තුන්රුවනේ ආනුභාවයෙන් තුන් දොස් දුරු කරමු

ජනවාරි 3, 2025

අලුත් වසරක් උදාවන විට අලුත් හැඟුම් අලුත් බලාපොරොත්තු සමඟ වසර පුරා ආරක්ෂාව මුළු නිවෙසටම සලසා ගැනීමට අපි කවුරුත් යුහුසුළු වන්නෙමු.

ඒ නිසා ඔබ බෞද්ධයකු නම් බුදු පිළිමය ද ඔබ අන්‍යාගමික පිළිම වන්දනා කරන්නකු නම් ඒ පිළිම ද ඔබේ නිවෙසේ ඊශාන හෝ නැඟෙනහිර හෝ උතුරු දිශාවෙන් තබා ගැනීම මෙන්ම පිළිම රහිතව හෝ යම් යම් වතාවත්වල යෙදෙන්නේ නම් ඔබ එම දිශාවන්ට මුහුණ ලා ආගමික වතාවත්වල යෙදීම වාස්තු විද්‍යාත්මකව වඩාත් සුබපලදායක වෙයි.

හේතුව ඊශානයෙන් එන විශාල ශක්ති කදම්භය එවිට ඔබගේ ඉදිරිපසින් වැඩි වශයෙන් ශරීරයට උරාගෙන ඔබගේ ශක්ති ශරීරය වඩා බලවත් කරන බැවිනි. ආගමික කටයුත්තකින් අපේක්ෂිත ගුණ හොඳීන්ම අපට ලැබෙන්නේ එවිටය.

එමෙන්ම ඔබේ නිදන කාමරයේ බුද්ධ ප්‍රතිමා හෝ වෙනත් වන්දනීය ප්‍රතිමා නොතැබිය යුතු අතර බෝඩිමක් වැනි කාමරයක වෙන කළ හැකි දෙයක් නොවන්නේ නම් අවම වශයෙන් නිදන සයනයට මුහුණ ලා ඒ ප්‍රතිමා තැබීමෙන් වැළකීමට වගබලා ගන්න. උදෑසන මෙන්ම සවස ද වන්දනා මාන කිරීම ඉතා යහපත් වෙයි. විශේෂයෙන් බුදු පහන දැල්වීමේදී එයට කිසිදු අමනුෂ්‍ය ඇල්මක් හෝ බැල්මක් ඇති නොවන බැවින් විශේෂ කාලයක් නැතත් හැකි නම් නිශ්චිත වේලාවක පහන දැල්වීම වඩාත් සුදුසුය.

බුදු පහන දැල්වීමේදී තථාගතයන්වහන්සේගේ ශීල, සමාධි, ප්‍රඥා ආලෝකය මෙන්ම ධර්මයෙන් නිර්වාණාවබෝධයෙන් තිලොවම ආලෝකවත් කළාවූ බුදුහිමියන්ට මේ පහන පූජා කරමි පූජාවේවා යන පහන් සිතිවිල්ලෙන් එය දැල්වීම ඔබේ දිවිය ආලෝකවත් වීමට හේතු වනු ඇත.

කාමරය වැනි අනතුරුදායක ස්ථානයක නම් පහන දල්වා තමන් පිටව යන විට නිවා දැමීමෙන් වරදක් නොවේ. ඉන්පසු සුවඳ දුම් පූජා කිරීම සුදුසු වන අතර එය ප්‍රමාණවත්ව පමණක් සිදු කිරීම වඩාත් වැදගත් වෙයි. අනවශ්‍ය තරම් සුවඳ දුමින් පුරවාලීම එතරම් යහපත් නැත. බුදු හිමියන්ගේ ශීලයටත්, ගුණවත්බවටත්, සදහම් සුවඳටත් ඒ සුවඳ දුම් පූජා වේවා යන්න ප්‍රාර්ථනා කළ යුතු වේ.

සිසිල් පැන් පූජාව දවසේ ඕනෑම වේලාවක සිදුකළ හැකිවා සේම දිනකට වරක්වත් සිදු කිරීම අනිවාර්ය වේ.

