මාර්තු මාසයේ උපන් ඔබ ගැනයි...

අගෝස්තු 4, 2023

 

පසුගිය සතියේ ඕනෑම වර්ෂයක පෙබරවාරි මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලද අතර, අද අපි මාර්තු මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ගැන කතා කරමු.

පෙබරවාරි මාසයේ 19න් පසු 26 දක්වා කුම්භ රාශියේ බලය කෙමෙන් අඩුවන අතර, මීන රාශියේ බලය කෙමෙන් වැඩිවේ. පෙබරවාරි මාසයේ 26 සිට ගුරු ගේ සෘණ බලය මාර්තු 21 දින දක්වා උපරිම බලයෙන් ක්‍රියාත්මක වන අතර, මෙම කාලය ජල තිවංකයට අයිති වේ. තිවංකය ජල වීමත් ගුරු ඍණ වීමත් නිසා මෙම මස උපන් පුද්ගලයන් හොඳින් වර්ධනය වේ. ලස්සන කඩවසම් ආකර්ෂණීය පුද්ගලයන් වේ. ඒ නිසාම ඕනෑම අයකුගේ අවධානයට යොමුවේ. ඉතාමත් සංවේදි වන අතර ආදරය සඳහා ලොකු ගරුත්වයක් ලබා දෙන පුද්ගලයන් වේ. අන් අයට උදව් කිරීමට කැමැති අය වේ. ඒ නිසාම සමාජයෙන් ආදරය, ගෞරවය හිමිවේ. මිතුරු මිතුරියන් සමඟ කාලය ගත කිරීමට කැමතිය. විමෝද ගමන් යන්න සංචාර සඳහා වැඩි කැමැත්තක් ඇති පුද්ගලයන් වේ. අධ්‍යාපනයට ඉතාමත් දක්ෂ පුද්ගලයන් මාර්තුවේ උපදී. ප්‍රතිපත්ති ගරු කරන වැඩිහිටියන්ට ගරු කරන පුද්ගලයන්ය. කාන්තාවන් නම් විලාසිතාවලට වැඩි කැමැත්තක් දක්වයි.

ජීවිතයේ ඉහළ නැගීමේ ආශාව, අරමුණ සහිතව මේ මස පුද්ගලයන් උත්පත්තිය ලබයි. ඒ සඳහා මොවුන් කැපවීම් සිදු කළහොත් අරමුණෙන් සැලකිය හැකි වැඩ කොටසක් ඉටුකර ගත හැකිය. මාසයේ බලය ගුරු සෘණ හෙයින් එහි පූර්ණ බලපෑම සිදුවන්නේ පුද්ගලයාගේ මනසටයි. එම නිසා ඔවුන් තමාට ලැබිය යුතු ලැබීම් සම්බන්ධව කෙතරම් සිහින මැව්වද එම වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීමට අවශ්‍ය ජවය මෙම මස පුද්ගලයන් ගේ දැකිය නොහැකිය. එම නිසා මේ කාරණය සම්බන්ධව මාර්තු මස හිමියන් අවබෝධ කර ගත යුතු අතර, ඔබ කරන කටයුතු සම්බන්ධව සැක හැර ගත යුතුය. ආරම්භ කරන කිසියම් කටයුත්තක් වෙතොත් අවසානය දක්වා හෝ අවසන් වෙනතුරු හෝ සිදුකිරීමට වගබලා ගත යුතුය. මේ ආකාරයට පටන් ගන්නා වැඩ කටයුතු එක දිගට සිදුකිරීමෙන් මාර්තු පුද්ගලයන්ට ලබාගත නොහැකි කිසිම දෙයක් නොමැත.

