වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
බණ ගෙදරක සිරිත් විරිත්වල ශාන්ති කර්ම ලක්ෂණ
අපේ මුතුන් මිත්තන්ගේ කල සිට සිහළ බොදුනුවන්ගේ පැවත එන සිරිත් විරිත් මඟින් මානසික සුවයත්, එමගින් ලෝකෝත්තර සැපතක් මෙන්ම ලෞකික සැප සම්පත් උදාකරවන මහඟු පින්කමක් වනුයේ ධර්මදානය හෙවත් බණ දේශනා කිරීමය. ඒවා සංවිධානය කිරීම සහ එහිලා භාවිත කරන සිරිත් විරිත් ද ඉතා වැදගත් වෙයි.
ස්වභාවික ව්‍යයසනයන්ගෙන් මිදීමටත් ලෙඩදුක්වලින් මිදීම පිණිසත් දෙලොවටම වැඩදායී පරිසරයක් ගොඩනඟා ගැනීමට මේවා බෙහෙවින් උපකාර වෙයි. ‘පිරිත්’ සජ්ඣායනාවද, ධර්ම දේශනාමය ස්වරූපයෙන් සමාරම්භවන විශේෂිත වූ ශාන්ති කර්මයක්ද වෙයි.
බණ කීම සහ බණ ඇසීම පුද්ගල චරිතය සංවර්ධනය කර ගැනීමට උපදෙස් සහ අනුශාසනා ලබාගැන්මක්ද වනු ඇත. මෙයට වසර 2600ට පෙර බුදුන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයේ මාගධී භාෂාවෙන් (පාලි) දේශිත ධර්මය සිංහල බසින් ලිහිල්ව තෝරාදීම ධර්ම දේශනය වශයෙන් හැඳින්විය හැකිය. පිරිත වුවද සමූහ වශයෙන් හෝ කේවල වශයෙන් (තනිව) සජ්ඣායනා කිරීමෙන් එම පිරිත් ස්වරවල ශබ්ද තරංග උපයෝගී වීමෙන් ශාන්තිය මෙලොවදීත් පරලොවදීත් ප්‍රතිඵලදායි වනු නිසැකය.
වත්මන්හිදී ද බෞද්ධයෝ නිරන්තරයෙන් බණ ඇසීමට පි‍්‍රය කරති. විද්‍යුත් මාධ්‍ය දියුණුවත්ම පැය 24 පුරාම එම විද්‍යුත් මාධ්‍ය ජාල උපයෝගී කොට ධර්මය පහසුවෙන් ශ්‍රවණය කිරීමට නූතනයේ අවකාශ ලැබී ඇත.
බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටි කාලයේ දේශනා කළේ අකාලික ධර්මයකි. එහෙත් වත්මනෙහි එය විවිධ අයුරින් බණ වර්ග වී ඇත.
බණ, කාලීන බණ, කවිබණ, නට්‍යානුසාර බණ, ආසන දෙකේ බණ, ආසන්න මතක බණ ඇතිකළ සතුන් මිය ගිය පසුව කරන මතක බණ ආදී වශයෙනි.
“බණ නම් බණමය” “සුනාථ ධාරේථ චරාථ ධම්මෙ” බුදුවදනට අනුව ධර්මය ඉතා හොඳින් ශ්‍රවණය කොට ඒ අනුව තම ජීවිතය ගෙන යන තැනැත්තා ධර්මයෙහි නියම ඵල ලබන්නේමය.
“ධම්මෝ හවෙ රක්ඛති ධම්මචාරී” යන බුදු වදන අනුව ගත්තද අපට පෙනීයනුයේ ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරනු ලබන බවයි.
කාලීන බණ බොහොමයක් වත්මන් සමාජයේ තත්ත්වය පිළිබිඹු කරමින් හාස්‍ය රසයද මුසුකොට ඒ ඒ අයගේ ජනපි‍්‍රයතාවය පිණිස සැකසුණු ඒවාවෙයි.
නාට්‍ය බණ 50 - 60 දශකවල ලංකාවේ ගාල්ල ප්‍රදේශයේ පැතිර පැවතුණත් නාට්‍යානුසාරයෙන් ධර්ම දේශනය පසුකාලීනව කෙමෙන් අවසන් විය. එය හරියට මුහුදෙන් නැගුණ උදම් රළක් සේ මතුව පසුකාලීනව මැකී යන්නට විය.
කවිබණ යනු කාව්‍යානුසාරයෙන් ධර්ම දේශනාවයි. මෙහිදී උපයෝගී වන්නේ කවිපදවල අලංකාරය මත ලෝලනයට සිත් යොමුවීමයි. ධර්මයට වඩා කවි රසයට නැඹුරු වීමක් මේ තුළ අන්තර්ගත වෙයි. කිසියම් පුද්ගල කොටසක් කවිබණවලට මිහිරි රසය නිසා ශ්‍රවණයට ඇලුම් කරයි. එහි වින්දනයක් ගෙන දුන්නද බෞද්ධ දර්ශනයේ දාර්ශනික පැත්ත පෙන්නුම් කිරීමක් නොවීය.
