කලාකාමී මීන ලග්න හිමියෝ

නොවැම්බර් 1, 2024

දෛවය හරි පුදුමයි. බොහෝ වෙලාවට ජීවිතයේ වාසනාව හා අවාසනාව තීරණය කරන්නේ අප විසින්ම රැගෙන එන අපේ දෛවයයි. යම් යම් අවස්ථාවල අප සියලු දෙනා මුහුණ දෙන අත්දැකීම් අපේ දෛවයත් එක්ක බැඳීලා තියෙනවා. ඒ අතර දෛවය තීරණය කරන එක් සාධකයක් ලග්න. අද තරු ගැන කියන තරු තුළින් කතා කරන්නේ රාශි චක්‍රයේ අවසන් රාශිය වන මීන ලග්න හිමි ඔබ ගැනයි.

බාල කාලයේ වඩාත් කඩිසරයි. එහෙත් වයසින් වැඩෙත්ම මදක් උදාසීන, සබකෝල ගති පෙන්නුම් කරන මීන ලග්නයෙන් උපන් අය කරුණාව, දයාව, අනුකම්පාව ආදී උසස් ගුණ ධර්මවලින් පූර්ණයි. එමෙන්ම සාධාරණ යුක්තිය අගය කරන අය වනවා. නිතරම උණුවන හිතක් ඇති මොවුන් අන්‍යයන්ගේ අදහස්වලට ගරු කරනවා. සමාව දීම මීන ලග්න හිමියන්ගේ තවත් විශේෂ ලක්ෂණයක්. එමෙන්ම මේ අය කුමන රැකියාවක යෙදුණත් එය ඉතා ඕනෑකමින් වගකීමෙන් ඉටු කිරීමට දක්ෂ අය වනවා. බොහෝ විට චිත්‍ර, සංගීතය, රඟපෑම වැනි සෞන්දර්යාත්මක කටයුතුවලට වඩාත් ප්‍රිය කරන අය වනවා. ඔවුන්ට කලා, අධ්‍යාපන ආයතන, බැංකු කටයුතු ආදී ජනතාව සමඟ නිතර ගැටෙන රැකියා වඩාත් සුබ වනවා.

ශ්‍රී ලංකාවේ හිටපු අටවැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මීන ලග්නයෙන් උපන්නෙක්. ඊට පෙර කිහිපවරක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අගමැතිවරයා ලෙස කටයුතු කළ එතුමා එක්සත් ජාතික පක්ෂයේ පරිණතම දේශපාලඥයා ද වනවා. ඔහුගේ දේශපාලන දිවියේ යම් යම් සුවිශේෂි අවස්ථා ගැන ඡ්‍යොතිෂවේදීන් හෙළි කර තිබෙනවා. ඔහුට ද දේශපාලන දිවියේ බොහෝ කඩයිම් සාර්ථක කර ගන්නට ලග්න වාසනාව බලපෑ බව නොරහසක්.

අනාවැකි, ඇදහිලි හා ඡ්‍යොතිෂය බෙහෙවින් අගය කරන ඉන්දීය සිනමා තරු රැසක්ම මීන ලග්නයෙන් ජන්මය ලබා තිබෙනවා. 90 දශකයේ සිට තරුණ තරුණියන්ගේ හදවත් දිනාගත් ප්‍රියමනාප නළුවකු වන අමිර් ඛාන් 1965 මාර්තු මස 14 වැනි දින ජන්මය ලබන්නේ මීන ලග්නයෙන්. කැපී පෙනෙන සිනමා තරුවක් වන අමීර් ඛාන්ට සිය වෘත්තීය ජීවිතයේ ඉදිරියටම යන්නට තමා උපන් මීන ලග්නයේ ආලෝකය ලැබී ඇති බව නොරහසක්. අමීර් ඛාන් ඉන්දීය සිනමාවේ ඛාන් ත්‍රිත්වයෙන් එක් ශිල්පියකු වශයෙන් ලෝක ප්‍රකට සිනමා පට රැසකට දායක වෙමින් තමා තෝරා ගන්නා වෘත්තියේ ඉදිරියටම ගිය කලා ශිල්පියෙක්.

