කුම්භ ලග්නය

ජූලි 19, 2024

ස්ථිර රාශියක් වන කුම්භයේ වායු භූත ගුණය ගැබ්වී ඇත. කාරුණික පෙනුමෙන් යුක්ත මධ්‍යම ප්‍රමාණයේ ශරීරය වන අතර පි‍්‍රය මනාප මුහුණ වේ.

මිනිසත්කම්වලින් හෙබි ඥානවන්ත සමාජවාදී අදහස් දරන කාටත් එකසේ සලකන යුක්ති ගරුක කෙනෙකු වේ. ගැඹුරු දේ ඉගෙනීමට දේශපාලනයට දක්ෂය. නොයෙක් ශාස්ත්‍ර ධර්ම ඉගෙනීමටද හැකියාව ඇත. හොඳ උගත් බුද්ධිමත් මිත්‍ර පිරිසක් ආශ්‍රයට ලැබේ. හොඳ ධාරණ ශක්තියක්ද ඇත. ඉවසීම හිතේ එකඟකම පවතී. පොදුජනතාවගේ දුර්වල අයගේ යහපත පිණිස වැඩ කරන අවංක සමාජ සේවකයෙක් වේ. අභ්‍යන්තරයේද ඉතා පිරිසුදු අදහස් සිතුවිලි ඇත. තමාගේ පිරිසට ඇල්මක් දක්වන අවසාන අවස්ථාවේ හෝ ජයග්‍රහණය ලබන ධාර්මික ගතිගුණවලින් හෙබි අය වෙති. දුක් විඳින අය වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කරන සෘජු අදහස් ඇති කෙලින් වැඩ කරන ශ්‍රේෂ්ඨ අය කුම්භ ලග්නයේ උපදිති.

කුම්භ රාශියෙන් දෙවැනි රාශිය වන්නේ මීන රාශියයි. එය ගුරුට හෙවත් බ්‍රහස්පතිට අයත් වේ. සිකුරුගේ උච්ච රාශියයි. ධනවත්වීමේ ආශාව පවතින නමුදු ආත්මාර්ථකාමී අදහස් නැත. එනිසා ධනය රැස් කිරීමට අපහසුය. නිරර්ථක බොරු වැඩවලට කැමැති නැත. උත්සාහ කළොත් ධනවත් වීමටද හැකිය. සූදු ක්‍රීඩා වැනි දේ සුදුසු නැත. සොර සතුරු කරදරවලට පවා මුහුණපාන්නට සිදුවූවත් උත්සාහවත් දක්ෂ අයෙකි. යුක්තිගරුක අවංක කෙනෙක් නිසා සෑම දෙයක්ම සාධාරණව කරයි. ආදායම සම්බන්ධව රහස් සතුරන්ගෙන් ද්‍රෝහිකම් ඇතිවේ. ආදායම් ලබන මාර්ග කීපයක් ඇතිවේ. අන්‍යයන් යටතේ වැඩ කිරීම අපහසුය.

කුම්භ රාශිගෙන් තුන්වැනි රාශිය මේෂ රාශියයි. එය කුජට හෙවත් අඟහරුට අයත්වේ. රවිගේ උච්ච රාශියයි. ධෛර්යවත් ශක්තිමත් හිතක් පවතී. අවබෝධය ඉවසීම දුර දක්නා නුවණ අන්‍යයන්ට වඩා ඇත. සාහිත්‍ය කලා කටයුතුවලද දක්ෂකමක් ඇත. සමාජ සේවය හෝ රැකියා නිසා ඇවිදිලි අධික වේ. ඇවිදිලිවලට ඉතා පි‍්‍රය වේ. ගමන් බිමන්වලදී අනතුරුද ඇතිවිය හැකිය. ගුවන් විදුලිය, මෝටර් රථ යන්ත්‍ර සූත්‍ර සම්බන්ධ සහ ඡ්‍යොතිෂය පිළිබඳවද දැනුම ඇත. අන්‍යයන්ගේ මතයට ලෙහෙසියන් නොනැමෙන නිසා හිතුවක්කාරයකු ලෙස අනන්‍යයන්ට පෙනේ. හැම දෙයක් ගැනම නිරවුල් අවබෝධයක් ඇත. අධිෂ්ඨාන ශක්තිය ඉතාම බලවත්ය. අරඹන හැම වැඩක්ම අවසානය දක්වාම සාර්ථකව කරගෙන යයි. වැඩ කටයුතුවලට ඥාතීන්ගෙන් බාධා පැමිණේ. සහෝදර සහෝදරියන් ගණන අඩු විය හැකිය. දියුණුවට පිරිහීමට සහෝදර සහෝදරියන් මුල් වේ.

