සජීවී ක්‍රිකට් විස්තර ප්‍රචාරයට මුල පිරූ ඒරාෂ්ටක අපලකරු

අගෝස්තු 9, 2024

අද දිනයේදී කතාබහ කරන්නට බලාපොරොත්තු වන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රතිරූපයට නවමු වටිනාකමක් දුන් ගුවන් විදුලි සජීව විස්තර ප්‍රචාරය ඔස්සේ අමිල මෙහෙවරක් සිදු කළ කීර්තිමත් පුද්ගලයකු ඒරාෂ්ටක කාලවකවානුවලදි මුහුණ දුන් අත්දැකීම් පිළිබඳව සාකච්ඡා කරන්නටය. ඒ අන් කිසිවකුත් නොව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂවරයකු වූ පාලිත පෙරේරාය.

පාලිත පෙරේරා මහතාගේ ලග්නය මිථුන වන අතර චන්ද්‍රයා 12 වැනි භාවය තුළ තැන්පත්ව ඇත. මෙහිදී චන්ද්‍රයා සමඟ ශනිද 12 වැනි භාවය තුළ තැන්පත්ව ඇති නිසා ඒ මහතා ඉතා ප්‍රබල ජන්ම ඒරාෂ්ටකයකින් උත්පත්තිය ලබා ඇති අතර ඒ මහතා උපත ලත් දිනයේ සිට 1943 වසරෙහි අගෝස්තු 6 වැනිදා දක්වා කාලය තුළද 1943 දෙසැම්බර් 16 වැනිදාත් 1944 අපේ‍්‍රල් 23 වැනිදාත් අතර කාලය තුළද ඔහුට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති අතර ඉන් පසුවද ඔහුට 1946 ජුනි 8 වැනිදා දක්වාම ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව සහ ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත වී ඇත.

පාලිත මහතා තම අතීතය ආවර්ජනය කරමින් පැවැසුවේ ඔහු වයස අවුරුදු දෙකේදී පමණ එකම දිනකදී සිදු වූ මාරක අනතුරු දෙකකින් යන්තමින් දිවි ගලවා ගත් බවය. ඒ මහතාගේ උත්පත්ති කේන්ද්‍ර සටහනට අදාළව ග්‍රහ ගෝචරයන් අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ එම මාරක අනතුරු සිදු වන්නට ගොස් ඇත්තේ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ආශි‍්‍රතව බවය.

ඒ අනුව එම අනතුරු සිදු වන්නට ගියේ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කළ නිසා යැයි කෙනෙකුට තර්ක කළ හැකි අතර එම අනතුරුවලින් අනූනවයෙන් දිවි ගලවා ගත හැකි වූයේ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාවේ වාසනා ගුණය නිසා යැයි තවත් කෙනෙකුට තර්ක කළ හැකිය. පාලිත පෙරේරා මහතාගේ මිථුන ලග්නය දරන කේන්ද්‍ර සටහනට අනුව, 1961 වසරෙහි පෙබරවාරි 1 වැනිදාත්, 1961 වසරෙහි සැප්තැම්බර් 18 වැනිදාත් අතර කාලය තුළද 1961 වසරෙහි ඔක්තෝබර් 7 වැනිදාත්, 1964 වසරෙහි ජනවාරි 27 වැනිදාත් අතර කාලය තුළද තදබල අෂ්ටම ඒරාෂ්ටකයක් ගත වී ඇති බව පෙනේ.

ඒ අනුව 1962 වසරේදී පාලිත පෙරේරා මහතාට ආනන්ද නාලන්දා සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් නාලන්දා විද්‍යාලය සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන විට ප්‍රබල අෂ්ටම ඒරාෂ්ටකයක් ගත කර ඇති බව පෙනේ. ඔහු නාලන්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ ඉතා කැපී පෙනෙන චරිතයක් වී ඇත. එමෙන්ම පසු කලක පාලිත පෙරේරා මහතා විසින් ලබා ගෙන ඇති සකලවිධ ජයග්‍රහණවලට අදාළ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් වී ඇත්තේ ඒ මහතා ජාතික ගුවන් විදුලියට පිවිසීම වන අතර ඔහුට ගුවන් විදුලියේ තීරණාත්මක රැකියාව ලැබී ඇත්තේ 1963 වර්ෂයේදීය. එනම් පාලිත මහතාගේ මුළු ජීවිතයටම බලපා ඇති සිදුවීමක් ලෙස ගුවන්විදුලියේ රැකියාව ලැබීම දැක්විය හැකිය. පාලිත පෙරේරා මහතා පසු කලෙක ලබාගත් ප්‍රසිද්ධිය, කීර්තිය, ජනපි‍්‍රය බව ඇතුළු බොහෝ ජයග්‍රහණවලට ගුවන්විදුලියට පිවිසීම ඍජුවම බලපා ඇත.

පාලිත පෙරේරා මහතා ගුවන්විදුලියට තේරී පත්වීම ශ්‍රී ලාංකීය ගුවන්විදුලි ශ්‍රාවකයන්ගේ ද වාසනාවක් ලෙස මා පෞද්ගලිකව සිතන අතර ගුවන්විදුලිය නිසා ඒ මහතා බැබළීමද ඒ මහතා නිසා ගුවන්විදුලිය බැබළීමද සිදු විය. මෙහි විශේෂත්වය වන්නේ ඔහුට මේ විශේෂ ජයග්‍රහණය ලැබී ඇත්තේද අෂ්ටම ඒරාෂ්ටක කාලයකදී වීමය. එනම් මීට කලින් ලිපිවලින් පෙන්වා දුන් පරිදිම ඒරාෂ්ටක කාල සීමා තුළ මුළු ජීවිත කාලයටම බළපාන සිදුවීම් සිදු විය හැකි බව පෙනේ.

