ඔබට අසාමාන්‍ය ලෙස දහඩිය දමනවාද?

මාර්තු 18, 2022

 

 නිර්මලාගේ සිරුර දහඩියෙන් පිරිලා. වෙලාව උදේ 6.30 යි. කන්තෝරු කෝච්චියේ නිර්මලාගේ යෙහෙළියන් හිටියෙ පුදුමෙන් වගේ බලාගෙන.

“අනේ මට හරියට දහඩිය දමනවා. අද ටිකක් අමුතුයි. මගෙ හැට්ටෙත් තෙමිලා.” “ඔයා උදෙන්ම කාටහරි බය වුණාද?”

“නෑ අනේ මං කාට බය වෙන්නද? ඊටත් මොකටද?”

“චමින්ද බයික් එකෙන් මාව ස්ටේෂන් එකට ගෙනත් දාලා කෝච්චියට නඟින කල්ම ඉඳලයි ගියේ.”

“අනේ මට සමහර දවස්වල රෑ මැදියමෙත් දාඩිය දානවා. කොහොමත් හැමදාම රෑට පවන් ගහන්න. කාඩ්බෝඩ්කෑල්ලක් අරන් තමයි ඇඳට යන්නෙ. එළිවෙනකල් ෆෑන් දාගෙන නිදාගන්න හොඳ නෑනේ. එහෙම වුණොත් මුළු ඇඟම වේළවනවා.”

“අපොයි ෆෑන් එක දාගෙන නිදාගත්තොත් ඇඟ හොඳටම වේළෙනවා. කෝකටත් ඔයා කායික රෝග වෛද්‍යවරයෙක් මුණගැහිලා බෙහෙතක් ගන්න එක හොඳයි.”

කවදත් දැනමුතුකම්වලට දක්ෂ අනුලා එහෙම කීවා.

ඇත්තටම සමහරුන්ට වැඩිපුර දහඩිය දමන්න හේතු තිබෙනවද? මේ සතියේ අපි ඒ ගැන විමසා බලමු.

ස්වේද ග්‍රන්ථි එක් තැනකට ඒකරාශි වීම

මීට හේතුව සිරුරේ ස්වේද ග්‍රන්ථි පමණට වඩා වැඩි ප්‍රමාණයක් පිහිටා තිබීමයි. එවැනි තත්ත්වයකදී මෙම ස්වේද ග්‍රන්ථී ශරීරය පුරාම විසිරී තිබිය හැකියි. නැතිනම් ශරීරයේ තැනින් තැන පමණක් ඒකරාශි වී තිබෙන්නටත් පුළුවන්.

උපතින් ඇති විය හැකියි. අසාමාන්‍ය ලෙස දහදිය දැමීමේ තත්ත්වය ප්‍රධාන වශයෙන් හේතු දෙකක් නිසා ඇතිවිය හැකියි. යම් පුද්ගලයකුට මේ තත්ත්වය උපතින් ඇති විය හැකියි. සමහරවිට ඊට යම් ජානමය බලපෑමකුත් තිබිය හැකියි. ඊට අමතරව දහදිය හා බැඳුණු වෙනත් රෝග තත්ත්වයන් මෙමඟින් පෙන්නුම් කරනවා විය හැකියි.

රෝග තත්ත්ව නිසා

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශි‍්‍රත හෝ ස්වයංක්‍රීය ස්නායු පද්ධතිය ආශි‍්‍රත රෝගී තත්ත්වයක් නිසාත්, නැතිනම් දියවැඩියාව, පිළිකා තත්ත්වයක් නිසාත් කෙනකුට මෙසේ අසාමාන්‍ය ලෙස දහදිය දැමීමක් සිදුවිය හැකියි. කිසියම් රෝගයක් සඳහා දිගු කාලයක් විවිධ ඖෂධ වර්ග ලබා ගැනීමේදීත් මෙලෙස අධික දහදිය දැමීමක් සිදුවිය හැකි අතර, අධික තේ, කෝපි භාවිතය ද මීට හේතුවක් ලෙස හඳුනාගෙන තිබේ.

හිසට දහඩිය දැමීම

නව යෞවනවියේ පසුවන දරුවන් කෙරෙන් මෙය වැඩිපුර දැකිය හැකියි. කුඩාම වයසේ දරුවන් කෙරෙනුත් මේ තත්ත්වය සමහරවිට දැකිය හැකියි. කුඩා දරුවන් ගැන සඳහන් කිරීමේදි දරුවන්ගේ හිසට දහදිය දැමීම බොහෝ මව්වරුන්ට ප්‍රශ්නයක් වී තිබේ. කුඩාම දරුවන්ගේ හිසට දහදිය දැමීම ඔවුන්ගේ හිසේ වර්ධනයත් සමඟ සිදුවන දෙයක්. ඒ නිසා එයට ප්‍රතිකාරයක් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් පෙර සඳහන් කළ අයුරින් මෙහි වැඩි බලපෑම යොවුන්වියේ අයට ඇති බව හඳුනාගත හැකියි. විශේෂයෙන් පාසල්වියේ සිටින දරුවන් අතර මෙය වඩා සුලබයි.

