වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
ඇසළ සමයේ දෙවියන් දුන් දරු සම්පත්
කතරගම ඇසළ සමය අරඹුණු පළමු සති අන්තයේ දිනෙක හිමිදිරි පාන්දර කොණ්ඩදෙණිය සීලරතන නායක හිමියන් බෝමළුව ඇමද පවිත්‍රකොට බුදු මැදුර සහ දේව මන්දිරයේ සියලු වත් පිළිවෙත් සිදුකොට අවසාන කළ සේක.
ඇසළ සමය බැවින් කතරගම දෙවිඳුන් වෙනුවෙන් විශේෂයෙන් පුදනු ලබන ගොක්කොළවලින් සැකසූ පහන් පැළ තුළ විශේෂිත පහනක් හිමියන් විසින් දල්වනු ලැබිණි. දේව මන්දිරය තුළ දේව මණ්ඩලයේ ප්‍රතිමා අභියස ඇති සියලු පහන් එක්විටම ඒකාලෝක වන්නට විය. එම දැල්වනු පහන්වල ප්‍රභාස්වරය දුටු හිමියන් මේ ඇසළ සමයේ දේව පණිවිඩයක ඉඟියක් දුටුවෙන් වහාම දේව මන්දිරය තුළට වැඩමකොට දේවාරධනාව කළ සේක. එදින පළමුව පැමිණෙන ආගන්තුකයාගේ (ආතුරයාගේ) ඉල්ලීම කවරකු වුවද එය දෙවියන් විසින් ඉටු කරන බව උන්වහන්සේ දැනගත් සේක. එකෙනෙහිම ලා නිල් පැහැති නවීන ක්‍රේම්බ්‍රිජ් වර්ගයේ කාරයක් කොණ්ඩදෙණිය පන්සල් ගේට්ටුව අසළ නතර විය.
“ඩිංගිරි බණ්ඩෝ”.... ගේට්ටුව හනික ඇරල කාරය පන්සල් භූමිය ඇතුළට ගන්න ඉඩ දෙන්න. “ආහ්... ඒ නෝනා මහත්තයලා දුර බැහැරක ඉඳල උදේ පාන්දර ආවනේ....... තේ ටිකක් හදල දීල උදේට මොනවහරි හොඳට සප්පායම් වෙන්න සලස්වලාම ඒ ජෝඩුව එක්කර ගෙන එන්නකෝ.” ඒ එන අයට කියන්න, ඒත් එක්කම පහළ වැවෙන් නෙලුම් මල් ටිකකුත් කඩාගෙන මුහුණ කට සෝදාගෙන හොඳට පවිත්‍ර වෙලා බෝමළුවට සහ විහාර මන්දිරයටත් ගොසින් තමන් පැමිණි කාරණාව ඉෂ්ටසිද්ධ වෙන්න ප්‍රාර්ථනා කරල වන්දනාමාන කරලම එන්න කියන්න. හිමි අණ එපරිදිම පිළිපැදිති. සුදුවන් ඇඳුමින් සැරසුණු මනා පෞරුෂයෙන් යුතු තරුණ දේහධාරී යුවළක් හිමියන් පාමුල වැඳ වැටිණි. “අවසරයි නායක හාමුදුරුවනේ. අපි හම්බන්තොට ඉඳලයි ඔබ වහන්සේ මුණ ගැහෙන්න ආවේ. අපි කසාද බැඳල අදට හරියටම අවුරුදු හයක් වෙනව. අපි දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් මෙතුවක් කල් හිටියේ. නමුත් ඒ බලාපොරොත්තු මොනව හරි හේතුවකින් අහිමි වෙනවා හාමුදුරුවනේ...
“ඉතින් දොස්තර මහත්වරු මොනවද කිව්වේ.”
“කිසිම දෝෂයක් පේන්නේ නැහැ කියල තමයි කියන්නේ.....”