ආසන දෙකේ බණ - ස්වාමීන් වහන්සේලා දෙනමක් ලවා මේ බණ දේශනා පවත්වනු ලබයි. මෙහිදී එක් භික්ෂූන් වහන්සේ නමක් පාලියෙන් එන ධර්ම පාඨය කියවනු ලබයි. තවත් භික්ෂූන් වහන්සේ නමක් එය සිංහල බසින් තෝරයි.
ලංකාවේ විවිධ පළාත්වල මේ ධර්ම දේශනා සන්ධ්‍යාභාගයෙන් ඇරඹී පසුවදා උදෑසන දක්වා පැවැත්වෙයි. මෙහිදී හොඳින් සකස් කරන ලද ධර්ම මණ්ඩපයක් තුළ ධර්ම දෙශනාව හෝරා ගණනාවක්ම සිදු කරනු ලබයි. ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේ දෙනමට විටින් විට ගිලන්පස සකසා දෙන අතර ශ්‍රවණය කරන අයටද රසකැවිලි තේ ආදිය විටින්විට වත්කර එළිවෙනතෙක්ම සංග්‍රහ කරනු ලබයි.
රෑ පහන් වනතුරු එක දිගට ධර්ම දේශනය පැවැත්වෙයි. මෙහි සුවිශේෂී සිරිතක්ව පවතිනුයේ ධර්ම දේශනය අවසානයේ දී ධර්ම මණ්ඩපය ඉදිරියෙහි ළිපක් බැඳ උණු, උණු කැවුම් උයා, උණු කැවුම් කිහිපයක් තම්බා දේශක භික්ෂූන් වහන්සේ දෙනමගේ දෙපා තැවීම සිදු කිරීමයි. එය ඈත අතීතයේ සිටම පැවත එන චාරිත්‍රයකි.
එක දිගට අලුයම දක්වා නිදිවැරීම, එක ඉරියව්වකින් සිටීමට සිදුවීම නිසා තඩිස්සි වූ දෙපතුල්වල ඉදිමුම් ගති සහ වේදනාවන් සුවවීම මේ කැවුම් තම්බා තැබීම මඟින් සිදුවෙයි.
අනික කැවුම් තුවාල ආදියට තබා බැඳීමෙන් ඒවා ඉක්මණින් සුව වේ. අතීතයේ සංග්‍රාමයන් පැවති කල කැවුම් පොට්ටනියක් ද යුද්ධ බිමට රැගෙන ගියේ වෛද්‍ය ප්‍රතිකාරයක් ලෙසම ය. ඒ එමඟින් තුවාල ඉතා ඉක්මණින් සුවවන බව හෙළ වෙදකමේ සඳහන් වන බැවිනි.
මතක බණ - කෙනෙකු මිය යාමෙන් පසු ඔහු හෝ ඇය සිහිකර පින් අනුමෝදන් කිරීම සඳහා නිවෙස්වල (මළගිය ප්‍රාණකාරයා පදිංචිව සිටි නිවසේ) සතියෙන්, ඇතැම් පළාත්වල සති දෙකෙන්ද, තුන් මාසයකින් ද වර්ෂයක් ගතවීමෙන්ද මේ පින්කම පවත්වනු ලබයි.
මිය ගිය තැනැත්තාට පින් අනුමෝදන් කරවීමේ දී ඥාති පිරිස පැන්වඩා පින් අනුමෝදන් කරවීමත්, ඔහු හෝ ඇය පරිහරණය කළ කොට්ට, මෙට්ට පැදුරු ඇඳ ඇතිරිලි පවිත්‍රකොට පසුදා සාංඝික දානමය පින්කමේ දී පූජා කිරීමත් ලංකාවේ ඇතැම් පළාත්වල තවමත් සිදු කෙරෙයි.
යොදාගත් දින ධර්ම දේශනයට පෙර, ගෙවල් සෝදා, පිරිසුදු කර මිදුලෙහි ගොක් අත්තක් වියා පැලක් සකසා එහි පහන් දැල්වීම සිදු කරයි. බොහෝ තැන්වල මේ චාරිත්‍රය ඉටුකරනු දක්නට ලැබෙයි.
තවත් සමහර පළාත්වල මියගිය අය වෙනුවෙන් එදින රැයේ බත් සහ කැවිලි ආදියෙන් යුතු තටුවක් තැබීම සිදු කෙරෙයි. මියගිය අය වඩාත් කැමැති ව්‍යාංජන සහ කැවිලි බොහෝ දුරට මේ සඳහා භාවිත කරනු ලබයි.
