ඇසුරු කරන්නන්ට පක්ෂපාතී සුනඛ රාශි හිමියෝ..

ජූලි 28, 2023

චීන ඡ්‍යොතිෂ්‍යයට අනුව ඔබට මේ වසර කෙසේදැයි අපි මෙතෙක් ඔබට පැවසුවෙමු. එහිදී චීන රාශි දොළහෙන් රාශි දහයකම තොරතුරු එදිරිපත් කළ අතර අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ දොළොස්වැනි රාශිය හිමි අයගේ චරිත ලක්ෂණ හා ඔවුන්ගේ ජීවන තොරතුරුයි.

චීන රාශි දොළහෙන් එකළොස්වැනි රාශිය වන්නේ සුනඛයාගේ රාශියයි. සුනඛයාගේ රාශිය හිමි පුද්ගලයන් වන්නේ 1934, 1946, 1958, 1970, 1982, 1994, 2006, 2018 යන වසරවල ඉපදුණ පුද්ගලයන් ය.

සුනඛයාගේ රාශියේ පුද්ගලයන් සතු ප්‍රධානම ලක්ෂණය වන්නේ ඔවුන් සතු පක්ෂපාතීත්වයයි. ඔවුන් කිසි විටෙකත් තමාගේ හිත මිතුරන්, පවුල හෝ රැකියාව අත් නොහරිනු ඇත. අවංක සහ සාධාරණ හැඟීමෙන් යුතු මොවුන් සමාජයේ දී ජනප්‍රිය පුද්ගලයන් බවට පත් වේ. සෑම පුද්ගලයකුට ම උපදෙස් හා උපකාර ලබා ගැනීම සඳහා සුනඛ රාශියේ මිතුරකු හෝ හිතවතෙකු අවශ්‍ය ය. මන්ද ඔවුන් අන් අයට එම පුද්ගලයන්ගේ නරක පුරුදු සොයා ගැනීමට හා ඒවා නිවැරැදි කරගැනීමට උදවු කිරීමට ද දක්ෂ පුද්ගලයන් වේ. ඔවුන් යම් තීරණයකට එළඹි පසුව එය වෙනස් කිරීමට කිසිවකුට නොහැකි වීමද ඔවුන් සතු විශේෂ ලක්ෂණයකි.

සුනඛයාගේ වසරවල උපන් පුරුෂයන් ඍජු හා අව්‍යාජ පුද්ගලයන් වේ. ඇතැම්විට අසුබවාදී අදහස් ඔවුන් තුළ තිබුණද ජවසම්පන්න පුද්ගලයන් බව ද කිව යුතුය. නිදහස් මතධාරීන් වන මොවුන් නිරන්තරයෙන් අන් අය නිවැරැදි කිරීමට සහ ඔවුන්ගේ ස්ථාවරය ආරක්ෂා කිරීමට සූදානම් ය. මොවුන් තම පවුල ගැන ගැඹුරින් සිතා කටයුතු කරන්නන් ය. ඔවුන්ගේ මුරණ්ඩුකම තම ආදරණීයයන් ඉදිරියේ මැකී යයි. සුනඛ රාශියේ පුද්ගලයන් තම ආදරණීයයන් අවබෝධ කරගැනීමට හා ඔවුන් සමඟ සම්මුතියක් ඇතිකර ගැනීමට කටයුතු කරන අතර එම නිසා සමඟියෙන් පවුල් දිවිය ගත කිරීමේ හැකියාව ඔවුන් සතුය.

සුනඛ වසරේ උපන් කාන්තාවන් ඉතා ප්‍රවේසම්කාරී ය. ඔවුහු තමා අකැමැති පුද්ගලයන් කෙරෙහි උදාසීන ගති පෙන්නුම් කරන අතර පහසුවෙන් අන් අය විශ්වාස නොකරති. නමුත් ඔවුන් තීරණ ගත් පසුව එය ස්ථීර තීරණයක් වේ. තම මිතුරන් හා පවුලේ අය දැඩි ලෙස ආරක්ෂා කරන ලක්ෂණයක් ද සුනඛ රාශි හිමි කාන්තාවන් සතුය. මොවුන් දක්ෂ තැනැත්තියන් වන අතර ස්වාධීන වේ. එළිමහන් ක්‍රියාකාරකම්වලට හා සොබාදහම ආශ්‍රීතව සිටීමට වඩාත් කැමැත්තක් දක්වයි. කෙසේ වෙතත් මොවුහු වෙහෙස මහන්සි වී වැඩ කරන අතර සාර්ථක වන තුරු කාර්යයන් අත් නොහරිති. ඇයගේ වෘත්තිය සඳහා ආරක්ෂාව හා ස්ථිර ආදායමක් තිබීම ප්‍රමාණවත් වේ.

