වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
රෝග දුරුවීමටත් රටේ සශ්‍රීකත්වය ඇතිවීම උදෙසාත් පවත්වනු ලබන
පොරපොල් ක්‍රීඩාව
වසන්තයේ මහා සැණකෙළි මාසය වූ බක්මාසය සිංහල හින්දු අලුත් අවුරුද්දට පත්තිනි දේවිය හා සබැඳි ජනක්‍රීඩා කළඑලි බහින මාසයයි. ඉපැරණි චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරමින් පුදපූජා පවත්වා පොරපොල් ක්‍රීඩාවද අරඹනු ලබන්නේ බෝවන රෝගවලින් හා වසංගත රෝගවලින් ජනතාව ආරක්ෂාකර ගැනීමටත් රටේ සශ්‍රීකත්වය ඇතිකර ගැනීම උදෙසාත්ය.
පත්තිනිදේවිය ප්‍රධාන කොට දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව පතා සිදුකරනු ලබන මෙම ජන ක්‍රීඩාවේදී නිසි කලට වැසි ඇතිවි අස්වැන්න සරුවී රට ස්වයංපෝෂිත වී රටට සාමය සෞභාග්‍ය උදාවන ලෙසට ඉල්ලා සිටිති.
පොරපොල් ක්‍රීඩාව හෙවත් පොරපොල් ගැසීම බෝවන රෝග විපත් මුල්කර ගනිමින් සෙත්ශාන්තිය පතා සිදුකරනු ලබන ජාතික ක්‍රීඩාවකි. සශ්‍රීකත්වයට අධිපති දේවගණවූ පත්තිනි දේවිය වෙනුවෙන් පවත්වනු ලබන මෙම ශාන්ති කර්ම ක්‍රීඩාවේදී නියඟය දුර්භික්ෂය ඍතු විපර්යාසය බෝවන රෝග, වසංගත රෝග, ආදියෙන් රට මුදාදෙන ලෙසටත් රටේ ජනතාව ආරක්ෂා කර දෙන ලෙසටත් ඉල්ලමින් පුද පූජා පවත්වති.
පොරපොල් ගැසීම ආරම්භ කිරීමට පෙර ගම්භාර පත්තිනි හාමි හෙවත් අනුමැති රාළ කන්නලව්කර සෝදා පිරිසුදුකරගත් පොල්වලට කහදියර ඉස මතුරා පොල් පේ කර ගනී. එමෙන්ම පොරපොල් ක්‍රීඩාවට සහභාගිවන දෙපලේ ක්‍රීඩකයින්ද ක්‍රීඩාවට එක්වීම ට පෙර ස්නානය කොට පිරිසුදු වී කහ දියර හිස මත හා දෙඅත්වල ද ගා පේ වී සූදානම් වේ. මෙහිදී පත්තිනි රාළ හෙවත් අනුමැති රාළ වශයෙන් ක්‍රියා කරනු ලබන්නේ පොරපොල් ගැසීමේදී නීතිරීති හා උපදෙස් ක්‍රීඩකයින්ට ලබාදෙන තැනැත්තාය.
පොරපොල් ක්‍රීඩාවට තෝර ගනු ලබන්නේ පිරිසුදු ඉඩම් ප්‍රමාණයකි. නැතහොත් ක්‍රීඩා පිටියකි. පස සකස් කර ගොක්කොළ එල්ලා අලංකාර කර ගනිති. එහි දෙකෙළවර එකිනෙකාට මුහුණලා සිටින පරිදි ගොක්කොළ වලින් පහන් පැල් දෙකක් සාදති. ක්‍රීඩාවට බෝ,නුග හෝ නාගස් ආශි‍්‍රත ඉඩමක් තෝරා ගැනීමට බෙහෙවින් උනන්දුවේ. එයට හේතුවී ඇත්තේ එම වෘක්ෂවලට දෙවියන් අරක්ගෙන සිටින බැවිනි. පොර පොල් ගැසීමට පුරාණයේ තෝරා ගනු ලැබවේ තැඹීලි පොල්ය. පසුකලෙකදී තැඹිලි පොල් වෙනුවට පොල්කටුව ඝනකමින් යුතු කුඩා පොල් තෝරාගනු ලැබිණි. පෙර රජ දවස රාජ අනුග්‍රහයෙන් පවා පවත්වනු ලැබූ පොල්කෙළිය අවසානයේදි ක්‍රීඩකයන්ට නින්දගම් පවා ලැබිණ.
එරන් තැඹිලි අරගෙන සුරත ට
වරම් ලැබුණි ගිනි පත්තිනි අප හ ට
සියලු රෝග දුරුවෙයි ගිනි හළඹ ට
බිදු නා උඩ පිළයේ පොල් හනික
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>