හත් අඩියෙන් වින කැපීම

මැයි 31, 2024

 

පළමු අප නිරිඳු ට
වසවත් කරපු විනය ට
දෙවි රැස්ව එතැන ට
කිව්ව සත් අඩි උපත මෙ ලෙස ට

මහා සම්මත රජුගේ දේවිය වූ මැණික්පාල බිසවුන්වහන්සේට වසවර්තිමාරයා විසින් කරන ලද වින දොස ඉවත් කිරීමට කරන ලද සෙත් ශාන්තිය හත් අඩිය නම් සෙත් ශාන්තියයි. මේ සූනියම් යාගය කිරීමට මුල් වූයේ වසවර්ති මාරයා විසින් මැණික්පාල බිසවට කරන ලද විනය නිසා බිසවගේ ඇඟ පුරා දද, කුෂ්ඨ මතුවී විරුපීව කෘශ වීමට පටන් ගත් බැවිනි.

රජු රාජකාරී කටයුත්තක් සඳහා ගොස් සිටි අවස්ථාවකදී සිදුව ඇති මේ සිද්ධියෙන් පසු රජතුමා රජ මැදුරට පැමිණියමුත් තම බිසව හඳුනාගැනීමට පවා නොහැකි වූ තරමට වෙනස් වී තිබුණි.

ඉන් මහත් කනස්සල්ලට පත් රජු, මැණික්පාල බිසවුන්ගේ සොහොයුරු විෂ්ණු දෙවි කැඳවා මේ තත්ත්වය ගැන දන්වා සිටියේය. ශක්‍ර දේවේන්ද්‍ර ද කතරගම දෙවිඳු ද මැණික්පාල බිසවුන්වහන්සේගේ රෝගී තත්ත්වය අසා විනදොස ඉවත් කිරීම සඳහා කරුණු විමසා සිටියේ ය. පසුව ඔඩ්ඩිය නම් සෘෂිවරයා කැඳවිය යුතු බවට තීරණය කරගනු ලැබීය. ඒ අනුව ඍෂිවරයා කැඳවීමට විෂ්ණු දෙවියන් පිටත්ව ගියේ ය.

එහිදී ඍෂිවරයා සඳහන් කර ඇත්තේ වින දොස කැපීම සඳහා දෙහි, නොඉඳුල් සළුවක්, වැල් වර්ග එකසිය අටක් සහ අලංකාර මණ්ඩපයක් ද අවශ්‍ය බවයි. එම බඩු ගෙන ඒම සඳහා විෂ්ණු දෙවියන් නා ලොවට ගොස් දෙහි ගෙන ආ අතර පත්තිනි දේවිය විසින් නොඉඳුල් සළුවක් වියා දුන්නාය. වින දොස කැපීම සඳහා සාදන ලද ගොක් තොරණ, කෙසෙල් පතුරු, කෙසෙල් බඩ හා ගොක් අතුවලින් අලංකාරවත්ව සරසන ලදි. තොරණේ අට මංගල යන්ත්‍රය හා පූජා තබා සඳුන්, මල් බුලත් තබා පහන් ආලෝක කොට සුවඳ දුම් දේ.

ආතුරයාට ඉඳගැනීම සඳහා පිරිසුදු පැදුරක් එළා ඒ මත සහල් පඬුරු බුලත් නවයක් ද තබයි. අටමගලේ කොන් සතරට විෂ්ණු, කතරගම, සමන්, නාථ යන දෙවිවරුන්ට වෙන්කොට ඇත. පැදුරට සහල් හුණ්ඩු අටක් දමා ඒ මත යන්ත්‍රයක් අඳියි.

බුලත් නවය සමඟ පඬුරු ද තබා ඒ මත තවත් පැදුරක් එළා ආතුරයා වාඩි කරයි. හත් අඩි වට්ටිය, නානු පීරිසිය, කහ දියර කොතලය, තෙල් ගොටු, සඳුන් ගොටු සමඟ මල් බුලත් තටුව ද තබා නානුමුරය ආරම්භ කරයි. සූනියම් වීදිය මෙහි ප්‍රධාන ස්ථානය වේ. එයට ද මල් පහන්, බුලත්, පඬුරු තබා සුවඳ දුම් දී පූජා පවත්වති. විලක්කු නවයකින් ආලෝක කරති. මන්ත්‍ර කියා තීන්දු ගැනීම සිදු කෙරේ.