සුනඛ රාශියේ පුද්ගලයන් පක්ෂපාතී සියලු නියෝගවලට කීකරු පුද්ගලයන් වේ. ඔවුනට ලබාදෙන ඕනෑම කාර්යයක් ඉටු කිරීමට ඔවුහු උපරිම උත්සාහයක් දරති. අන් අයට වඩා හොඳ පුද්ගලයකු වීමේ අවශ්‍යතාව පවතින හෙයින් තරගකාරී රැකියාවන් ඔවුනට හොඳීන් ගැළපේ. තාර්කික හැකියාවෙන් යුතු සුනඛ ලග්න හිමියෝ උසස් තත්ත්වයක

සිටීමේ අනතුරුදායක බව දකින නිසා පසුබිමේ සිටිමින් අන් අයට සහාය ලබා දීමට කැමැත්තක් දක්වති. තිරය පිටුපස සිටිමින් කරන රැකියා ඔවුන් වඩාත් හොඳීන් සිදු කරනු ඇත. පුද්ගලයන් විශ්වාසවන්තදැයි තීරණය කිරීමට පෙර ඔවුන් සියල්ලන් ම විනිශ්චය කිරීමට පෙලඹෙන බැවින් මෙම රාශියේ පුද්ගලයන් විනිසුරුවරුන්, නීතිඥයන් ලෙසින් රැකියා කිරීමට ද සම්මුඛ පරීක්ෂකයන් ලෙසින් කටයුතු කිරීමට ද වඩාත් සුදුසු වේ. සාමාන්‍යයෙන් සුනඛ රාශි හිමියෝ සෞඛ්‍ය සම්පන්න ය.

නමුත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඕනෑම දෙයකට ඔරොත්තු දෙන බවක් පෙනෙන්නට තිබුණ ද ඉන් සිදුවන්නේ ඔවුනට ඇතිවිය හැකි රෝග ලක්ෂණ සැඟවීමකට ලක්වීමයි. මේ නිසා කුඩා සීතලක් නිසා වුවද ඔවුනට දින ගණනාවක් ඇඳේ සිටීමට හේතු විය හැකියි. ඉන්ෆ්ලුවෙන්සා සහ අනෙකුත් බෝවන රෝග ගැන සැලකිලිමත් වන්න. තරුණ වියේ දී ආහාර ජීර්ණ පද්ධතිය ගැන දැඩි අවධානයකින් කටයුතු කළ යුතුය. ඔවුනගේ ලොකුම සතුරා වන්නේ සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර වේලයි. රැකියාවක යෙදෙන විට සුනඛ රාශියේ පුද්ගලයන් නිරන්තරයෙන් කාර්යබහුල වනු ඇත. ආතතිය, හිසරදය, ඉරුවාරුදය ඇති විය හැකිය.

මේ ගැන වඩාත් සැලකිලිමත් විය යුත්තේ එය උත්සන්න වුවහොත් ඇතැම්විට හිස්ටීරියාවට පවා හේතු විය හැකි බැවිනි. සෞඛ්‍ය සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය කිරීම සඳහා මොවුන් හැකි ඉක්මනින් ව්‍යායාම කිරීම ඇරැඹිය යුතුය. මේ සඳහා අවශ්‍ය පරිදි විවේක ගැනීම සහ යෝගා වැනි ක්‍රියාකාකම් නිර්දේශ කළ හැකිය.