එපමණක් නොව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ද ඉතිහාසයේ තීරණාත්මකව වසර 1963 වසර වන බව පෙනේ. එයට හේතුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරගයක් සම්බන්ධයෙන් මුල්වරට අඛණ්ඩ සජීව විස්තර ප්‍රචාරයක් ආරම්භ වී ඇත්තේ 1963 වර්ෂයේ මාර්තු මාසයේදී වීමය. එහි පුරෝගාමියා වී ඇත්තේද පාලිත පෙරේරා මහතාය. වන අතර ඒ හේතුවෙන්ම පසු කලක ඔහු කීර්තිමත් ක්‍රීඩා මාධ්‍යවේදියෙකු බවට පත් විය.

එම ඓතිහාසික විස්තර විචාරය ශ්‍රී ලංාකීය ක්‍රිකට් වංශකතාවේ තීරණාත්මකව කඩඉමක් වූ අතර ඒ හේතුවේ ක්‍රිකට් ක්‍රීඩාවේ යශෝරාවය ගම්දනවු සිසාරා පැතිර යන්නට විය. එනම් පසු ගිය කාලයේ ක්‍රිකට් ක්‍රීඩාව ලබා ගත් සකලවිධ ජයග්‍රහණවලට පදනම වූයේ ගුවන්විදුලි සජීව සිංහල විස්තර ප්‍රචාර වන අතර එම විස්තර විචාර ආරම්භ වී ඇත්තේ 1963 වර්ෂයේදී පාලිත පෙරේරා මහතාගේ මූලිකත්වයෙනි.

මෙම සජීවි විස්තර විචාරයේ ආරම්භය පාලිත පෙරේරා මහතාගේ මාධ්‍ය ජීවිතයේද

සුවිශේෂී කඩඉමක් වී ඇත. මෙම සුවිශේෂී කඩඉම සනිටුහන් වන 1963 මාර්තු මාසය වන විට ද ඒ මහතා අතිප්‍රබල අෂ්ටම ඒරාෂ්ටකයක් ගත කරමින් සිට ඇත. ඒ අනුව පාලිත පෙරේරා මහතාට ඔහුගේ අෂ්ටම ඒරාෂ්ටක කාලසීමාව, ඒ මහතාගේ ජීවිතයෙහි ඉතා සුවිශේෂී කඩයිමක් වී ඇති බව පෙනේ. එසේනම් ඒරාෂ්ටක කාලසීමාවල අසුබඵලම ලැබෙන්නේ යැයි පවසන්නේ කෙසේද?

පාලිත පෙරේරා මහතාගේ කේන්ද්‍ර සටහනේ චන්ද්‍රයා 12 වැනි භාවය තුළ තැන්පත්ව ඇති නිසා 1968 ජුනි 17 වැනිදාත් 1968 සැප්තැම්බර් 28/ වැනිදාත් අතර කාලය තුළ සහ 1969 මාර්තු 7 වැනිදාත් 1971 අපේ‍්‍රල් 28 වැනිදාත් අතර කාලය තුළ ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියරද 1971 අපේ‍්‍රල් 28 වැනිදාත් 1973 ජුනි 10 වැනිදාත් අතර කාලය තුළ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාවද ගත වී ඇති බව පෙනේ. 1971 අපේ‍්‍රල් 5 වැනිදා “71 කැරැල්ල” පැවති දිනයෙහි දිවි පරදුව තබා ගුවන්විදුලිය ආරක්ෂා කර ගත් අයෙකු ලෙස පාලිත පෙරේරා මහතාව හඳුන්වා දිය හැකිය. ඒ අනුව මේ සුවිශේෂී සිදුවීම සිදු වී ඇත්තේද ඒ මහතා ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ලබන්නට ඉතා ආසන්න කාල වකවානුවකදීය.

කෙසේ වෙතත් එම දිනයෙහි ඔහුගේ සිතට දැඩි බියක් ඇති වූ බවත් ඒ මහතා මා සමඟ පැවසුවේය. ප්‍රබලම ඒරාෂ්ටක කාලවකවානුවල සිතට බියජනක සිතුවිලි ඇති වන බව අප මීට කලින්ද පෙන්වා දී ඇත. 1969 වසරෙහි මැයි මාසයේදී පාලිත පෙරේරා මහතාගේ සංසාරික විවාහය සිදු වී ඇත. ඒ අනුව ඒ මහතා වසර 55ක් පමණ තිස්සේ තම ආදරණීය බිරිඳ සහ දුවා දරුවන් සමඟ ඉතා සාර්ථක සහ ඉතා ආදර්ශවත් යුග දිවියක් ගත කරමින් සිටියි.

ඒ මහතාගේ විවාහ දිවිය ඔහුගේ ජීවිතයට කෙතරම් තදින් බලපා ඇත්ද යන්න “පාලිත පෙරේරා සමඟ සජීව ලෙසින්” කෘතියෙහි තම ආදරණීය බිරිඳට පොත පිළිගන්වා ඇති ආකාරයෙන් පෙනේ. ඒ මහතා එම කෘතිය ඇයට පිළිගන්වා ඇත්තේ පහත පරිදිය.

“ලීලා මගේ සියල්ල ඔබ මැ වෙයි.”

මෙහි විශේෂත්වය වන්නේය පාලිත පෙරේරා මහතාගේ විවාහය සිදු වී ඇත්තේද ඒ මහතාට ජන්ම ඒරාෂ්ටකයේ පළමු අදියර ගත වෙමින් තිබියදී වීමය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.