අපි හැමතැනම වගේ ගියා හාමුදුරුවනේ බටහිර සහ ආයුර්වේද දොස්තරවරු කී දෙනෙක් නම් හම්බවෙන්න ගියාද? නාරිවේද හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරු සොයාගෙන ගියා.. වැඩක් වුණේ නැහැ හාමුදුරුවනේ... මාතර පැත්තෙ ප්‍රසිද්ධ කට්ටඩියකු ගෙන්නලා රටයකුමක් නැටුව. තොවිල් පවිල් ශාන්ති කර්ම, දහ අට සන්නියකුත් නැටුවනේ. ඒ එකකින්වත් හරි හමං දෙයක් වුණේ නැහැ.” “මේක පූරුවෙ ජාතියේ කරපු පවක් පටිසන්දීලයි මෙහෙම වෙලා තියෙන්නේ. කාරි නැහැ... මම ඒක සොයා ගන්නම්..... හොඳයි දේව මන්දිරය ඇතුළට ඔය දෙන්න එන්නකෝ.” ඒත් සමඟම මහ සුළඟක් දේව මන්දිරය තුළට කරකැවෙමින් පැමිණදේව පිළියම අබියස ඇති සියලු පහන් සිලු නිවී ගියේය. එකෙනෙහිම විහාර මන්දිරය පිටත සැකසූ ගොක්් කොළ පහන් පැලේ දල්වා තිබූ පහන ද නිවී ගියේ ය. හිමියන්ට කාරණාව අවබෝධ වන්නට විය. දේපළ තණ්හාවට සහ ඉරියාව මුල්කරගෙන ළඟම ඥාතියකු මේ දෙපළට බන්ධනයක් කර ඇති බව පසක් කරගත් සේක. හිමිගේ අණ පරිදි තරුණ යුවළ විසින් දේවමන්දිරයේ සියලු පහන්සිලු දල්වන ලද අතර විශේෂයෙන් ඇසළ සමයේ ගොක් කොළවලින් සැකසූ පහන් පැලේ පහන්සිලුව පමණක් කොණ්ඩදෙණියේ නායක සීලරතන හිමියන් විසින් දැල්වූ සේක.
හිමියන් බලගතු මන්ත්‍රයක් ජප කරන්නට විය. එන්න එන්නම හිමියන්ගේ හඬ වැඩි වන්නට විය. ඒත් සමගම මුළු දේව මණ්ඩලයේත් පහන් පැලේත් සියලු පහන් සිලු ඒකාලෝකව ප්‍රභෂ්වර විය.
“ඔන්න මගේ වැඩ අහවරයි... ජීවම් කළ පිරිත් නූල් දෙකක් දෙදෙනාගේම කරේ පලඳවා ඔවුන්ගේ දකුණු අතේ ද පිරිත් නූල් බඳින හිමියන් පැවසූ සේක.
“දැන් බයවෙන්න එපා.... නමෝ විත්තියෙන් කුළුදුල් පිරිමි දරුවකු හම්බ වෙයි. දරුවාගේ දකුණු අතේ උපන් ලප හතක් එක දිගට පෙනෙයි.”
ඔවුන්ගේ දෝෂාන්ධකාරයෙන් සියල්ල දුරුවිය. දුර බැහැරක සිට කොණ්ඩදණිය පන්සලට පැමිණියද දෙමහල්ලන්ට ඇති වූයේ දැඩි සොම්නසකි. බලාපොරොත්තුවේ අරුණළු පහළ වී තිබිණි. හිමියන් පැවසූ පරිදි සියල්ල සිදුවිය. සති කිහිපයකින් පසුව දරුවකු පිළිසඳ ඇති බවට වෛද්‍ය පරීක්ෂණ මඟින් තහවුරු විය. නියමිත කල්ගතවීමෙන් පසුව පින්වත් දරුවකු ඉපදිනි. මාස තුනකට පසු සිඟිති පුතුද කරහොවාගෙන කොණ්ඩදෙණිය පන්සලට තරුණ යුවළ පැමිණ හිමියන්ගෙන් දරුවාට ආශිර්වාද ලබා ගත්හ. සීලරතන හිමියන්ට තම බලවත් කෘතඥතාව පුද කළ යුවළ පන්සලේ ගොඩනැඟිලි රැසක් අඩුපාඩු සකසා දෙන්නට අමතක නොකළහ.