මල් පූජාවේදී එක මලක් හෝ මල් වට්ටියක් හෝ වේවා පූජා කිරීමෙන් ලැබෙන ගුණ එක බැව් අවබෝධ කරගත යුතුය. අනිත්‍යතාව හොඳීන්ම දර්ශනය වන මල් පූජාවෙන් මේ අනිත්‍ය ලෝකයේ අෂ්ට ලෝක ධර්මයෙන් කම්පා නොවන්නට ද, සිතේ එකඟබව පවත්වා ගැනීමට ද හේතු වාසනා වේවා යනුවෙන් පැතුමන් එක් කළ යුතුය.

මල් පහන් පූජා කිරීම පමණක් නොව මහ පොළොවේ භූ ශක්තිය ලැබෙන පරිදි බිම වාඩි වී ඉතිපිසෝ ආදී ගාථා කියමින් තුන්රුවන් වන්දනා කිරීම වඩාත් ඵලදායකය. එහිදී පද්මාසනයෙන් හෝ වජ්‍රාසනයෙන් පිට කොන්ද කෙළින් පිහිටුවා සිටීම වඩාත් යෝග්‍යය. එසේම ඉතිපිසෝ ගාථාව ශබ්ද නැඟීමේදී ඉතිපි- සෝ යනුවෙන් වචන දෙකක් ලෙස යෙදීමට වගබලාගත යුතුය. නැතහොත් එහි අර්ථයේ වෙනසක් ඇති විය හැකි බැවිනි.

ඒ නවගුණ පාඨය, ඉතිපි – සෝ -භගවා – අරහං – සම්මා සම්බුද්ධෝ – විජ්ජා චරණ සම්පන්නෝ – සුගතෝ – ලෝකවිදු – අනුත්තරෝ පුරිස ධම්ම සාරතී – සත්ථා දේව මනුස්සානං – බුද්ධෝ – භගවාතී යනුවෙන් වෙසෙසින් බුදුගුණවල අර්ථය දැන සජ්ඣායනා කිරීම අවශ්‍ය වන අතර කියන්නන් වාලේ කීමෙන් එහි නියම ගුණ ලබා ගැනීමට සිත එකඟ කරගත නොහැකි වනු ඇත.

ඉතිපි-සෝ ගාථාව දිව මතුරක් බඳු වූවකි. පිරිසුදු රන් තැඹිලි තෙල්වලට නිවැරැදි ලෙස මේ ගාථාව එක්දහස් අටවරක් (1008) මතුරා එම තෙල් සුරයක පැලඳීමෙන් මෙන්ම හිස ගැල්වීමෙන් සියලු ග්‍රහ අපල, අමනුෂ්‍ය දෝෂ පහව ගොස් පියකරු පුද්ගලයකු බවට පත්වන අතර දියුණුව උදාවන බව පැවසේ.

මෙලෙස ස්වක්ඛාතෝ භගවතා, සුපටිපන්නෝ භගවතෝ යන ගාථාද්වයෙන් ද තුන්රුවන් වැඳ චෛත්‍ය වන්දනාව, බෝධි වන්දනාව ද කළ යුතුය. ඉන් පසු තුන්සූත්‍රය සජ්ඣායනා කිරීම ඉතා වැදගත්ය. ඇතැමුන් නිවෙසේ තුන්සූත්‍රය දේශනා කිරීමට බිය වුවද එයින් ලැබෙන ප්‍රතිඵල ඉමහත්ය.

කරණීය මෙත්ත සූත්‍රය දෙවියන්ගේ ආකර්ෂණයටත් ආශීර්වාදයටත් හේතු වෙයි. එමෙන්ම අමනුෂ්‍යයන්ගෙන් රැකවරණය ද ලැබෙයි. රතන සූත්‍රයෙන් රෝග දුරුවීම, ආර්ථිකය සවිමත් වීම, ආහාරපාන සුලභ වීම, අමනුෂ්‍ය බලපෑම් ඉවත් වීම සිදු වේ. මහා මංගල සූත්‍රයෙන් තම ජීවිතවලට ආරක්ෂාව, යහපත සැලසේ.

