ආදරයත් ලිංගිකත්වයත් පෙන්වන කුජ මණ්ඩලය

මැයි 31, 2024

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

අත්ලක මණ්ඩල හතෙන් තවත් එක් වැදගත් මණ්ඩලයක් කුජ මණ්ඩලය ලෙස හැඳින්විය හැකිය. කුජ මණ්ඩලය ලෙස සලකන ස්ථාන දෙකක් අත්ලෙහි ඇත.

බුධ මණ්ඩලයට පහළ චන්ද්‍ර මණ්ඩලයට ඉහළ අත්ලේ පිට දාරයට ආසන්න කොටස ඉහළ කුජ මණ්ඩලය හෙවත් නිෂේධාත්මක කුජ මණ්ඩලය ලෙසත් ජීවන රේඛාවට ඇතුළතින් සිකුරු මණ්ඩලයට ඉහළින් ගුරු මණ්ඩලයට පහළින් පිහිටි කොටස පහළ කුජ මණ්ඩලය හෙවත් නිශ්චිත කුජ මණ්ඩලය ලෙසත් හැඳින්වේ.

මනා ශාරීරික ශක්ති පොදුවේ ගත් කල කුජ මණ්ඩලය බලවත් පුද්ගලයන් සටන්කාමී අදහස් ඇති නිර්භීත, උද්යෝගිමත් පුද්ගලයන්ය. ඔවුන් ආරම්භ කළ වැඩක් අවසානය දක්වා කරන හැඟීමෙන් යුතු වේ. එමෙන්ම ආත්ම විශ්වාසයෙන් වැඩකටයුතු කරන අය වේ. තවද මොවුන් සටන්කාමි වුවද සාධාරණ යුක්තිගරුක පුද්ගලයන් වේ. අයුක්තිය, අසාධාරණය ඉදිරියේ නොඉවසන අය වේ. කුජ ප්‍රබල පිරිමි පුද්ගලයන් ආදරයට සහ ලිංගික ක්‍රියාවලට වැඩි ළැදියාවක් දක්වන නිසා විවාහ ජීවිතය විනෝදකාමිව ගෙවන අතර කාන්තාවන් සැමියාගේ කටයුතුවලට ආධාර කරමින් විවාහය සාර්ථක කර ගනියි. මොවුන්ට උෂ්ණාධික රෝග, වකුගඩු ආබාධ සහ උගුරේ ආබාධ බහුලව වැලඳිය හැකි බැවින් ප්‍රවේසම් විය යුතුය.

අයහපත් කුජ මණ්ඩලයක් සතු පුද්ගලයා ඉහත් කී යහපත් ගුණාංගවලට ඉඳුරාම වෙනස් ගතිගුණවලින් යුක්ත වේ.

ඉහළ කුජ මණ්ඩලය ප්‍රබල අයකු හොඳ හෝ නරක ඕනෑම දෙයක් දරාගැනීමේ ශක්තිය හිමි හොඳ ආත්ම විශ්වාසයකින් වැඩ කරන පුද්ගලයන් වේ. උපාය කෞශල්‍යය හොඳින් පිහිටා ඇත. ඒ වගේම පිරිස අතර කැපී පෙනීමට කැමති පුද්ගලයන් වේ. රූමත් යුවතියන්ට කැමතිය. ස්වකීය ආරක්ෂාව සපයා ගනිමින් සතුරන්ට ප්‍රහාර දෙයි. මොවුන්ගේ ඇති විශේෂ හැකියාව වන්නේ ඕනෑම පීඩනයක් දරා ගැනීමේ හැකියාවයි. එසේම ඉහළ කුජ මණ්ඩලය දුබල අයෙකු නම් රෝගවලට ඔරෝත්තු දීමේ හැකියාව අඩුය. සුළු කරුණකින් පවා අධෛර්යයට පත්වේ. බොරු වීරකම් ඇත. මොවුන් බිය සුලුය. ඉච්ජා භංගත්වය නිසා සිය දිවි නසා ගැනීමට පෙලඹීමට පුළුවන.

ඉහළ කුජ මණ්ඩලයේ සිරස් රේඛාවක් පිහිටා ඇත්නම් ධෛර්යයෙන් වැඩ කටයුතු කරගත හැකි අතර ඔබට අනතුරුදායක අවස්ථා පවා අනතුරු රහිතව ප්‍රයෝජනයට ගත හැකි පිහිටීමකි. එසේම ත්‍රිකෝණය යහපත් මණ්ඩලයක නම් සුබ වන අතර අයහපත් මණ්ඩලයක නම් අසුබ පිහිටීමක් වේ. යහපත් ඉහළ කුජ මණ්ඩලයක තරු සලකුණක් නම් ඉතා හොඳින් ඉවසීමෙන් සහ උපායශීලිව දීප්තිමත් ජීවිතයක් ගත කිරීමේ හැකියාව පෙන්වයි. අයහපත් අතක තරු සලකුණක් නම් ඊර්ෂ්‍යාව සහ දුෂ්ඨ ගතිය නිසා දිවිමඟ අඩාළ කර ගන්නා පිහිටීමකි. සමහර විට මොවුන් සිය දිවි හානිකර ගැනීමට පවා පෙළඹීමට ඉඩ ඇත. රහස් සතුරන්ගෙන් ඇතිවන බලපෑම පෙන්වන්නේ මණ්ඩලය මත කතිර සලකුණක් තැබීමෙනි. ඉහළ කුජ මණ්ඩලයක දූපතක සලකුණ පිහිටා ඇත්නම් ආත්ම විශ්වාසය හීනවීම වගේම බියගුලුබව පෙන්වන පිහිටීමකි. මොවුන් දියුණු වන්නට ඇති කටයුතු වෙනුවෙන් ඉදිරිපත් වීමට මැළි ස්වභාවයක් පෙන්වයි. දැල් සලකුණද ඉහළ කුජ මණ්ඩලයේ පිහිටා ඇත්නම් හදිසි අනතුරුවලින් මරණය සිදුවිය හැකි පිහිටීමකි. එම නිසා ඉතා අවධානයෙන් කටයුතු කළ යුතුය.

