‍රේතාවියෝ සැරියුත් මහරහතන් වහන්සේගේ අණට කීකරුයි. ප්‍රේතයා දක්නට හැකි දෙපිරිසකට පමණයි. එනම් නර ඇදුරෝ හා රහතුන් වහන්සේලාට විතරයි.
සමහර ප්‍රේත - ප්‍රේතාවියෝ මියගිය මළ සිරුරුවල නව දොරින් පිටවන ඕජස්වලට හරි පි‍්‍රයයි. කොටින්ම කිව්වොත් ප්‍රේත - ප්‍රේතාවියෝ ඇතිවන්නෙ පින් මදිකම නිසාමයි.
සමහර විට ඔබේ නිවසේ සමහර දිනකට රාත්‍රියේ ඔබ නිවා දැමූ විදුලි බුබුලු දැල්වේවි. සමහර බැංකුවල පැරැණි ගොඩනැඟිලිවල සේප්පු ඇති. කාමරවල මුදල් ගණිනවා ඇසේවි. ඒ ප්‍රේතයා නොවේ. ඒ භූතයා, භූතයාට නියම හැඩයක් නැහැ. හරියට ඒක සෛලික සත්තු වගේ.
අපිරිසුදු තැන්වල ප්‍රේතයා ගැවසෙන්න හරි කැමැතියි. ප්‍රේතයා නැති ගෙයක් හොයාගන්න හරි අමාරුයි. ඒත් ඌ ඉන්නවා කියලා ඔබට කිසි පාඩුවක් නැහැ. ඒ නිසා ඔබ ගණන් ගන්නෙ නැහැ. සමහර නිවෙස්වල අපිරිසුදුව ජීවත්වන ආච්චි සීයලා ඉන්න කාමරවල මේ අය සැරිසරනවා. මේ අය ඉන්න එකට හොඳම ලක්ෂණය තමයි. එතැනට ආවේනික නොවන ගන්ධයක් හෝ හුමාලයක් එනවා. විශේෂයෙන්ම දහඩිය නොහේදු කමිසයකට වැහි වතුර වැටුණාම එන දුර්ගන්ධ හුමාලයම තමයි එන්නෙ. පෙරේතයා ඕනෑම ගෙදරක ජීවත් වුණාට විශේෂ කාරණා නැහැ. හැබැයි චුති චිත්තය මත ආත්මය ලැබුණ සැටියට තමයි, ඒ භවයේ දිවි ගෙවන්නේ.
කෙනෙක් මැරිලා ප්‍රේත ලෝකේ ඉපදුණේ කුමක් හෝ දෙයක් ලබාගන්න බැරි වූ ආසාවෙන් නම් ඒ ආශාව ඉටු කරගන්න බොහෝසෙයින් පෙරේතයා වැර දරනවා. ඒ දේ කුමක්ද යන්න නොදන්න නිසාමයි ප්‍රේත දොළ දෙනකොට හැම දෙයක්ම ටික ටික හරි තබන්නෙ ගැහැනු කෙනෙක් නම් ස්ත්‍රී ආභරණ පවා තබනවා. පිරිමි නම් සුරුට්ටුවක්, කැවිලි, පලතුරු බතක්, වෑන්ජම් බත් ආදී හැම දෙයම තබන්ට ඕනෑ.
බොහොම තැන්වල හදිසියෙන් බඩු නැතිවනවා. නමුත් කලකට පසු නැවත ලැබෙනවා. ඒ බඩු නැති වනව නොවේ. පෙරේතයා හංගනවා. කලකට පසු එයාටම ඒක අමතක වනවා. ඒකයි සිදුවන්නේ. ඒ ඔක්කොම වන්නෙ අධික අල්ලා ගැනීමේ ආශාව නිසා. මනුෂ්‍යයා වගේම ප්‍රේතයා තුළත් එක එක දේවල්වලට තද ආශාව පවතිනවා. නුදුන්නාම නොලැබුනාම එයා ඉන්න තැනට පාඩු කරනවා. කොච්චරවත් අඳුරු ස්වභාවය ඇති කරනවා. නිතරම එක් පැත්තක් බලා ඉන්නවා. මේවා ප්‍රේතයාගේ ලක්ෂණයයි.
මළ පෙරේතයා මළවුන්ගෙන්ම ඇතිවන ආත්මයක්. දන්න අය දක්ෂ අය මේ ප්‍රේතයන්ගෙන් වැඩ ගන්නවා. ඔබ අහල ඇති කර්–––ණමුංඩය. මේ ප්‍රේතයන්ගෙන් වැඩ ගන්න එක ක්‍රමයක්. හැබැයි මේක නිවැරැදි ක්‍රමයක් තමයි. ප්‍රේතයා බන්දාගෙන වැඩ කරන නිසා වැඩ කරනව තමයි හැබැයි තරහ සහිතව කරන නිසා ඒ කෙනා මරණයට පත්වන්ට කලින් මිනිය කුණුකර ඉක්මනින් සැර ගඳක් ඇති කරනවා. ඒක නිසා ප්‍රේතයන්ගෙන් වැඩ ගන්නෙ බලාගෙනයි.
පාරම්පරික ගුප්ත විද්‍යාධර, ජ්‍යෝතීර්වේදී, මීපේ ගණිතගේ
රන්ජිත් විද්‍යාරත්න