වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
ජීවිතයට ජය ගෙනෙන ජය පිරිත
බෞද්ධ සමාජය තුළ පිරිතට හිමි වී ඇති ස්ථානය පිළිබඳ සැලකිරීමේ දී එහි තේමාව කුමක්දැයි විමසා බැලීම වඩාත් සුදුසුය. පිරිත සඳහා මූලික වූ තේමා දෙකක් ඇති බව පෙනෙයි. ඉන් පළමු වැන්න සච්ච සංකල්පයයි. දෙවැන්න මෙත්ත සංකල්පයයි. සත්‍යය ප්‍රකාශ කිරීමෙන් හා මෛත්‍රිය පැතිරවීමෙන් බලයක් ජනිත කර එයින් ආරක්ෂාව තහවුරු කිරීම පිරිතකින් සිදු වේ.
පිරිත; බෞද්ධ ජීවිතය හා සබැඳී වැදගත් පූජා චාරිත්‍ර විදියක් බවට පත්ව ඇත. පාලියෙහි ‘පරිත්ත’ යනුවෙන් ද සංස්කෘතයෙන් පරිත්‍ර හෝ පරිත්‍රාණ යනුවෙනු ද භාවිත වන මේ වචනය ව්‍යවහාර සිංහලයෙහි පිරිත යනුවෙන් භාවිතයට පැමිණ තිබේ. පරිත්ත හෝ පරිත්‍ර යන වචනවලින් ස්වල්පය යන අර්ථයත්, ආරක්ෂාව යන අර්ථයත් ඉදිරිපත් වන අතර, පිරිත යන සිංහල ස්වරූපයට පත්වීමේ දී ආරක්ෂාව යන අර්ථය මූලික වී තිබේ.
මෙහිදී අප වටහාගත යුතු අනෙක් කරුණ නම් පිරිත හුදු ශබ්දය මතම පිහිටා ඇති දෙයක් නොවන බව යි. බොහෝ දෙනා පිරිතට කැමැති වන්නේ එහි ශබ්ද මාධුර්යය නිසා ය. එහෙත් එය පිරිතෙහි අංශයක් පමණකි. පිරිත් සජ්ඣායනයකදී එහි රිද්මය ශබ්ද තරංග හරහා ගමන් කරනු ලබන අතර එහිදී භාවිත ස්වර රටාව පුද්ගල සන්තානය තුළ ඇති කලබලකාරී නොසන්සුන් මානසිකත්වය ක්‍රමයෙන් සංසිඳුවාලයි. පාලි ශබ්ද රටාව මඟින් මානසික සහන ඇතිකරලීමේ සමත්කම් පිරිත සතුව පවතින බව පැවසේ. එහෙයින් පිරිත සතු පාලි ශබ්ද රටාව බැහැර කිරීම කිසිසේත් කළ නොහැකි දෙයකි. එහෙත් ශබ්ද මාධූර්යය පමණක්ම පිරිතකින් බලාපොරොත්තු නොවිය යුතුය.
පිරිත් දේශනාවල අර්ථය ද ශබ්දය තරමටම හෝ ඊටත් වඩා හෝ වැදගත් වෙයි. එම නිසා පාලි ශබ්ද රටාවත් එහි අර්ථයත් යන දෙකම පිරිත තුළ වැදගත් ස්ථානයක් ගනියි. සැබැවින්ම පිරිත් වශයෙන් දේශනා කෙරෙන්නේ තථාගත ශ්‍රී සද්ධර්මයෙන් තෝරාගත් සූත්‍ර දේශනාය. එහෙයින් ඒවායේ අර්ථය මෙනෙහි කිරීමෙන් ධම්මනිජ්ක්‍ෂානඛන්තිය ඇති වෙයි. (අත්‍ථං උපපරිඣතො ධම්ම නිජඣනං බලන්ති) එනම් ධර්මය පිළිබඳ වැටහීමක් ඇතිවේ. එය අනුපූර්ව ප්‍රතිපදාවට අයත් වන්නක් බව කීටාගිරි සූත්‍රයේ දැක්වේ. එබැවින් පිරිතේ අර්ථය ඉතා වැගත්වන බව කිව යුතුය.
ඒ අතුරෙන් ජය පිරිත, යතිවරුන් විසින් ඉතාමත් යහපත්, සුබ ගණ පිහිටුවා සකස් වූ සූත්‍රයකි. එහි ඇත්තේ සුබ පරමාර්ථයි. මෙහි චේතනාවන් පාරිශුද්ධ වේ. ඒ නිසා මෙය නිතර ශ්‍රවණය වන විට, සජ්ඣායනා කරන විට ඉතා යහපත් ප්‍රතිඵල අත් වේ. මෙය පසු කාලීනව පිරිත් පොතට එක් කළ පිරිතක් වශයෙන් හැඳීන්විය හකිය. ජය පිරිතේ තුනුරුවන් ගුණ සමඟ මහානුභාව සම්පන්න ආශීර්වාදාත්මක බලයක් අන්තර්ගත වේ. මේ පිරිත සිංහල, බෞද්ධ ජන හදවත්වලට මුල් බැසගත් වෙනත් පිරිතක් ලෙස දැක්විය හැකිය. ඊට හේතුව වන්නේ මේ පිරිතෙන් බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණ සමුදායම කියැවෙන නිසාය. ජය පිරිත හා එහි සිංහල අර්ථය මෙසේ දැක්විය හැකිය.