කුම්භ ලග්නයෙන් හතරවැනි රාශිය වන්නේ වෘෂභ රාශියයි. එය සිකුරුට අයත් වේ. සඳුගේ උච්ච රාශියයි. යාන වාහන ගෙවල් දොරවල් ඉඩකඩම් හිමිවීමේ වාසනාව ඇත. ජීවිත අයිතිවාසිකම් ඇති සැප පහසුව ලබන පී‍්‍රතිදායක ජීවිතයක් ගත කිරීමට ලැබේ. තම අදහස්වලට ගැළපෙන හොඳ අදහස් ඇති අයගේ ආශ්‍රය සහ මිත්‍ර සම්බන්ධකම් ඇතිවේ.

කුම්භ රාශියෙන් උපන්විට පස්වැනි ස්ථානය වන්නේ මිථුන රාශියයි. එය බුධට අයත් වේ. කය වෙහෙසීමක් සිදු නොවේ. හිත වෙහෙසා වැඩ කිරීමට සිදුවේ. ව්‍යාපාර කටයුතුවලට මුදල් යෙදීමෙන් ලාබ ලැබේ. දරුවන් අඩුය. වැඩිමල් ළමයා හිතුවක්කාර අයකු වේ. අනතුරුවලට භාජනය විය හැකි කෙනෙකි. දරුවන් ඉගෙනීමට දක්ෂය. අන්‍යයන් ලබන ලැබීම් දරුවන්ට හිමිවේ. ඒ අය වාසනාවන්තය.

කුම්භ රාශියෙන් හයවැනි රාශිය කටක රාශියයි. එය සඳුට අයත් වේ. ගුරුගේ උච්ච රාශියයි. ජලය අගුණ දායක වේ. නෑම වුවත් නියමිත වේලාවට කළ යුතුය. කෑම බීම හේතුකොට ගෙනද රෝග සෑදේ. උදරාබාධ සමේ රෝග වන දද, කුෂ්ඨ ආදිය හට ගැනීමට හේතුවේ. ශරීරයේ කොටස්වල දුර්වලකම් ඇති නොවේ. ස්ථාන මාරුවීම් දේශගුණය වෙනස්වීම හේතුවෙන්ද රෝග පීඩා සෑදේ. පිරිසුදු වාතාශ්‍රය යහපත් පරිසරය ඇසුරින් රෝග වළක්වා ගත හැකිය. රෝග පීඩා ඇති වූ වහාම ප්‍රතිකාර ගැනීම කළයුතුය. සෞඛ්‍ය ආරක්ෂාවට මෙන්ම දීර්ඝායුෂ විඳීමටද එය ඉවහල් වේ.

කුම්භ රාශියෙන් හත්වැනි රාශිය සිංහ රාශියයි. එය රවිට හෙවත් ඉරුට අයත් වේ. මේ නිසා උසස් විවාහයක් සිදුවේ. විවාහය තරමක් ප්‍රමාද විය හැකිය. නමුත් උසස් ගුණගරුක දුර දක්නා නුවණක් ඇති සදාචාරය ගරුකරන කෙනෙක් විවාහයට ලැබේ. විවාහයෙන් පසු තත්ත්වය උසස් වේ. සංගීතය කලා ශිල්ප ගැන නැඹුරුතාවයක් දක්වන ඒ ගැන ආශාවක් ඇති කෙනෙක් විවාහ සහකරු හෝ සහකාරිය විය හැකිය. ඉවසීම හුරු කරගත යුතුය. එවිට දෙදෙනා අතර පේ‍්‍රමය ආදරය නිරන්තරයෙන් ඇති වී සැනසිලිදායක විවාහ ජීවිතයක් ගෙන ගිය හැකිය.

කුම්භ රාශියෙන් අටවැනි රාශිය වන්නේ කන්‍යා රාශියයි. එය බුධට අයත් වේ. රාහුට ද අයිතියක් තිබේ. පරම්පරාගත දේපළවලට උරුම හිමිකම් ඇත. අන්‍යයන් සමඟ එකතුව කරන වැඩවලින් ලාභ ලැබීම දුෂ්කරය. ඥාතියකුගෙන් ලැබීම් සහ විවාහය නිසා දෑවැදි ලැබීමටද වාසනාව ඇත. පරම්පරාවෙන් ලැබෙන දේ පිළිබඳ කරදර ඇතිවේ. නැතිනම් පල ප්‍රයෝජන අඩුවේ. හදිසි අනතුරු සිදුවීමට ඉඩ ඇත. රැකියාවේ හෝ සේවයේ යෙදී සිටින විට මරණය සිදුවේ. උපන් ගමෙන් පිටතදී එය සිදුවේ.