මාර්තු මස පුද්ගලයන් නායකත්වය බලාපොරොත්තු වන නමුත් එය පිටතට පෙන්නන්නේ නැත. කවුරුන් විසින් හෝ අදාළ බලතල වගකීම් ලබාදුන් විට නිසි ආකාරයට එතැන් සිට සාර්ථකව කටයුතු කරයි. නීතියට නිතැතින්ම ගරු කරන පුද්ගලයන් මාර්තුවේ බිහිවේ. අනිත් පුද්ගලයන්ගෙන්ද එම තත්ත්වය මොවුන් බලාපොරොත්තු වේ. එසේම විශේෂ නියෝගයකදි සම්මුතිය කුමක්දැයි සොයා බලති. මෙහිදි කණ්ඩායම් දෙකක් අපට දැකිය හැකිය. එක් කණ්ඩායමක් නායකත්වය ගන්නා අතර අනුගාමිකයකු නොවී අරමුණු ඉටු කරගනී. අනෙක් පාර්ශ්වය අරමුණක් නැත. අභ්‍යන්තර ආශාවන්ට වහල් වෙයි. කිසිම කටයුත්තක් ගැඹුරින් ගන්නේ නැත. මත්ද්‍රව්‍ය සහ සූදුවට ඇබ්බැහි විය හැකිය. අනුගාමිකයෝ ජීවිතය අසාර්ථක කර ගනී. දුර්වල අයට මිතුරන් වැඩිය ඔවුන් සමඟ වංචාවේ නියළෙයි. සාර්ථක කණ්ඩායම ජීවත්වීම සඳහා අරමුණක් ඉලක්කයක් සහිත පුද්ගලයන් වේ. ඒ අනුව කටයුතු කරන අතර ප්‍රතිඵල ලබා ගනිති.

මොවුන්ට විදේශ වෙළෙදාම, ප්‍රවාහනය වැනි ව්‍යාපාරික අංශ ආර්ථිකමය දියුණුව සඳහා සුදුසුය. මොවුන් උපතේ ඇතිවන ග්‍රහ බලපෑම මත ස්වභාවිකවම යම් යම් දේ වටහා ගැනීමේ අන්තර් ඥානය පවතින හෙයින් සහ ගුප්ත විද්‍යාව මොවුන් ප්‍රියකරන බැවින්ද එම අංශවල කටයුතු ආර්ථිකමය දියුණුව සඳහා උපයෝගි වේ. දැනුම පහසුවෙන් ලබාගත හැකි වීම මේ සඳහා උපයෝගි කර ගත හැකිවේ. මේ පුද්ගලයන් නොපෙන දේ ගවේෂණය කිරීමට කැමති පුද්ගලයන් වේ. එසේම ප්‍රායෝගික සහ දාර්ශනිකය. එම නිසා තවත් ගුප්ත ශාස්ත්‍රයන් සුදුසු බව තහවුරු වේ. මේ පුද්ගලයන් ත්‍යාගශීලි වේ. නමුත් මොවුන් දුප්පත් වේයැයි බියක් ද ඔවුන් සතුවේ.

මේ මාසයේ උපන් අයවලුන් සෞඛ්‍යමය වශයෙන් මානසික ගැටලුවලට බහුලව මුහුණ දෙන පුද්ගලයන් වේ. මේ තත්ත්වය නිසා මොවුන්ගේ කායික සෞඛ්‍ය තත්ත්වයද බිඳ වැටේ. ප්‍රශ්න ගැටලු හමුවේ වුවමනාවට වඩා සිතීම නිසා ඇතිවන්නාවු මානසික අවපීඩනය නිසාවෙන් කායිකව ආහාර ජීර්ණ පද්ධතියේ රෝග තත්ත්වයන් මුලින්ම ඇතිවේ. තවදුරටත් ස්නායු පද්ධතියට සිදුවන බලපෑම හේතු කරගෙන අංශභාගය ඇති විය හැකිය. එමෙන්ම පෙනහලු දුර්වලතා, දියවැඩියාව බඩවැල් ආශ්‍රිත ගෙඩි ආදිය මාර්තුවේ උපන් පුද්ගලයන්ට බහුලව මුහුණ දීමට සිදුවන රෝග වේ.

තමා පිළිබඳව තබා ඇති විශ්වාසය පළුදු කර නොගෙන වගකීම් සහිතව ක්‍රියාකරන හෙයින් විවාහය සාර්ථක කර ගත හැකිය. මේ මස උපන් පුද්ගලයන්ට විවාහ සම්බන්ධතාවය සඳහා සහ හවුල් ව්‍යාපාරවලට සුදුසු වන්නේ පෞද්ගලික අංක ගැළපීමට යටත්ව ජල තිවංකයට අයත් පෙබරවාරි 19 සිට මාර්තු 21 අයවලුන් සහ ඔක්තොම්බර් 21 සිට නොවැම්බර් 21 දක්වාද ජුනි 21 සිට ජූලි 21 දක්වා උපන් අය වේ. තවද සප්තමයෙන් අගෝසතු 21 සිට සැත්තැම්බර් 21 දක්වා අයවලුන් ද සුදුසුය.

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.