අප කවුරුත් දන්නා ඉන්දියානු නිළියක වන ආලියා භාත් 1993 මාර්තු මස 15 වැනිදා උත්පත්තිය ලබන්නේ මීන රාශියෙන්. ඉන්දියාවේ වැඩිම වැටුප් ලබන නිළියක වන ඇය කුඩා කාලයේ පටන්ම මීන ලග්න හිමියෙකුට ආවේණික වූ ලක්ෂණවලින් හෙබි වුණා. ඇගේ ජන්ම පත්‍ර පරීක්ෂා කළ බොහෝ ඡ්‍යොතිෂවේදීන් පවසන්නේ, ඇය පළපුරුදු රංගන ශිල්පිනියක ලෙස නමක් දිනාගන්නා බවයි. රන්බීර් කපූර් ඇගේ ආදරණීය සැමියායි. ස්ටුඩන්ට් ඔප් දි ඉයර්, හයිවේ ඇගේ ජනප්‍රිය චිත්‍රපට අතර වෙනවා.

හොලිවුඩයේ බොහෝ දෙනා ආදරය කරන ආකර්ෂණීය නිළියක් ශ්‍රද්ධා කපූර් කියන්නේ. ඇය1987 මාර්තු මස 3 වැනිදා මීන ලග්නයෙන් ජන්මය ලබනවා. ජනකාන්ත නළු ශක්ති කපූර්ගේ ආදරණීය දියණිය වූ ශ්‍රද්ධාගේ ජන්ම පත්‍රය ඉතාම බලවත් එකක් බවයි ජ්‍යෝතිෂවේදීන් පවසන්නේ. කුඩා කල සිටම මීන ලග්න හිමියෙකුට ආවේණික වූ අන්‍යයන්ගේ හිත් රිදවන්නට මැළි, අනුන්ට ගරු කරන ශ්‍රද්ධා තමා තෝරාගත් ක්ෂේත්‍රයේ ඉදිරියටම යන බවටයි බොහෝ දෙනා පවසන්නේ. රසික රසිකාවන්ගේ නොමඳ ආකර්ෂණයට පත් ආශිකී2, ඒක් විලන්, බාගී ඇගේ ජනප්‍රිය චිත්‍රපටවලින් කිහිපයක්.

වර්තමානයේ බොලිවුඩ් සිනමාව හැඩ කරන තවත් සුන්දර රංගන ශිල්පිනියක් ජාන්වි කපූර් කියන්නේත්. ඇය ජන්මය ලබන්නෙත් ස්ත්‍රී රාශියක් වූ මීන ලග්නයෙන්. ඒ 1997 මාර්තු මස 6 වැනිදා . ජනප්‍රිය නිළි ශ්‍රී දේවි සහ චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර් ඇගේ ආදරණීය මාපියන් වනවා. මීන ලග්නයෙන් උපන් ඇය එම ලග්න හිමිකාරිනියක සතු ඕනෑම දෙයක් වගකීමෙන් ඉටු කිරීමේ ලක්ෂණ ප්‍රකට කරනවා. ඇයට තම රංගන ජීවිතයේ බලාපොරොත්තු මුදුන් පමුණුවා ගැනීමට උත්පත්ති කාරක මීන ලග්නයේ ආලෝකය ලැබූ බව නිසැකයි.

දක්ෂ කඩවසම් නළු ටයිගර් ෂෙරොෆ් 1990 මාර්තු මස 2 වැනිදා මීන ලග්නයෙන් ජන්මය ලැබූවෙක්. ටයිගර් සුප්‍රසිද්ධ නළු ජැකී ෂෙරොෆ්ගේ ආදරණීය පුතුණුවන් වනවා. ටයිගර්ගේ සිනමා රංගන අතර හීරෝ පාට්ටි, භාගී ආදිය වෙනවා. සටන් කලාව හොඳින් ප්‍රගුණ කළ ශිල්පියකු විදිහටයි ටයිගර් හැඳීන්වෙන්නේ.ඔහුගේ ජීවිතයේ සාර්ථකත්වයට මීන ලග්නය ඉවහල් වූ බවටයි ඡ්‍යොතිෂවේදීන් විශ්වාස කරන්නේ.

