කන්‍යා ලග්නය

ජුනි 14, 2024

කන්‍යා රාශිය උභය රාශියක් වන අතර පොළොව ධාතුවට අයත් වේ. මෙහි ජනිත වූවන්ගේ සියලු කටයුතුවලට බලපාන්නේ මෙහි ඇති පියවි ගුණයයි. කන්‍යා රාශියේ උපන් අය වයසට වඩා තරුණ පෙනුමක් ඇති අය වන අතර මධ්‍යම ප්‍රමාණයේ සියුමැලි අඟපසඟින් යුතු ශරීරයකට හිමිකම් කියයි.

කන්‍යා රාශිය බුධට අයත් වන අතර බුධගේ උච්ච රාශිය වන්නේද මේ කන්‍යා රාශියයි. තීක්ෂණ නුවණක් උපතින්ම ලබන අතර අනුකම්පාසහගත වෙයි. බුධ ලග්නයේ නම් ඉතාම බලවත් වේ.

ආත්ම විශ්වාසය අඩු කලබල ගති බලවත් වන අතර ඉතා ප්‍රවේසමෙන් සොයා බලා වැඩ කටයුතු කරයි. කතාවටද ඉතා දක්ෂය. ගෙදර දොර ජීවිතයේදී ඉතා ඕනෑකමින් සොයා බලා ක්‍රමානුකූලව සිය වැඩ කොටස ඉටු කරන ලියකියවිලි පවා අවුල් රහිතව තබා ගන්නා අය වෙති. රසකැවිලිවලට පි‍්‍රය කරයි. නීරෝගිමත් කෙනෙක් වන අතර රෝගවලට බොහෝ දුරට බය ගතියක් දක්වයි. එනිසාම නැති ලෙඩවලට බෙහෙත් ගැනීමට ද සිතයි. සකසුරුවම් ලෙස මුදල් පාලන කටයුතු කරයි.

කන්‍යා රාශියෙන් දෙවැන්න වන්නේ තුලා රාශියයි. මෙය සිකුරුට අයත් වන අතර සෙනසුරුගේ උච්ච රාශියයි. ධනය ලැබීමේ භාග්‍යය ඇත. වාසනාවන්තය. කලාව, නාට්‍ය සහ විසිතුරු දේවල් සුවඳ විලවුන් මල් වැනි දේවලින් ආදායම් ලබාගත හැකි වේ. මුදල් දේපළවලින් ව්‍යාපාර කොටස්වලින්ද ආදායම් ලැබිය හැකිය. ගොවිතැන්, වැවිලි කර්මාන්තවලටද කැමැත්ත දක්වයි. ඒවායින්ද ඵල ප්‍රයෝජන ලැබිය හැකිය. ගුප්ත විද්‍යා කටයුතුවලටද කැමැත්ත ඇති අතර උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කළොත් දියුණු විය හැකිය. ඥානය මෙහෙයවා කරන පොත්පත් වැනි දෙයින් ඉතා හොඳ පල ප්‍රයෝජන අත්වේ. ගමෙන් පිට වී කටයුතු කිරීමෙන් ඉතා දියුණු තත්ත්වයකට පත්විය හැකිය.

කන්‍යාවට තුන්වැනි රාශිය වන්නේ වෘශ්චිකයයි. එය කුජට අයත් වේ. රාහු, කේතු දෙදෙනාගේ උච්ච රාශියයි. හදිසි අනතුරු තුවාල සහ නෑදෑයන් නිසා දරුණු කරදරද ඇතිවේ. සහෝදර සහෝදරියන්ගෙන්ද හිරිහැර කරදර බාධා ඇති වේ. කෙසේ වුවත් දැඩි චිත්ත ධෛර්යයක් පවතී. ඔබේ ගති සිරිත් අන්‍යයන්ට අවබෝධ කර ගැනීමට අපහසු වේ. ගුප්ත අදහස් ඇති අයකු වන අතර හිතවත් අයට ඉතාම හිතවත්ය. වැරැදි කරන අය කෙරෙහි ඇතිවන කෝපය බොහෝ කල් පවත්වා ගනී. ඒ අයට සමාව ලැබෙන්නේ සුදුසු විදියට වරද පිළිගත් විට පමණි. නිසියාකාරව අධ්‍යාපනය ලැබුවහොත් විශාල දියුණුවක් ඇතිවේ. කොහේ සිටියත් අසල්වැසි අය මහා නපුරු අය වෙති. බාල කාලයේදී සහෝදර සහෝදරියන්ට අපල ඇතිවේ.