සුනඛ රාශි හිමියන් හාවා රාශියේ පුද්ගලයන්ගේ කරුණාවන්ත භාවයට ආකර්ෂණය වන අතර හාවා බල්ලන්ට නිතරම සහාය දක්වයි. බල්ලන් බොහෝ විට අසුබවාදී වන නිසා කොටියාගේ රාශියේ පුද්ගලයකුගේ සහාය අවශ්‍ය වේ. කොටියාගේ රාශියේ පුද්ගලයන්ට ද සුනඛ රාශියේ පුද්ගලයන්ගේ සහාය අත්‍යවශ්‍ය වේ. අශ්වයා රාශියේ අය හා සුනඛ රාශියේ පුද්ගලයන්ට හොඳීන් එකිනෙකාගේ අදහස් තේරුම් ගැනීමේ හැකියාව පවතී. මේ නිසා හාවා, අශ්වයා හා කොටියා රාශි සුනඛ රාශියට වඩාත් ගැළපේ.

සුනඛ රාශියේ පුද්ගලයන් හා මකර රාශියේ පුද්ගලයන් දැඩි ලෙස ගැටෙන බැවින් ඔවුන් එකිනෙකා හා නොගැළපේ. ඔවුහු එකිනෙකා විශ්වාස නොකරති. ගව රාශියේ පුද්ගලයන් හා සුමටව අන්තර් ක්‍රියා කළ නොහැකි බැවින් ඔවුන්ද සුනඛ රාශියට නොගැළපෙයි. එළුවාගේ රාශියේ පුද්ගලයන් ද සුනඛ රාශියේ පුද්ගලයන්ට නොගැළපුණ ද ඔවුන්ට එක්ව විසීමට යම් දුරකට හැකියාව පවතී.

සුනඛ රාශියේ අයට සුබ වර්ණ වන්නේ: කොළ, රතු, දම් පැහැයන්ය. ජය අංක වන්නේ: අංක 3,4,9 යන අංකයන් ය.

වාසනාව කැඳවන පාෂාණය වන්නේ: එමරල්ඩ් පාෂාණයයි.

අවාසනාව කැඳවන වර්ණ වන්නේ: නිල් හා දුඹුරු වර්ණයන් ය.

අවාසනාව ගෙනෙන අංක වන්නේ: අංක 1,7,8 යන අංකයන් ය. මේ වසර සුනඛ රාශි හිමි ඔබගේ ආදරය දීප්තිමත්ව පතිනු ඇත. මේ වසරේදී ඔබේ සබඳතා මිත්‍රශීලී හා ප්‍රේමණීය යන දෙඅංශයෙන් ම පිරිපුන් ය. අවිවාහක ඔබ සොයන ආදරය මේ වසරේදී ලැබිය හැකි අතර එය උද්‍යෝගිමත් ද වනු ඇත. ඔබ කොතැනකට ගියත්, කොතැනක සිටියත් මේ වසරේ දී ඔබේ ආකර්ෂණ ශක්තිය වඩාත් දියුණු බැවින් කැපී පෙනෙන චරිතයක් බවට පත් වේ. එමනිසා නිතැතින් ම විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය ලැබේ. මේ වසරේ දී බොහෝ මිතුරු පිරිසක් අලුතෙන් ඇතිවන අතර ඉන් බොහෝ පිරිසක් ගැන අඩු උනන්දුවක් ද දක්වනු ඇත. ඔබ ඔබම වන්න. ඉන් ඔබට ආකර්ෂණය වන්නේ කවුරුන්දැයි බලන්න. කිසිවකු වැරැදි අදහසක් ලබා ගැනීමට පෙර ඔබේ සබඳතා තත්ත්වය පිළිබඳ කල්තියා දැන සිටීම ඔබගේ වගකීමකි. ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ තව තවත් සමීප වනු ඇති අතර ඔබ දෙදෙනාට ම ඔබ මුලින්ම මුණගැසුණු දිනය මෙන් ඔබ උද්‍යෝගිමත්ව හා ආකර්ෂණීයව පෙනෙනු ඇත.

ඔබගේ වෘත්තීය දිවියේ යම් අභියෝග හා යම් වෙනස්කම් ඇති වුවද සියල්ල යහපත්ව සිදුවනු ඇති බව පැවසිය හැකිය. ඔබේ ශක්තිය ඔබේම වැඩ කෙරෙහි යොමු කිරීමට මතක තබා ගන්න. ඔබ මේ වසරේ රැකියාව හා ජීවිතය අතර පැහැදිලි සීමාවක් තබා ගැනීම සුදුසුය. ඔබ යම් පෞද්ගලික කරුණු තවත් අයකු සමඟ බෙදා ගන්නේ නම් අවසානයේ දී එම පුද්ගලයා ඒවා ඔබට එරෙහිව යොදා ගනිමින් හානි කිරීමට හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. අන් අය සමඟ මිත්‍රශීලීව කටයුතු කිරීමේ දී තමාගේ පෞද්ගලිකත්වය අන් අය සමඟ අනවශ්‍ය අයුරින් බෙදා හදා ගැනීමට නොයන්න.