පහළ කුජ මණ්ඩලය හෙවත් නිශ්චිත කුජ මණ්ඩලය ප්‍රබල පුද්ගලයා කුමන හෝ ආකාරයෙන් ජයග්‍රහණය ලබා ගැනීමට වෙහෙසෙන පුද්ගලයෙකි. ප්‍රබල සටන්කාමි බවකින් යුක්තය. ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන පුද්ගලයෙකි. මොවුන් ආහාරපාන සඳහා ලොල් බවක් දක්වයි. නිතරම සාධාරණය පැත්තේ හිට ගනී. ආදරය කිරීමට සහ කාමුක ක්‍රියාවලට දැඩි රුචියක් දක්වනවා සේම විරුද්ධ ලිංගිකයාගේ කැමැත්ත සහ අනුමැතිය ඇතැත් නැතැත් කෙසේ හෝ පොලඹවා ගැනීම සිදු කරයි. මත්පැන්වලට යොමුවීම සහ අපරාධ කිරීමට පෙලඹීම මොවුන්ගේ අයහපත් ලක්ෂණ වේ.

එමෙන්ම පහළ කුජ මණ්ඩලය දුබල පුද්ගලයා ආත්ම ශක්තියක් නොමැති පුද්ගලයකු වේ. ප්‍රයෝග මඟින් තම අදහස් ඉටුකර ගැනීමට මාන බලන පළිගැනීමේ චේතනාව සහිත පුද්ගලයන්ය. මොවුන්ද සමාජ විරෝධි ක්‍රියාවලට යොමුවන දරුණු අපරාධකරුවන්ය. මෙවැනි පුද්ගලයන් කුඩා කාලයේ සිටම හොඳ අධ්‍යාපනයක් ලබා දීමෙන් නිසි මඟට යොමු කර ගත හැකිය. පහළ කුජ මණ්ඩලයේ ත්‍රිකෝණ ලකුණක් පිහිටා ඇත්නම් ඔහු ඉතා ප්‍රබල යුධ උපායේ දක්ෂ පුද්ගලයෙකි. ඔහුන්ගේ දියුණුව ඇතිවන්නේ හමුදා සේවයෙන් හෝ ක්‍රීඩාවෙනි. තරු සලකුණද සටන්කාමි බව වැඩි කරන ලක්ෂණයකි. එහෙත් යුදකාමී අදහස් හේතුවෙන් ජීවිතයේ දියුණුව අඩුවේ. හමුදාවේ සේවය කරයි නම් උසස් නිළතලවලට හිමිකම් කියන පිහිටීමකි. කතිර සලකුණ ප්‍රබල මණ්ඩලය දුබල කරන ලක්ෂණයකි. එය යහපත් පිහිටීමක් නොවේ. එවැනි පිහිටීමක් පුද්ගලයාගේ මරණය දිවි නසාගැනීමක් හෝ අඬදබර නිසා සිදු විය හැකි බව පෙන්වයි.

පුද්ගලයකුගේ කුජ මණ්ඩලය සහ ගුරු මණ්ඩලය ප්‍රබල නම් එය ඉතාමත් යහපත් පිහිටීමකි. ආත්ම ධෛර්යය සහ උනන්දුව වැඩි කරන ලක්ෂණයක් හෙයින් රැකියාව කුමක් වුවත් උසස් තනතුරුවලට ළඟා වේ. ඔහු ප්‍රසිද්ධියට පත්වන පුද්ගලයෙකි. කුජ මණ්ඩලය සහ චන්ද්‍ර මණ්ඩල ප්‍රබල නම් එය එතරම් යහපත් ලක්ෂණයක් නොවේ. මොවුන් ගන්නා තීන්දු තීරණ නිවැරදි නොවේ. බලාපොරොත්තු වන සාර්ථකත්වය සිහිනයක් වෙයි. කුජ මණ්ඩලය සහ සිකුරු මණ්ඩලය ප්‍රබල නම් ඉතාම යහපත් ලක්ෂණයකි. සමාජයට ප්‍රිය පුද්ගලයකු බිහි කරයි. ඔවුන්ගේ කතා රටාව මෙන්ම හැසිරීම් රටාව ප්‍රිය උපදවනසුලුය. මණ්ඩල දෙක අයහපත් නම් ඉඳුරන් පිනවීමට සහ සුඛ විහරණයට වැරදි ලෙස පෙලඹීමෙන් කරදරයට සහ අපහාසයට පත් වේ.

කුජ මණ්ඩලය සහ බුධ මණ්ඩලය ප්‍රබල නම් අවස්ථාව එනතුරු සිට තම අභිමතාර්ථයන් ඉතා හොඳින් සාර්ථක කර ගත හැමිය. එහෙත් මණ්ඩල දෙක අයහපත් නම් දරුණු අපරාධකාරයකු බිහිවීමට පුළුවන. කුජ ශනි මණ්ඩල ප්‍රබල නම් කුජ මණ්ඩලයේ දර දඩු ගතිය දුර්වල කර මධ්‍යස්ථ පුද්ගලයකු බිහිකරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.