ලක්ෂ්මී දෙවඟනගේ අනුහස් ලැබෙන මාලවී යෝගය

නොවැම්බර් 1, 2024

ග්‍රහ මඬුල්ලෙහි සුරූපිනිය වශයෙන් සලකන සිකුරු අසුරගුරු ලෙසද හැඳින්වේ. “දෛත්‍යානං පරමං ගුරුම්’ යනුවෙන් එය හැඳින්වේ. බ්‍රහස්පති ආගම, ධර්මය හා වෙනත් සුවිශේෂ අධ්‍යාත්මික පසුබිමට බර විෂයන් හෝ දාර්ශනික විෂයන්ට කාරකයා වෙද්දී සිකුරු අසුරගුරු වශයෙන් වඩාත් කාරක වනුයේ ලෞකික හා කලාත්මක මෙන්ම යම් යම් ආකාරයේ භෞතික අංශයට බර වූ විෂයයන්ටය.

අසුරගුරු කාරකත්ව

නීතිවේදය ගැන සැලකුවහොත් බ්‍රහස්පති උත්තරීතර නීතිමය ක්ෂේත්‍රයට කාරක වෙද්දී සිකුරු ද නීතියට කාරක වුවත් එම සිකුරු නීතිමය ක්ෂේත්‍රයේ උසස්ම අංශයට කාරක නොවේ. සර්ව සාධාරණ නීතිය ගුරු නියෝජනය කරත් දී බොහෝ සෙයින් භෞතික ලෞකික පැත්තට බර වූ නීතිමය ක්ෂේත්‍රය සිකුරුට අයත් වේ. අධිකරණ සේවාවේ උත්තරීතර ඉහළම අධිකරණ අංශ, නීතිවේදීන් පිළිබඳ සැලකුවහොත් ඉතා පරිපූර්ණ දැනුමක් ඇති උගත් ඉහළම නීතිවේදීන් ගුරු පාලනය කරන අතර නීතිය තුළින් නැතහොත් එම විෂය තුළින් තමාගේ අර්ථලාභය ප්‍රධාන කොට සලකන නීතිවේදීන් පාලනය කරනුයේ සිකුරුය.

මේ අනුව ගුරු ඉහළම තලයක් සහ සිකුරු ඊට වඩා වෙනස් තලයක් නියෝජනය කරයි.

කවිය, කලාව, සංගීතය, චිත්‍ර ශිල්පය, රංගනය, නාට්‍යය ආදි කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කුදුමහත් සියලු දෑ සිකුරු පාලනය කරයි. ශ්‍රේෂ්ඨතම කවියකු, ඉහළ මට්ටමේ ප්‍රබුද්ධත්වයෙන් හෙබි උදාරතර ගීත ප්‍රබන්ධකයකු වීම සඳහා සිකුරුගේ බලය මෙන්ම ගුරු - බුධ දෙදෙනාගේ විශේෂ සම්බන්ධයද ඒ සඳහා තිබිය යුතුය.

චන්ද්‍රරත්න මානවසිංහ, මහගමසේකර, ඩබ්.ඒ. අබේසිංහ, මඩවල එස්. රත්නායක, ඩෝල්ටන් අල්විස්, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර වැන්නන් සිකුරුගේ වටිනා බලය මෙන්ම ගුරු බුධගේ ද උසස් වූ බලයම පාදක කර ගනිමින් බිහිවූ ලේඛකයෝ, ප්‍රබන්ධකයෝ වූ බව තේරුම් ගත හැකිය.

මාලවී යෝගය

සිකුරු, වෘෂභ රාශියට හා තුලා රාශියට අධිපති වෙයි. මෙහිදී තුලාවට සිකුරු මූල ත්‍රිකෝණ වන්නේය. ඒ සිකුරුගේ වැඩි බලයයි. සිකුරු රාගය, කාමය, රතිය යන දෑ නියෝජනය කරන ග්‍රහයායි. තුලාව එම ස්වභාවය සමබර කරයි. සඳුගේ බලය සිකුරුගේ අනෙක් රාශිය වන වෘෂභය එකී ස්වභාවය දැඩි කරයි. සඳු සාමාන්‍යයෙන් සිතට කාරකයා වේ. සිත හැමවිටම රසය, සතුට, සන්තෝෂය, වින්දනය, ආශ්වාදය, බලාපොරොත්තු වන්නාය. එයින් සඳු මූල ත්‍රිකෝණ වනුයේ සිකුරුට අයත් වෘෂභයේ ලෙස සැලකෙන්නේය. සඳු නියෝජනය කරන සිත හැමවිටම ආස්වාදය මුල් කොට සලකන හෙයින් සිකුරුගේ වෘෂභය ඔහුට වැඩි වටිනාකමක් ඇති රාශියක් සේ සැලකෙයි.