කන්‍යා රාශියෙන් සිව්වැන්න ධනු රාශියයි. එය ගුරුට අයත් වේ. ජීවිතයේ අග භාගයේදී සැනසිලිදායක ඉසුරුමත් ජීවිතයක් ගත කිරීමට ලැබේ. කෙසේ වෙතත් නෑදෑයින්ගෙන් නිරන්තරයෙන් සතුරුකම් ඇතිවන බැවින් ඒ අයගෙන් ඈත්වී වාසය කිරීම අභිවෘද්ධියට හේතු වේ. මව්පිය උරුමකම්වලින් දේපළ ලැබීම දුර්වල තත්ත්වයක පවතී. නමුත් උත්සාහයෙන් දේපළ ලබා දියුණු විය හැකිය. මව පියා අතර ඇති සම්බන්ධය පළුදු වීමටද ඉඩ ඇත.

ඔබේ පස්වැන්න මකර රාශියයි. එය සෙනසුරුට අයත් වේ. කුජගේ උච්ච රාශියයි. මුදල් ගනුදෙනුවලදී සහ හවුල් ව්‍යාපාරවලට මුදල් යෙදවීමේදී ඉතා කල්පනාකාරී විය යුතුය. නැතිනම් කරදරවලට පත්වේ. දූ දරුවන් පිළිබඳව හිතට කරදර ඇතිවේ. හිතුවක්කාර අය හෝ ක්‍රියා සූරකම්වලින් අඩු දුර්වල අය විය හැකිය. මහලු අය සමඟ ආශ්‍රය කිරීමට කැමතිය. එක දරුවකුට අකල්මරණ හෝ පවුලෙන් දුරස් වීමට සිදුවනු ඇත. රහස් පේ‍්‍රම සම්බන්ධ හේතුවෙන් සිතේ කැලඹීම් ඇතිවේ.

කන්‍යා රාශියෙන් සයවැනි කුම්භ රාශිය සෙනසුරුට අයත් වේ. විශේෂයෙන් රෝග පීඩා පිළිබඳව මේ ස්ථානයෙන් තොරතුරු දත හැකිය. ආමාශගත රෝග විශේෂ වශයෙන් වැලඳීමට හේතු වේ. මූත්‍ර ආබාධ, අජීර්ණ රෝග, ලේ අපිරිසුදු වීමෙන් සෑදෙන චර්ම රෝගවලටද භාජනය වේ. ඒවාට ඉක්මනින් ප්‍රතිකාර ගත යුතුය. අංශභාගය වැනි රෝගද වැලඳීමට හේතු වේ. සිහි නැති කරන ශල්‍යකර්ම ඔබට ගුණදායක නොවේ. ස්නායු දුර්වලත්වය ඇති නො වන ලෙස ජීවත් විය යුතුය. සේවකයන්ට තදබල ලෙස ක්‍රියා කරන්නෙක් වෙයි.

මීන කන්‍යාවෙන් හත්වැනි රාශියයි. එය අයිති වන්නේ ගුරු හෙවත් බ්‍රහස්පතිටය. සිකුරුගේ උච්ච රාශියයි. විවාහය පිළිබඳව මේ ස්ථානයෙන් තොරතුරු දත හැකිය. මෙය ද්වි ස්වභාව රාශියක් බැවින් විවාහයේදී පොරොන්දම් පරීක්ෂා කර බලා ගැළපෙන විවාහයක් කරගත යුතුය. එවිට යහපත් ගතිගුණ ඇති සහකාරියක් සහකරුවෙක් ලබා ගැනීමට හැකි වේ. රහස් පේ‍්‍රම සම්බන්ධ හේතුවෙන් අපකීර්තිට පත්වේ. කාමරාග සංසිඳුවා ගැනීමට අයථා ක්‍රමවලට ද යොමු වේ. මේ නිසා විවාහ දෙකක් සිදුවීමට ද හේතු වේ. නැතිනම් නීත්‍යානුකූල නොවන වෙනත් සම්බන්ධයක් පවතී. උසස් අයගෙන් ඔබට සතුරු කරදර ඇති වේ. ආලය සම්බන්ධ කටයුතු නිසා මේවා සිදු වේ.