මීන ලග්න හිමියන් උපතින්ම කලාවට උපන් හපන් ඇත්තන් වෙනවා. ඊට තවත් කදිම නිදර්ශනයක් රොබින් රිහානා ෆැන්ටි. ඇයත් 1988 පෙබරවාරි මස 28 බැනිදා ජන්මය ලබන්නේ මීන ලග්නයෙන්. 21 වැනි සියවසේ ඉතා ජනප්‍රිය සංගීත ශිල්පිනියක වන ඇය ගායිකාවක,ව්‍යාපාරික කාන්තාවක මෙන්ම නිළියකද වෙනවා.ජීවිතයේ ජයග්‍රාහි ලෙස ඉදිරියට යෑමට ඇයටත් මීන ලග්නයේ ආලෝකය ලැබී ඇති බව නොරහසක්.

මෙරට ගීත රචනා ක්ෂේත්‍රයේ නොමැකෙන නමක් රැන්දූ සමන් චන්ද්‍රනාත් වීරසිංහ ද උත්පත්තිය ලැබුවේ මීන ලග්නයෙන්. ඒ 1947 ජූලි 5 වැනිදා පානදුර ගොරකානේදී. මෙරට ගායක ගායිකා පරම්පරා රැසකට ගැළපෙන පරිදි මෙන්ම පෙර සැකසූ තනුවලට ගීපද රචනයේදී ඔහු දැක්වූ දස්කම් ඉතා සුවිශේෂී වනවා. සඳ මඬලේ සිට, වාදකයාණෙනි ඔබේ සිතාරය, සමකෝනී ත්‍රිකෝණයකි වැනි විශේෂ ගණයේ ගීපද රචනා මෙන්ම සිනමා ගීත රැසක් නිර්මාණයට ඔහු උපන් මීන රාශියේ සෞන්දර්යාත්මක ගුණය බලපෑ බවයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ.

ඒ වගේම මෙරට ජනප්‍රිය ගීත රචකයකු වන සුනිල් ආර්. ගමගේ ද උත්පත්තිය ලබන්නේ 1952 පෙබරවාරි 7 දි මීන ලග්නයෙන්. කවිය ඔබ, පුර පෝය හඳට, ඔබ පෙම් කරනා ඔබේ කුමාරී වැනි ජනප්‍රිය ගීත රැසක් ඔහු අතින් රචනා වන්නේ මීන ලග්නයේ ඇති කලාත්මක හැකියාව ඔහු උපතේදීම හිමිකරගෙන ඇති නිසා බවයි පැවසෙන්නේ.

සංගීතය කියන්නේ අපි කවුරුත් ආදරේ කරන දෙයක්. එනිසා බොහෝ දෙනාගේ මනස සුවපත් කරන්නට සංගීතයට හැකියාව තිබෙනවා. මෙරට ගායන ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් වන ආචාර්ය නන්දා මාලිනිය උත්පත්තිය ලබන්නේ 1943 අගෝස්තු මස 23වැනිදා .ඒ මීන ලග්නයෙන්. ශ්‍රී ලාංකේය රසික ප්‍රජාවගේ නොමඳ ගෞරවයට පාත්‍ර වූ සුවිශේෂී චරිතයක් වන නන්දා මාලනියගේ වෘත්තීය ජීවිතයේ බොහෝ සාර්ථකත්වයන් අත්පත් කරගන්නට මීන ලග්නයේ ගතිගුණ ඉවහල් වූ බව නිසැක කරුණක්.

ඔබත් මීන ලග්න හිමියකු නම් ඔබේ ලග්නයේ බලවත්කම් හඳුනා ගෙන උත්සාහයෙන්, කැපවීමෙන් කටයුතු කළොත් ජීවිත ගමන සාර්ථක කර ගත් ප්‍රකට පුද්ගලයකු වන්නට ඔබටත් පුළුවන්.

(ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.