ඔබට දරුඵල කීයක් තිබේද?

ජුනි 30, 2023

“පුතා බැඳල දැන් අවුරුදු පහකුත් වෙලා, තාම දරුවන් නැහැ”යි චෝදනා කරන සමහර නැන්දම්මලා උත්සාහ කරන්නේ, එය ලේලියගේ වරදක් ලෙස පෙන්වන්නටයි. “ඉතින් කේන්දරේවත් බැලුවේ නැද්ද”යයි ඇයට පිළිතුරු දෙන අය කියයි. “කේන්දරේ බලල නේන්නම් බැන්ඳේ” යන පිළිතුර අපට තවත් වැදගත් දෙයක් සිහි කරයි. එනම්, විවාහ පොරොන්දම් බැලීමේදී, දරුඵලද බැලිය යුතු බවයි. විසි පොරොන්දම්වලින් දරුඵල ගැන පරීක්‍ෂා කරන්නේ වෘක්‍ෂ පොරොන්දමයි. වෘක්‍ෂ පොරොන්දම නොගැළපුණත්, අනෙක් ඒවා ගැලපුණහොත්, එය පොරොන්දම් පරීක්‍ෂාවට බාධාවක් ලෙස සලකන්නේ නැත. කෙසේ වුවද පොරොන්දම් ගැළපීම තහවුරු කිරීමට පෙර දෙදෙනාගේම ජන්ම පත්‍රවල දරුඵල ගැන වෙන් වෙන්ව පරීක්‍ෂා කිරීම අවශ්‍ය වෙයි.

ජන්ම පත්‍රයක 5 වැනි භාවය මඟින් දරුඵල පිළිබඳව හඳුනාගත හැකි වෙයි. ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය අනුව, ජන්ම පත්‍රයක හෝ තත්කාල කේන්‍ද්‍රයක, 5 වැනි භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා දරුපල පිළිබඳව නිගමනය කරයි. 5 වැනි භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා 5 වැනි හෝ 11 වැනි හෝ 2 වැනි භාව නිවේදක ග්‍රහයකු වෙයි නම්, ජන්මියා දරුපල ලබා ගැනීමේ වාසනාව ලබයි. 5 වැනි, 11 වැනි සහ 2 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ දශා අතුරු දශාකාලවලදී, ගෝචර ගමන සමඟ එකඟ වන විට දරු උපත් සිදුවෙයි.

මෙම ජන්ම පත්‍රයේ 5 වැනි භාවය, සිකුරු හිමි වෘෂභ රාශියේ කුජ නක්‍ෂත්‍රයේ සහ රාහු හිමි උපස්ථානයේ යෙදී ඇත. උපස්ථානය අධිපති රාහු ග්‍රහයා 5 වැනි භාවයේ තැන්පත්ව සිටියි. එහෙයින් 5 වැනි භාවයට බලවත් නිවේදකයකු වෙයි. ඒ නිසා ජන්මියා දරුවන් ලැබීමේ වාසනාව ලබා ඇත. දරුවන් ලැබීමේ වාසනාව ලබා ඇතැයි පැවසූ විට, දරුවන් කීදෙනෙකුදැයි යන පැනය මතුවෙයි.

5 වැනි භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා හෝ එම ග්‍රහයා තැන්පත්ව සිටි නක්‍ෂත්‍රය අධිපති ග්‍රහයා උභය රාශිවලට සම්බන්‍ධ වන්නේ නම්, දරුවන් කීපදෙනෙකු ලැබෙයි.

මේ ජන්ම පත්‍රයේ 5 වැනි භාවයේ නිවේදක ග්‍රහයන් වන්නේ සිකුරු, කේතු, රාහු, කුජ සහ ගුරු වෙති. 11 වැනි භාවයේ නිවේදක ග්‍රහයන් වන්නේ කුජ, ශනි, කේතු සහ බුධ වෙති.

2 වැනි භාවයේ නිවේදක ග්‍රහයා වන්නේ ශනි පමණක් වෙයි.

මෙම ජන්මියාගේ පළමුවන දරු උපත සිදුවී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 2008 අප්‍රේල් මාසයේ 18 වැනි දිනදීය. එදින ජන්මියා ශනිගේ මහ දශාවේ රවිගේ භුක්තිය සහ බුධගේ අන්තරය ගත කරමින් සිටියාය. මහ දශාව අධිපති ශනි ග්‍රහයා ජන්ම පත්‍රයේ කුජගේ නක්‍ෂත්‍රයක සහ උපස්ථානයක තැන්පත්ව සිටියි. කුජ ග්‍රහයා ජන්ම පත්‍රයේ 5 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයකු විය.

භුක්තිය අධිපති රවි ග්‍රහයා ජන්ම පත්‍රයේ බුධගේ නක්‍ෂත්‍රයක සහ සිකුරුගේ උපස්ථානයක තැන්පත්ව සිටියි. බුධ ග්‍රහයා ජන්ම පත්‍රයේ 7 වැනි සහ 11 වැනි භාවනිවේදක ග්‍රහයකු විය. උපස්ථානය අධිපති සිකුරු ග්‍රහයා 11 වැනි භාව නිවේදක ග්‍රහයකු විය.

අන්තරය අධිපති බුධ ග්‍රහයා ජන්ම පත්‍රයේ කේතුගේ නක්‍ෂත්‍රයක සහ සඳුගේ උපස්ථානයක තැන්පත්ව සිටියි. කේතු ග්‍රහයා ජන්ම පත්‍රයේ 5 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයෙකු විය. උපස්ථානය අධිපති සඳු ග්‍රහයා 7 වැනි භාව නිවේදක ග්‍රහයෙකු විය. මෙම ජන්මියාගේ පළමුවන දරු උපත සිදුවී ඇති දින පැවති ග්‍රහ ගෝචරය මෙසේය.

මහ දශාව අධිපති ශනි ග්‍රහයා ගෝචර ගමනින් රවි හිමි සිංහ රාශියේ කේතුගේ නක්‍ෂත්‍රයක සහ ගුරුගේ උපස්ථානයක සිටියේය.

භුක්තිය අධිපති රවි ග්‍රහයා ගෝචර ගමනින් කුජ හිමි මේෂ රාශියේ කේතුගේ නක්‍ෂත්‍රයක සහ සඳුගේ උපස්ථානයක සිටියේය.

අන්තරය අධිපති බුධ ග්‍රහයා ගෝචර ගමනින් කුජ හිමි මේෂ රාශියේ කේතුගේ නක්‍ෂත්‍රයක සහ රාහුගේ උපස්ථානයක සිටියේය.

දීප්ත සඳු ග්‍රහයා ගෝචර ගමනින් බුධ හිමි කන්‍යා රාශියේ රවිගේ නක්‍ෂත්‍රයක සහ සිකුරුගේ උපස්ථානයක සිටියේය.

මේ සියලුම ගෝචර ගමන් මුල් දරු උපත තහවුරු කරයි. මේ ආකාරයට ඊළඟ දරු උපත් ගැනද අධ්‍යයනය කළ හැකිවෙයි.

 

ඡ්‍යොතිර්වේදී

ජී. එච්. ඩබ්. සිල්වා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.