චිරාගත සම්ප්‍රදායානුකූලව බණ පින්කම අවසානයේ දී පිරිකර සියල්ලන් ලවා අත ගස්වා දේශකයාණන් වහන්සේට ධර්ම පූජාවක් වශයෙන් පූජා කරයි.
ධනවතුන්ගේ නිවෙස්වල සහ පන්සල්, දේවාලවල ඇති කරනු ලබන අලි ඇතුන්, කිරි දෙනුන් මිය ගිය විටද මතක බණ කියා සාංඝික දන් දී පින් අනුමෝදන් කරවීමේ පැරණි චාරිත්‍රයක් අද ද ශේෂව ඇත.
මෙය සතා මිය ගොස් දින හතකින්ද තුන් මසකින්ද කරනු ලබයි. එහෙත් වර්ෂ පූර්ණ පින්කම කරන බව නම් දක්නට නොලැබෙයි.
ලංකාවේ ඇතැම් ප්‍රදේශවල පුණු පොහොය දිනවල විවිධ ජාතක කතා, වෙස්සන්තර ජාතකය, පූජාවලියේ පොතක් ගෙන අකුරු හොඳින් කියවිය හැකි ප්‍රඥාවන්ත වැඩිහිටි අයකු විසින් අටසිල් සමාදන්ව සිටින අනික් පිරිසට ඇසෙන සේ හඬනඟා බණ දේශනා කිරීම ග්‍රාමීය පළාත්වල අදද දක්නට ඇත.
මරණාසන්න බණ යනු යමෙකු අසනීපව ජීවිතය ගොඩ නැඟීමට නොහැකි තත්ත්වයට පත්වූ විටකදී එම පුද්ගලයාගේ පරලොව සුබසිද්ධිය සඳහා කරවන පින්කමක් ලෙස හඳුන්වා දිය හැකිය. මරණාසන්න ලෙඩාගේ සුවදුක් බැලීමට පැමිණි ස්වාමීන්වහන්සේ නමක් ලවා ශාන්ති කර්මයක් ලෙස සලකා බණ ටිකක් කියා කෙටි පිරිත් සජ්ඣායනාවක් ද පවත්වා ලෙඩාගේ අතෙහි පිරිත් නූලක් බැඳීමද සිදු කරයි.
එය සුවිශේෂ වනුයේ තව හෝරා කිහිපයකින් ජීවිතය හැරදමා යන පුද්ගලයකුට වුවද දිවි පෙවෙතේ අවසානයේදී පරලොවට යහපතක් සිදුකරවීමටයි. මෙහිදී බොහෝ දුරට අට පිරිකරක් හෝ සෙසු පිරිකරක් මරණාසන්න ලෙඩාගේ අතගස්වා ධර්ම දේශනා කළ හිමියන්ට පූජා කිරීමද සිදු කරයි.
ජීව මතක වස්ත්‍ර පූජාවද සිදුකරනුයේ ජීවත්ව සිටින කාලය තුළම ඔහු හෝ ඇය දැනුවත්වම මේ පින්කම සිදුකරලීමේ අපේක්ෂාවෙනි. ඉදින් අවසන් මොහොතේ ජවන සිත් පහළවීමේ දී මේ පින්කමද අරමුණු වී යහපත් තැනක පුනරුත්පත්තිය සිදුවීමට වුවද අවකාශ ඇති බැවිනි.
ගොක්කොළ පහන් පැල් සැකසීම, ධර්ම දේශනාවට පැමිණෙන හිමියන්ගේ දෙපා පැන්වලින් නැහැවීම ගොක්කොළ පාපිස්සක් විවීම, ධර්ම දේශනයක් පවත්වන බව අන් අයට ආරාධනා කිරීමට ගොක් අතු සැරසිලි බණ ගෙයි ප්‍රවේශයේ එල්ලීම අදත් දක්නට ලැබෙන චාරිත්‍ර වාරිත්‍ර අතර වෙයි.
ඡ්‍යොතිෂ විද්‍යාවේ නැකත් සහ ශුභ මුහුර්ථ යොදාගනුවේ කිසියම් කර්තව්‍යයක් අතිමහත්ව සාර්ථක කර ගැනීමේ උත්තුංග පරමාර්ථ ඉටුකර ගැනීමේ අභිලාෂයෙනි.
එය තවදුරටත් ආලෝකමත් කිරීමට ධර්ම දානමය පින්කම මහෝපකාරී වනු නොවනුමානය. එය හා සැබඳුනු සිරිත් විරිත් පද්ධතියක්ද චිරාගත සම්ප්‍රදායානුකූලව යෙදී පවතියි.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ අවිශ්කාර්
ඡ්‍යොතිෂ ශිරෝමණී
ආචාර්ය විජය සමරසිංහ