කන්‍යා රාශියෙන් අටවැනි රාශිය වන්නේ මේෂ රාශියයි. එය කුජට අයත් වන අතර රවිගේ උච්ච රාශියයි. ආයුෂ, අනතුරු, මරණය, විවාහයෙන් ලැබෙන දායාද ගැනද තොරතුරු මේ ස්ථානයෙන් දත හැකිය. කුජගේ බලය අනුව දීර්ඝායුෂ විඳීමේ ශක්තිය ඇතත් හදිසි

අනතුරුවලට ලක්වීමට ඉඩ ඇත. මේ නිසා යන්ත්‍රසූත්‍රවල වැඩ කිරීමේදී ගමනාගමනයේදී ප්‍රවේශම් සහිත විය යුතුය. හදිසි අනතුරු සහ ශල්‍යකර්මවලින් මරණය සිදුවිය හැකිය. විවාහයේදී කල්පනාකාරි වුවහොත් දායාද හිමි වීමට ඉඩ ඇත. අවසාන කාලයේදී ස්ථාන දෙකක නිවාස ඉඩකඩම් හිමි කර ගැනීමට වාසනාව ඇත.

ඔබේ නවවැනි රාශිය වන්නේ වෘෂභ රාශියයි. එය සිකුරුට අයත් වේ. චන්ද්‍රයාගේ උච්ච රාශියයි. ආගම ධර්මයට ළැදි වන අතර ඒ ගැන ඉගෙනීමටද ආශාවක් දක්වයි. පිටස්තර ප්‍රදේශවල ජීවත් වීමට කැමැත්ත දක්වයි. ධනවත් වීමේ භාග්‍යය ඇත. සැනසිලිදායක තීරණ ගැනීමට කැමැත්ත දක්වයි. නිසියාකාර යහපත් විවාහයක් සිදුවුවහොත් තත්ත්වය උසස් වී දියුණුව සැලසේ.

කන්‍යා රාශියෙන් දසවැන්න මිථුන රාශියයි. එය බුධට අයත් වේ. පොත්පත් ලිවීම සාහිත්‍ය කටයුතු නිසා හොඳ සමාජ තත්ත්වයක් ඇතිවේ. රැකියාව පිළිබඳ වෙනස්වීම් ඇතිවේ. ගමනාගමන සේවය, තැපැල් දුම්රිය , ගුරු වෘත්තිය, සෞඛ්‍ය සේවය යන අංශවල රැකියා යෝග්‍ය වේ. සිත වෙහෙස කරන මෙැවනි රැකියාවලින් ධනය හා දියුණුව ඇතිවේ. ව්‍යාපාර කටයුතු කිරීමටත් වාසනාව ඇතත් රාජ්‍ය අංශයේ රැකියා වඩාත් යෝග්‍ය වනු ඇත. මිථුන ද්වි ස්වභාව රාශියක් වන බැවින් රැකියා එකකට වැඩි ගණනකින් ආදායම් ලැබීමට හැකි වේ. කරන සෑම දෙයක්ම බොහෝ කරදර මධ්‍යයේ කිරීමට සිදු වේ. එසේ වුවත් අවසානයේදී හැම දෙයකින්ම සතුට ශාන්තිය ඇතිවේ.

කන්‍යා රාශියෙන් එකොළොස්වැනි රාශිය වන්නේ කටක රාශියයි. එය සඳුට අයත් වේ. ගුරුගේ උච්ච රාශියයි. සමාජ සම්බන්ධය පළල් ලෙස තිබෙන අතර මේ නිසාම බොහෝ මිත්‍ර සම්බන්ධකම්ද ඇති වේ. ඒ මිත්‍රයන් අතර බේබදු සල්ලාල අයද වෙති. ඒ අය ආශ්‍රයෙන් වැළකිය යුතුය. නැතිනම් කරදර බාධා අවුල්වලට මුහුණපාන්නට සිදු වේ. හොඳ යහපත් මිත්‍රයන් නිසා අභිවෘද්ධිය සැලසේ.

කන්‍යා රාශියෙන් දොළොස්වැනි රාශිය වන්නේ සිංහ රාශියයි. එය රවිට අයත් වේ. ගුප්ත ධර්ම පිළිබඳ අවබෝධයක් මෙන්ම හොඳ යහපත් චිත්ත බලයක්ද ඇත. රහස් සතුරන්ගෙන් හිරිහැර නොවන අතර මහලු කාලය පී‍්‍රතියෙන්, සැපෙන් ගත කිරීමට වාසනාව ඇත. පෙර කළ කුසල අකුසල කරුණු අනුව මේවා සිදු වේ. උත්සාහය අනුව කරුණු වෙනස් කළ හැකිය. අසුබ ග්‍රහබල තිබෙන අවස්ථාවල ප්‍රවේශම් වීමෙන් සහ සුබ ග්‍රහබල පවතින අවස්ථාවල උත්සාහ කිරීමෙන් කටයුතු සාර්ථක කරගත හැකිය.

ළා රතු, ළා පාට ගල්, පද්මරාග පැලඳීම යහපති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
20 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.