තමාගේම ව්‍යාපාරයක නියැළෙන ඔබ තම ව්‍යාපාරයේ වටිනා දේ ඔබේ ව්‍යාපාරික තරගකරුවන්ට හෝ හවුල්කරුවන්ට විකුණා දැමිය හැකි ද්‍රෝහී නිලධාරීන්, සේවකයන් ගැන විමසිල්ලෙන් කටයුතු කළ යුතුය. ඔබ විශ්වාසවන්ත හා අව්‍යාජ ස්වභාවයෙන් යුතු වුවත් අන් හැම දෙනාම එසේ නොවන බව සිතෙහි තබාගෙන කටයුතු කරන්න.

ඔබේ රැකියා ස්ථානයේ පැතිර යන කටකතාවකට ඔබ ගොදුරු වන්නේ නම් එහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ ආදායම අඩාළ වේ යැයි සිතේ නම් ඒ ගැන නොතකා සිටින්න. මන්ද ඔබ කුමනාකාරයේ අයකුද යන්න මේ වසරේදී ඔබේ ඉහළ නිලධාරීන් විසින් දැනගනු ඇති බැවින් ඔබට කිසිදු අවමානයක් හෝ පාඩුවක් සිදු නොවේ. ඒ දේවල් ඔබේ වාසියට පෙරළී ඔබට යම් යම් ලැබීම් ද ඇති වේ.

ඔබ ව්‍යවසායකයකු නම් මේ වසරේ දී තාවකාලික මූල්‍ය පසුබෑමකට ලක්විය හැකිය. ඔබට සේවාදායකයන් කිහිපදෙනකු අඩු වීමෙන් මේ තත්ත්වය ඇති විය හැකිය. නමුත් මේ තත්ත්වය දිගු කාලීන නොවන නිසා එය එතරම් ලොකු හානියක් ඔබට නොකරයි.

පවතින ගැටලුව නිරාකරණයකර ගනුදෙනුකරුවන් ඔබ වෙත ආපසු ඒමට ඒත්තු ගැන්වීමෙන් හෝ විශාල හා වඩා ලාභදායී නව සේවාදායකයන් ළඟාකර ගැනීමෙන් පාඩුව මකා ගැනීමට ක්‍රමයක් සොයා ගත හැකිය. මේ වසරේදී ගෝලීය ආර්ථික වාතාවරණය බොහෝ ආයෝජන සඳහා සුබවාදී නොවේ. එමනිසා ඕනෑම නව ව්‍යාපාරයකට ආයෝජනය කිරීමට පෙර වඩාත් ප්‍රවේසම් වන්න.

මේ වසරේ දී ඔබ අන් කටයුතුවලට, මිතුරු ඇසුරට වඩා අධ්‍යාපනයට ඉඩ වෙන් කිරීම ප්‍රතිඵලදායක වනු ඇත. ඔබ වෙනත් පාසලකට යාමට අදහස් කරන්නේ නම් මේ ඒ සඳහා උත්සාහ කිරීමට සුදුසුම වසරයි.

මේ වසරේ දී හොඳීන් ආහාර ගැනීමට හා හොඳීන් නිදා ගැනීමට පුරුදු වන්න. වසර කිහිපයක් තිස්සේ ඔබ යම් රෝගී තත්ත්වයකින් පීඩා විඳීන්නේ නම් ඒ සඳහා ඖෂධ ලබා ගැනීමට මේ හොඳම වසරකි. මේ සඳහා ඔබට ව්‍යායාම කිරීමට ද සිදු වනු ඇත.

අප දිනෙන් දින ම වයසට යන බැවින් ආහාර පුරුදු වෙනස් කරගැනීමෙන් ඔබේ සෞඛ්‍ය තත්ත්වය රැක ගැනීමට උනන්දු වන්න. ඔබට මේ වසරේ දී ඕනෑම අංශයකින් කිසිදු බරපතළ ගැටලුවකට මුහුණ දීමට සිදු නොවනු ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.