මේ ආකාරයෙන් සලකන කල සිකුරු ඕනෑම කේන්දරයක බලවත්ව සිටින්නේ නම් එම සිකුරුගෙන් හිමිකරන පලදායී ප්‍රතිපල ඔහුට ලැබෙන්නේය.

සිකුරුගේ බලය ඉතාමත් ඉහළින්ම ඉස්මතු කරන යෝගයක් නම් මාලවී යෝගයයි. මාලවී යෝගය යනු සිකුරු 1,4,7,10 යන ස්ථානයක වෙමින් ස්වක්ෂේත්‍ර , මූලත්‍රිකෝණ හෝ උච්චව සිටීමයි. එනම් වෘෂභ රාශිය තුලා රාශිය හෝ මිථුන රාශිය වී 1,4, 7 ,10 ආදී ස්ථානයක සිකුරු තැන්පත් වීමෙන් මාලවි යෝගය යෙදේ.

ජාතක රත්නාකරයේ මාලවී යෝගය පිළිබඳව මෙසේ දැක්වේ.

මාලෙහි උපනුන් ලියෙකුට බඳුනිති
කායික වැඩ කටයුතුයෙහි යෙදුමැති
බෝකොට සත දැනුමෙන් පණ්ඩිත වෙති
දීමෙහි තුටු වෙය සුන්දර ගුණවෙති

 

කිවි මන් ගොන් තුළ උච්චව සිටිණා
පිවිතුරු සිවු සත් දසවන ලග්නා
කිවිලත් මාලවි යෝගෙන් උපනා
අවි සෙත් සලසයි සතහට දිවුණා

 

ජාතක රත්නයේ මාලවි යෝගය මෙලෙස දක්වයි.

සත් සිව් වන දස ජන්මය කිවි ඳු
සෙත් කර දස්ගව කෙත්වත් සුසැඳු
මත් සත අත්දි වඳිනා සමි ඳූ
වෙත් ජය මාල වි යෝගෙට මෙබඳු

මාලවී යෝගයේ පල

සිකුරු 1, 4, 7, 10 වෙමින් පෙර සඳහන් කළ පරිදි ස්වක්ෂේත්‍ර, මූලත්‍රිකෝණ, උච්චව සිටින්නේ නම් ඔහු දැසි දස්සන්, ගව මහීෂාදීන්, කෙත්වතු ආදීන්ගෙන් යුක්ත කිසියම් ආකාරයක රාගික සහ ආස්වාදජනක හැගීම්වලින් යුතු අයකු වන බව මෙහි සාමාන්‍ය අදහසයි. අනෙක් අතින් සැලකීමේදී සිකුරු මාලවී යෝගයෙන් යුක්ත නම් ජන්මියා සැපසම්පත්වලින් පිරුණු අයෙක් බව දැක්වේ. මේ ආකාරයට සිකුරුගේ බලපෑම කේන්ද්‍රගතව යෙදීම තුළින් එම පුද්ගලයා සමස්තයක් ලෙස ගේ දොර ඉඩකඩම්, යානවාහනවලින් ආඪ්‍යමත්, සුරූපී දේහවිලාසයකින් යුක්ත හැඩරුව ඇති ප්‍රසන්න සිත් ගන්නා සුලු අයකු වේ.

බොහෝ කලා ශිල්පීන්ගේ හා කලාකරුවන්ගේ මේ පිහිටීම මනා ලෙස ඉස්මතු වී ඇත.