කුම්භ රාශියෙන් නවවැනි රාශිය වන්නේ තුලා රාශියයි. එය සිකුරුට අයත් වේ. සෙනසුරුගේ උච්චම රාශියයි. නීතිය, ධර්ම ශාස්ත්‍ර ගැඹුරු ලෙස ඉගෙනගත හැකිය. ආගමික සිතුම් පැතුම්වලින් පී‍්‍රතිය සතුට සැනසීම නිරන්තරයෙන් ලැබේ. අදහස් සිතුම් පැතුම් නීත්‍යානුකූලව සහ ධර්මානුකූලව ගෙන යයි. දුෂ්කර බැරෑරුම් ගැටලු නිරාකරණය කිරීමටද හොඳ ශක්තියක් ඇත. විවාහයෙන් වැදගත් ඥාති පිරිසක් ලැබේ. පිටරට යෑමට වාසනාව ඇත. එය අධ්‍යාපනය රැකියාව පිණිස වේ. මුහුදු ගමන්වලින් කරදර ඇතිවේ. පිට පළාත්වලදී සතුරන් ඇතිවේ. ඔබ කෙරෙහි වැරැදි අවබෝධයක් ලැබීම තුළින් ඒ සතුරු කරදර මතු වේ.

කුම්භ රාශියෙන් දසවැනි රාශිය වෘශ්චික රාශියයි. එය කුජට හෙවත් අඟහරුට අයත් වේ. රාහු කේතු දෙදෙනාගේ උච්ච රාශිය ද වේ. තම ස්ථානය වන මේ දස වැන්නෙන් රැකියාව ව්‍යාපාර කටයුතු ගැන තොරතුරු දත හැකිය. රහස් පරීක්ෂණ කටයුතු මරණ පරීක්ෂණ, ගුරු වෘත්තිය, නීතිය, යන්ත්‍ර සූත්‍ර යොදා කරන ව්‍යාපාර ආරෝග්‍යශාලාවල කටයුතු වෙළෙඳ කටයුතු සුදුසු රැකී රක්ෂා වේ. පවුලේ වැඩිමලා විය හැකිය. එසේ නැතිනම් අධ්‍යාපනයෙන් දැනුමෙන් උසස් අන් අයට වඩා දක්ෂ ලෙස කටයුතු කරන කෙනා විය හැකිය. කෙසේ වුවත් පවුලේ අනෙක් අය අතර වඩා ප්‍රබල හැම අතින්ම උසස් තැනැත්තා විය හැකිය.

කුම්භ ලග්නයෙන් උපන් විට එකොළොස්වැනි ස්ථානය ධනු රාශියයි. එය ගුරුට හෙවත් බ්‍රහස්පතිට අයත් වේ. කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රයට ලැබේ. ඒ අයගෙන් හිඟයක් නැත. නීතීඥයන් පැවිදි අය උගතුන් මිත්‍රයන් අතර වේ. ඒ අයගෙන් උපකාරද ලැබේ. ඉවසීමෙන් ක්‍රියා කිරීමෙන් අදහස් ප්‍රාර්ථනාවන් ඉටුකරගත හැකිය. ලේඛකයන් හා පොත්පත් ලිපි ද්‍රව්‍ය වෙළෙඳ කටයුතු කරන අයද මිතුරන් වශයෙන් ආශ්‍රයට ඉතා හොඳය.

කුම්භ ලග්නයෙන් දොළොස්වැනි ස්ථානය වන්නේ මකර රාශියයි. එය ශනිට අයත් වේ. කුජගේ උච්ච රාශියයි. ගුප්ත විද්‍යා, භූත විද්‍යාවලින් ප්‍රවේශම් විය යුතු ය. ඡ්‍යොතිෂය සම්බන්ධ ඉගෙනීම්වලින් බොහෝ දියුණු විය හැකිය. දුක් කරදර හේතුවෙන් අනාගතය සම්බන්ධ ස්ථිර පදනමක් ඇතිවේ. කුහකත්වයෙන් පිරුණු රහස් සතුරන් නිසා කරදර ඇතිවේ. එයින් ප්‍රවේශම් විය යුතු ය. කරදර විපත්වලදී ලේඛකයන් කවීන්, නීති වේදීන්ගෙන් උදවු උපකාර ලැබිය හැකිය.

උත්්පත්ති ග්‍රහබලය අනුව පලාපල අඩු වැඩිවේ. යහපත් ග්‍රහබල පවත්නා අවස්ථාවල උත්සාහයෙන් කටයුතු කිරීමෙන්ද අයහපත් ග්‍රහබල පවතින විට ප්‍රවේශම්වීමෙන් යහපත් උසස් ප්‍රතිඵල ලබා සැනසිලිදායක ජීවිතයක් ගත කළ හැකිය.

තද නිල් මැණික් පැලඳීම යහපති.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.