 

පෙර උපත මෙලෙසි න
දුරලන ලෙසට අණ වි න
ඔඩ්ඩිය රුසි ගොසි න
තැබුව සත් අඩි උපත මෙලෙසි න

 

සත් අඩි ශාන්තිකර්මය ආරම්භ කරන්නේ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධරත්නය සිහිකොට වැඳ නමස්කාර කරමිනි. විෂ්ණු, කතරගම, නාථ යන දෙවිවරුන්ටත් ආමන්ත්‍රණය කොට වරම් ගැනීම සිදු කෙරේ. එමෙන්ම සියලු දෙවියන්ට ද ආරාධනය කොට වරම් ගනියි. සූනියම් යාගයට ඉහත කී දේවාලයන්ට අමතරව කුල්ලක්, මෝල්ගහක්, ගිරයක්, පොල්, බුලත් අතක්, පස්තෙල්, පස් පැඟිරි දර, නව ග්‍රහ මණ්ඩලයට අයත් පූජා භාණ්ඩ වෘක්ෂ, රිකිලි කොළ අතු, හොඬල, සුදු රෙදි, කළු රෙදි, රතු රෙදි, අන්නාසි, පුළුටු වර්ග හතක්, මල් මාලා දෙකක්, තටුවක්, කැවිලි වර්ග හතක්, පාටින් බත් වර්ග හතක්, තැඹිලි ගෙඩියක් හා පන්දම් හතක් ද, සූදානම් කෙරේ. හත්අඩිය වින කැපීමේ ක්‍රම සහ ගනු ලබන දවස මෙන්ම යන්ත්‍ර මන්ත්‍ර ද සමහර පළාත්වල ඒ ඒ විධිවලට අනුව වෙනස්ව පවත්වති.

පළමු කපට නාරායන මුනි බුදුවන් නේ
එවැනි කපේදී වසවතු යුද පරදින් නේ
වෙසමුණි මන්ත්‍රා අණ ලබමින් ඉගිළෙන් නේ
පළමුව ඇදි ඉර පිට රන් පත්‍ර තබන් නේ

 

මෙසේ කවි ගායනා කරමින් සටහන් මත බුලත් තැබීම සිදු කෙරේ. තණ්හන්කර, මේධංකර, දීපංකර කකුසඳ, කෝනාගම, කාශ්‍යප සහ ගෞතම බුදුවරුන් සහ යක්ෂාධිපති, වෛශ්‍රවණ දෙවි රජුන්ගේ බලය සිහිපත් කරමින් කවි හා ශ්ලෝක ගායනා කරති. එදා ලුම්බිණි සල් උයනේ දී උපත ලද සිදුහත් කුමරු පොළොව මතින් පැන නැඟුණ නෙළුම් මල් සතක් මත ගමන් කිරීම පදනම් කොට සත් අඩිය නිර්මාණය වූ බව කියති.

සත් අඩියේ නැටුම්, ගැයුම් මෙන්ම පවත්වනු ලබන පෙළපාළි, හා රඟ දැක්වීම් ද බොහෝ ය. ඉන් ප්‍රධාන වශයෙන් පවත්වන තෙරුවන් උදෙසා කෙරෙන පූජා ද දෙවිවරුන් මල් යහන්වලට වැඩම කරවීම ද දොළ පිදේනි, නානුමුර මංගල්‍යය සත් අඩියේ දොරටු පැනීම, වඩිගපටුන, වැල් වළලු කැපීම පුහුල් හා හොඬල කැපීම ද වේ.

සළු උපත, සත් අඩි උපත, දෙහි උපත, කිරියේ උපත, වැල් උපත, පුහුල් උපත වශයෙන් උපත් විස්තර කරනු ලබන අතර මංගල්‍ය හතක් ද සෙත්කවි ගායනා කරමින් කියනු ලබති. සත් පියුම් මත වැඩ සිට දෙවියන් සතුටු කළ සිදුහත් බෝසතාණෝ මාර මර්දනය සඳහා බෝ මැඬ වැඩ සිටි සේක.

එවිට වසවර්ති මාරයාට එරෙහිව දොස් කී මිහිකතගේ මුවෙන් කෙළ බිඳක් බිම වැටුණි. එම කෙළ බිඳෙන් මතුවූ ගස දෙහි ගස නම් විය. ඒ දොස් කී තැනින් මතු වූ ගස බැවින් එම ගසින් දෙහි ගෙඩි නවයක් හටගන්නා ලදි.