වත්මන් කොණ්ඩදෙණිය රජමහ විහාරාධිපති ශාස්ත්‍රපති කඩම්බාවේ අනුරුද්ධ හිමියන් වෙතද විවිධ වර්ගයේ ආතුරයන් සිය දුක්ඛ දෝමනස්සයන් කියමින් පැමිණෙන වාර අනන්තය. ඇසළ සමය ඇරඹුණු මුල් සති අන්තයේ දිනක හිමිදිරියේ කිරිසුදු අලුත්ම වර්ගයේ බෙන්ස් කාරයක් කොණ්ඩදෙණිය පන්සල් භූමියට පැමිණියේ ය.
එහි තරුණ යුවළක් විය.
“අවසරයි අපේ නායක හාමුදුරුවනේ අපි ජා ඇල කදානේ ඉඳලයි ආවේ මම විදුලි සංදේශ ඉංජිනේරුවරයෙක්. මගේ මේ බිරිඳ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක්. අපි කසාද බැඳල අදට හරියටම අවුරුදු 6ක් සම්පූර්ණ වෙනවා. අපි දරු පැටියෙක් බලාපොරොත්තුව මෙච්චර කලක්ම බලන් හිටියේ. ඒත් වැඩක් වුණේ නැහැ හාමුදුරුවනේ. “එහෙනම් කසාද බැඳල අවුරුදු 6 සංවත්සර දවසෙමයි මේ ඇවිදින් තියෙන්නේ. අනික අද හොඳ දවසක් නොවැ.... හොඳයි අද ආපු එකත්.
පන්සලේ කුස්සියට ගොහින් කිරිබත් ටිකක් කාල තේබීලම එන්න.” ඒ එන ගමන් බෝධියටයි. විහාර ගෙටයි ගොඩ වැදිල වන්දනාමාන කරගෙන ආපු කාරණාව ඉෂ්ඨ සිද්ධ වෙන්න කියල ප්‍රාර්ථනා කරලම එන්න.” හිමි අණ එපරිදිම පිළිපැදිණි. වත්මන් කොණ්ඩදෙණිය රජමහා විහාරයේ අධිපති අනුරුද්ධ නායක හිමියන්ගේ කාර්යාල කාමරයට තරුණ යුවළ නැවත පැමිණියේ ය. “දොස්තර මහත්තයා මොනවද කිව්වේ.”
කිසිදු දෝෂයක් පේන්ට නැති බවයි කිව්වේ හාමුදුරුවනේ. අපේ අම්ම තාත්ත දරුවකු බලාපොරොත්තුවෙන්මයි ඉන්නේ. මුලදි මුලදි අපේ ගෙදර දෙමව්පියන් හුඟක් බලාපොරොත්තු තියාගෙනයි හිටියේ. දැන් දැන්... මගේ මෝනට ඇනුම්පද කියන්න පටන්ගෙන එයා වඳයි කියලා මම එයට ආදරේ කරලයි කසාද බැන්දේ. අපිට විශාල දේපළක් තියෙනවා. ඒවා බලාකියාගෙන ඒ අයගේ පරම්පරා නම ගෙනියන්න කෙනෙක් නැතිවෙයිලු...
දැන් මට මෙයාගෙන් දික්කසාද වෙන්න කියලා ගෙදරිනුත් කියනවා. මට මේක දරාගන්න බැහැ හාමුදුරුවනේ මම මෙයාට පණ වගේ ආදරෙයි. මෙයත් එහෙමයි.” සියලු දුක්ඛ දෝමනස්සයන් අසා සිටි අනුරුද්ධ හිමියන් බලගතු මන්ත්‍රයකින් හෝරාවක් තිස්සේ ජීවම් කළ පිරිත් නූල් දෙදෙනාගේ කරේද, දකුණු අත්වල බැඳ ආශිර්වාද කළ සේක. නියමිත කාලවකවානු පසුවිය. දෙමහල්ලන් කුලුඳුල් දරුවා කර පින්නාගෙන දිනෙක කොණ්ඩදෙණිය පන්සලට පැමිණ හිමියන්ගේ ආශිර්වාද ලබා ගත්තේ ඔවුන්ගේ ප්‍රාර්ථනාව ඉටු වීමේ සතුට බෙදාගනිමිනි.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ අවිශ්කාර්
ඡ්‍යොතිෂ ශිරෝමණී
ආචාර්ය විජය සමරසිංහ