ඉගෙනීමට බාධා

අසාමාන්‍ය දහදිය දැමීම අසහනකාරි තත්ත්වයක්. විශේෂයෙන් අධ්‍යාපනය ලබන කෙනකුට මෙයින් විශාල අවහිරයක් සිදුවන බව හඳුනාගත හැකියි. ඔවුන්ට කඩදාසිවල අකුරු ලියන්නට අපහසුයි. ඔවුන්ට තීන්ත පෑන් භාවිතා කිරීමට නොහැකියි. විශේෂයෙන් මෙවැනි දරුවන්ට විභාගයකට ලිවීමේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදුවෙනවා. නියමිත කාලය තුළ විභාගයට ලියා අවසන් කළ නොහැකියි. මේ නිසා ඉගෙන ගන්නා වයසේ දරුවන් දැඩි මානසික පීඩනයකටත් මුහුණ දෙනවා.

හමුවීම් අසුන්දර වීම

සමාජයේ ගැවසීමේදී හා එදිනෙදා ජීවිතයේ කාර්යයන්වල නියැළීමේදි පුද්ගලයකුට අසාමාන්‍ය ලෙස දහඩිය දැමීම නිසා බොහෝ අපහසුතාවලට මුහුණදීමට සිදුවිය හැකියි. උදාහරණයක් ලෙස එකිනෙකා අතර සිදුවන හමුවීමකදී මෙවැනි කෙනකුට තවත් පුද්ගලයකුට අතට අතදී කතා කළ නොහැකියි. එයින් ඇතිවන ලැජ්ජාව හා මානසික පීඩනය විශාලයි. මේ තත්වය නිට්ටාවට සුවකළ නොහැකියි. විශේෂයෙන් උපතින් ඇතිවන තත්ත්වයන්. නමුත් විවිධ ප්‍රතිකර්ම මඟින් එය පාලනය කර ගත හැකියි.

විජලනය විය හැකියි

අධිකව දහදිය දැමීම නිසා සමහර විට සිරුර විජලනයට පත්විය හැකියි. එවැනි පුද්ගලයන්ගේ අකල්හි සම රැළි වැටිය හැකියි. අත්වල අසාමාන්‍ය සීතල ගතියක් ඇතිවිය හැකියි. මෙවැනි තත්ත්වයක් නිසා පුද්ගලයකු පහසුවෙන් ආසාදනවලට ගොදුරු විය හැකියි. ඒ නිසා මෙවැනි කෙනකු විශේෂයෙන් තමන්ගේ අත් වගේම දෙපා ඉතාමත් පිරිසිදුව තබා ගැනීම වැදගත්. මෙවන් තත්ත්වයේ පසුවන කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වාම ශරීරයේ පිරිසිදුකම ගැන දැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. වයසට යෑමත් සමඟ ග්‍රන්ථිවල ක්‍රියාකාරිත්වය අඩුවීමෙන් හා සම ගොරෝසු වීමත් සමඟ අසාමාන්‍ය ලෙස දහඩිය දැමීම ක්‍රමයෙන් අඩු වී යා හැකියි.

ප්‍රතිකාර

උපතින්ම මෙලෙස අසාමාන්‍ය ලෙස දහදිය දමන කෙනකුට ඖෂධ ප්‍රතිකාර මෙන්ම, සමහර අවස්ථාවල ශල්‍ය ප්‍රතිකාර ද කළ හැකි අවස්ථා ඇත. නමුත් එවැනි ශල්‍ය ප්‍රතිකාරයන් කළ යුතු ද යන්න වෛද්‍යවරයා තීරණය කරනු ලබන තත්ත්වයක් වේ.

විශේෂයෙන් සිරුරේ යම් යම් ස්ථානවල පමණක් වැඩිපුර දහදිය දැමීම් තිබෙන අයට ගැළපෙන ආලේපනයක් මඟින් මේ තත්ත්වය පාලනය කරගත හැකියි. නැතහොත් තාවකාලිකව යටපත් කළ හැකියි.

කෙසේ වෙතත් මෙලෙස අසාමාන්‍ය දහදිය දැමීමක් සහිත අය වෛද්‍යවරයකු වෙත ඉක්මනින් යොමුවීම ඉතාම වැදගත් . එමඟින් මේ තත්ත්වයට හේතුව වෙනත් යම් රෝග තත්ත්වයක් හේතුවෙන් පැන නැ¼ඟුන එකක් ද යන්න තහවුරු කරගැනීමට එය වැදගත් වන බැවිනි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.