ඉන් එකක් සොරුන් විසින් ගෙනගිය බැවින් ඉතිරි ගෙඩි අට නාලොවට ගෙනගොස් ආරක්ෂා කොට කරඬු හතක් තුළ තබන ලදි. මේ අතර මල්සරා කුමරුට වඩිගපුර බිසවුන් විසින් වින කරන ලදී. ඉන් රෝගාතුරවූ කුමරුට විනදොස් දුරලීමට අඹ අත්තෙන් මතුරා වින කැපීමට දෙහි ගෙන ඒමට සත්කුම්බ දේවතාවා නාලොවට යවන ලදී. එසේ ගිය දේවතාවා ගෙනන ලද දෙහි එදා සිට මේ දක්වාම මනු ලොවේ වින කැපීමට ගන්නේ ය.

එක්වෙනි සම්මත නිරුඳුගෙ පොර ණේ
පළවිය බුදුගුණ මේ මුළු දෙර ණේ
කලහිර බන්ධන කළ වින යකු ණේ
එක් වෙනි පියුමක් පිපුණා දෙර ණේ

 

එක්වෙති මල් පියුමක් දෙරණින් පැන නැඟු ණා
එක්වෙනි නැගුණ මල් පියුමට මුනිරජ වඩි නා
ඒ පියුමේ වැඩ සිටගෙන සක්මන් කර ණා
දෙවෙනි අඩියෙ මල් පියුමක් දෙරණින් පැන නැඟු ණා

 

වින දොස් කැපීමට දෙහි කැපීමට ගන්නා ගිරය විස්කම් දෙවියන් විසින් මවන ලද්දකි. ගිරයේ ඇති අඬු දෙකේ සමන් දෙවියන් ද සෙනසුරු හා චන්ද්‍රයා ද භාරව පවතී. හත් අඩිය යාගයේ සූනියම් යාගයේ ද ඉතා දැකුම්කලු, විනෝදාත්මක නැටුම් ගැයුම් ද පවතියි.

වඩිග දේශයේ උපන් බමුණන් තම භාෂා ශෛලිය උපයෝගි කර ගනිමින් රඟදක්වනු ලබන්නේ මහත් පි‍්‍රයමනාපයක් ඇති කරලමිනි.

වඩිග පුර දේසේ සත්දෙන බමුණු ඇවිදි න
පෙර වඩිග පටුනෙ එදා නිරිඳුට යාග කළ දින
ගුරු කළිඟු, භාෂෙන කට්ටඩි දෙමළ භා ෂෙ න
ගුරුලා සිහාසෙන එදා යාගය කළෝ මෙලෙසි න

 

ඉර හඳ දෙවියෝ - සක්වළ තුනේ දෙවියෝ
නවග්‍රහ දෙවියෝ වඩිග පටුනෙන් අසන් දෙවි යෝ
සුරිඳු තෙද උපුල්වන් උවිදු ක්‍රිෂ්ණාරා රුව න්
මුනිදු ගුණ බුදුරුවන් සුවිදු විෂ්ණු දෝස දුරල න්

 

ශ්‍රී විෂ්ණු දෙවිඳුට ආරාධනා කළ විට
දෝෂ දුරලන්නට වඩින් දෙවියනි මෙමල් යහන ට

 

සූනියම් යාගයේ දී කියනු ලබන කවි කිහිපයකි මෙහි සඳහන් වන්නේ, අපල උපද්‍රව, ග්‍රහ දෝෂ යක්ෂ, භූත, ප්‍රේත ආදීන්ට සූනියම් යාගය පවත්වා සෙත් ශාන්තිකර දෙහි කැපීමෙන් සුවපත් කෙරේ.

සමහර පළාත්වල හත් අඩිය සූනියම් යාගය නොනවත්වාම සිදුකර ගමට සෙත, ශාන්තිය ලබා ගනී. එමෙන්ම ප්‍රදේශයෙන් ප්‍රදේශයට හත් අඩිය සූනියම් යාගය පැවැත්වීමේ වෙනස්කම් ද පවතියි.

පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥ, ඡ්‍යොතිෂ ප්‍රභාෂ්වර මොරටුවේ තිස්ස මහානාම

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.