මාලවී යෝගය යෙදුණු සිනමා තරුවක්

ලංකාවේ සුප්‍රසිද්ධ නිළියක වන මාලනී ෆොන්සේකාගේ ලග්නය මිථුනය. ඇයගේ සිකුරු 10 වැන්නේ උච්චව මීන රාශිගතව සිටියේය. ඇය සුරූපීය. සිත්ගන්නා සුලුය. ලංකාවේ අග්‍රගණ්‍ය නිළියක ලෙස පිළිගැනීමට හැකි කුසලතාවන්ගෙන් යුක්ත වූවේ එම යෙදීම නිසාය. තවදුරටත් මෙරට බොහෝ ඉහළ මට්ටමේ කලාකරුවන් මේ මාලවී යෝගයෙන් ඉපිද ඇති බව අප හට අත් දකින්නට ලැබී ඇත. සිකුරුගේ මාලවී යෝගය ඇති නමුදු එම සිකුරු පාපයන්ට මැදිවී පාප සංයෝග වී පාපයන්ගේ සප්තම දෘෂ්ටියට ලක්වී දුබලතාවයට පත්ව ඇත්නම් මාලවී යෝගයේ ප්‍රතිපල නිසි ලෙස ගෙන නොදෙන්නේය.

සිකුරුගේ මේ මාලවී යෝගය මුළු ලග්න දොළොසටම යෙදීමේ අවස්ථා ඇත. එසේ යෙදුණු මාලවී යෝගය හිමි ජන්මියා පීඩාවට පත් නොවී සිකුරුගේ බලය ඉස්මතු වන ආකාරයෙන් පවතින්නේ නම් එම පුද්ගලයාට මාලවී යෝගයේ ප්‍රතිපල නිසි ලෙස භුක්ති විඳීමට හැකිවේ.

මාලවී යෝගයේ බලය

මාලවී යෝගය හිමි තැනැත්තා සිකුරුගේ බලය වඩවඩාත් ඉස්මතු කරලීම සඳහා දියමන්ති මැණික් පැලඳීම යහපත් වේ. එසේත් නැතහොත් ඊට අඩු වටිනාකමින් යුතු වුවත් සුදුනිල පැලදීමෙන් සිකුරුගේ බලය වර්ධනය කර ගැනීමට හැකියාව පවතී. සිකුරු ගේ වෘක්ෂය වශයෙන් හඳුන්වනුයේ මඟුල් කරඳයි.

විවාහය ප්‍රමාද වන තරුණ තරුණියන්ට මේ මඟුල් කරඳ ගසට හෝ සාමාන්‍ය වශයෙන් කරද ගසට වතුර වත් කිරීමෙන් විවාහ අපේක්ෂාවන් ඉෂ්ට කර ගැනීමට හැකියාව පවතී.

හිමකුන්ද මෘණාලාභං
දෛ්‍යතානාං පරමං ගුරුම්
සර්ව ශාස්ත්‍ර ප්‍රවක්තාරං
භාර්ගවං ප්‍රාණ මාම්‍යහම්

යන කවචයෙන් 20වරක් සජ්ඣායනය කිරීම වඩාත් ප්‍රතිපල දායක වෙයි.

සිකුරුට බලපවත්වන්නේ ලක්ෂ්මී දිව්‍යාංගනාවයි. ලක්ෂ්මීට පුද පූජා පැවැත්වීම තුළින් එම ආශිර්වාදය ලබා ගත හැකිය. ඒ සඳහා පහත ස්තෝත්‍රය උපකාරී වනු ඇත.

 

ඕං ශ්‍රීං ක්‍රීං මහා ලක්ෂ්මී
ඒහී ඒහී සර්ව සෞභ්‍යං
දේහී මේස්වාහං

යනුවෙන් අවම වශයෙන් හත්වරක් වත් කීමෙන් මෙහි ප්‍රතිපල ලබාගත හැකිය. විශේෂයෙන් ලක්ෂ්මී දිව්‍යාංගනාවියගේ පිළිරුවකට හෝ චිත්‍රයකට පැන් භාජනයක් තුළට මල් හතක් (පිච්ච) බහා පූජාකොට මේ මන්ත්‍රය කීමෙන් සුවිශේෂ ප්‍රතිඵල ලබා ගත හැකිය.

ආචාර්ය ජී. ඇම්. ගුණපාල

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.