මීට අමතරව දස දිසා පිරිත නිතර සජ්ඣායනයෙන් අමනුෂ්‍ය දෝෂාදිය වැළකී දේවාරක්ෂාව සැලසේ. එමෙන්ම බ්‍රහ්ම මන්ත්‍රය ලෙස හැඳීන්වෙන මෝර පිරිත සජ්ඣායනයෙන් රෝගපීඩා, සතුරු කරදර තුනී වී යයි. මෝර පිරිතේ විශේෂත්වය වන්නේ පූර්වාන්තය උදේ වරුවටත් අපරාන්තය නින්දට පෙරත් සජ්ඣායනා කළ යුතු වීමය. දවස පුරා ඔබේ ආරක්ෂාව සැලසෙන්නේ ඒ කොටස් නිවැරැදිව භාවිත කිරීමෙනි.

තවද වට්ටක පිරිත නිතර භාවිතයෙන් සිරුරේ ඇති දෝෂ ඉවත් වන අතර සම පැහැපත් වීම ලප කැලැල් ඉවත්වීම වැනි දේ පවා සිදුවන බව පිළිගැනීමයි. වට්ටක පිරිතෙන් තුන්සිය විසිපස් වතාවක් පිරිත් කළ ජලය පානය කිරීමෙන් ශරීරය වර්ණවත් වන බව පැවසේ. එසේම ස්කන්ධ පිරිත භාවිතයෙන් ද නිවෙස්වල ඇති අනේක දෝෂ ඉවත් වී සිතටත් ගතටත් සහනය උදා වේ.

වැදගත්ම කරුණ වන්නේ මේ සියලු පිරිත් තමන් විසින් සජ්ඣායනා කළ යුතු අතර පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ ඇති පිරිත් පටිගත කිරීම් වාදනයෙන් එම ගුණ නිසි ලෙස නොලැබීමයි. මෙසේ කිරීමෙන් පසුවද ඔබට ඇස්වහ, කටවහ හෝවහ දෝෂ පිළිබඳ යම් සැකයක් පවතී නම් ඇස්වහ දුරු කරන ඖෂධ පැකට්ටුවක් ද සමඟ ගෙදර බෝතලයෙන් අබ මිටක් , ගම්මිරිස් ඇට 10ක්, ලුණු කැට 10 ක් ‍හෝ ලුණු කුඩු තේ හැඳී 4ක්, වියළි මිරිස් කරල් කීපයක් පිරිසිදු බඳුනක දමාගන්න. ඒ සමඟ 9 වරක් පෙරාගත් වතුර මැටි කළයකට දමා එයත් මේ සමඟ පූජාසනයක හෝ බුදුන් වඳීන ස්ථානයේ තබා මල්පහන් සුවඳ දුම් පූජා කර තුන්සූත්‍රය සජ්ඣායනය කර මේ කළමනා අතට රැගෙන “සුපටිපන්නෝ භගවතෝ” යන ගාථාවෙන් 108 වර පිරිත් කර ගන්න. ඉන්පසුව හිල් ‍පොල්කටු 3ක් අඟුරු කරගෙන - පිරිත්කර ගත් කළමනා අතට ගෙන එයට නියපොතු කෑල්ලක්, කෙස්ගහක්, ඇඟ රෝම, ඇඳීවත නූල් කෑල්ලක් දමා හිසවටා දකුණු පසට 7 වරක් කරකවා මාගේ (නැත්නම් ගෙදර ඔබේ ඥාතියාගේ නම පවසා) සියලු ඇස්වහ, කටවහ, හෝවහ දෝෂ අනන්ත බුදුගුණ බලයෙන් භංග වේවා, දුරු වේවා යනුවෙන් ප්‍රාර්ථනා කර අඟුරු කබලට ඒ අබ ආදිය දමන්න. විනාඩි දෙකතුනක් ගිය පසුව නිවසින් පිටතට ගෙන, නිවුණු පසු ගලා යන දිය පහරකට හෝ තුන්මංසලකට දමන්න. අවුරුද්ද මුල් සතියේ සෙනසුරාදා දින මේ කටයුතු සඳහා ඉතාමත් යහපත්ය. මාසයකට වරක්වත් මෙලෙස කිරීමෙන් වසර පුරාම ඔබ මේ අයහපත් දේවලින් ආරක්ෂා වනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.