“සිරි ධිති මති තේජෝ ජයසිද්ධි මහිද්ධි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්ථස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස
ද්වත්තිංස මහා පුරිසලක්ඛණානුභාවේන අසිත්‍යනුව්‍යඤ්ජන ලක්ඛණානුභාවේන අට්ඨුත්තරසතමංගල ලක්ඛණානුභාවේන, ජබ්බණ්ණ රංස්‍යනුභාවේන, කෙතුමාලානුභාවේන, දසපාරමිතානුභාවේන, දසඋප පාරමිතානුභාවේන, දසපරමත්ථපාරමිතානුභාවේන, සීලසමාධිපඤ්ඤානුභාවේන බුද්ධානුභාවේන, ධම්මානුභාවේන, සංඝානුභාවේන, තේජානුභාවේන, ඉධ්‍යානුභාවේන, බලානුභාවේන, ඤෙය්‍යධම්මානුභාවේන , චතුරාසිතිසහස්ස ධම්මක්ඛන්ධානුභාවේන, නවලොකුත්තරධම්මානුභාවේන අට්ඨංගිකමග්ගානුභාවේන, අට්ඨසමාපත්ත්‍යානුභාවේන, ජලභිඤ්ඤානුභාවේන, මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛානුභාවේන, සබ්බපාරමිතානුභාවේන, රතනත්තය සරණානුභාවේන, මයිහං (තුය්හං) සබ්බරෝග සෝක උපද්දව දුක්ඛදෝමනස්සුපායාසා විනස්සන්තු. සබ්බසංකප්පා මයිහං (තුය්හං) සමිජ්ඣන්තු දීඝායුකෝ හෝතු සතවස්සජීවේන සමංගිකෝ හෝතු සබ්බදා
ආකාස පබ්බත වනභූමිතටාකගංගා මහාසමුද්ද ආරක්ඛක දේවතා සදා මයිහේ (තුම්හෙ) අනුරක්ඛන්තු සබ්බබුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බසංඝානුභාවේන බුද්ධරතනං ධම්මරතනං සංඝරතනං තින්නං රතනානං ආනුභාවේන චතුරාසීති සහස්සධම්මක්ඛන්ධානුභාවේන, පිටකත්තයානුභාවේන, ජිනසාවකානුභාවේන, සබ්බේ මේ(තේ) රෝගා, සබ්බේ මේ(තේ) භයා, සබ්බේ මේ(තේ) අන්තරායා, සබ්බේ මේ(තේ) උපද්දවා, සබ්බේ මේ(තේ) දුන්නිමිත්තා, සබ්බේ මේ(තේ) අවමංගලා විනස්සන්තු.
ආයුවඩ්ධකෝ, ධනවඩ්ඪකෝ, සිරිවඩ්ඪකෝ, යසවඩ්ඪකෝ, බලවඩ්ඪකෝ, වණ්ණවඩ්ඪකෝ, සුඛවඩ්ඪකෝ, හෝතු සබ්බදා.
දුක්ඛරෝගභයාවේරා –
සෝකා සබ්බේ උපද්දවා
අනේකා අන්තරායාපි –
විනස්සන්තූ ච තේජසා
ජය සිද්ධි ධනං ලාභං –
සොත්ථිභාග්‍යං සුඛං බලං
සිරි ආයුච වණ්ණො ච –
භොගං චුද්ධි ච යසවා
සත්වස්සා ච ආයු ච –
ජීවසිද්ධිභවන්තු තේ..”
මෙහි සිංහල අර්ථය ලෙස, සෞභාග්‍යයෙන් ද, ධෛර්යයෙන් ද, නුවනින් හා තේජසින් ද, උප ලක්ෂිත මහා සෘද්ධිමත් වූ, මහා ගුණයෙන් හා අප්‍රමාණ වූ, පුඤ්ඤමහිමයෙන් යුක්ත වූ, අනතුරු වැළැක්මෙහි සමත් වූ, භාග්‍යවත් අරහත් සම්බුදු රජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂලක්ඛණානුභාවයෙන් ද, අසූවක් අනුකුඩා ලකුණුවල ආනුභාවයෙන් ද, සවනක් රැස් ආනුභාවයෙන් ද, කේතුමාලානුභාවයෙන් ද, දසපාරමිතානුභාවයෙන් ද, දසඋපපාරමතානුභාවයෙන් ද, දසපරමත්ථපාරමිතානුභාවයෙන් ද, සීල සමාධි ප්‍රඤ්ඤා යන ත්‍රිවිධ ශික්ෂාවන්ගේ ආනුභාවයෙන් ද, බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන්ගේ ආනුභාවයෙන් ද, තේජසින් සෘද්ධියෙන් බලයෙන් දතයුතු දේ දැන වදාරණ ලද්දා වූ, ආනුභාවයෙන් ද, අසූහාරදහසක් ධර්මස්කන්ධයේ ආනුභාවයෙන් ද, නව ලොවුතුරු දහමේ ආනුභාවයෙන් ද, ආර්‍ය අෂ්ටාංගික මාර්ගයේ ආනුභාවයෙන් ද, අෂ්ටසමාපත්‍යාණුභාවයෙන් ද, සය අභිඤ්ඤාවන්ගේ ආනුභාවයෙන් ද, මෙත්තා කරුණා මුදිතා උපෙක්ෂා යන සිවු බඹ විහරණයන්ගේ ආනුභාවයෙන් ද, සියලු පාරමිතාවන්ගේ ආනුභාවයෙන් ද, තෙරුවන්ගේ ආනුභාවයෙන් ද, මාගේ (ඔබගේ) සියලු රෝග ශෝක දුරුවේවා. කරදර දුක් දොම්නස් සිත් වේදනා වැනසේවා. මාගේ (ඔබගේ) සියලු කල්පනාවන් ඉටුවේවා. සියක් වසක් කල් ජීවත් වීමට ශක්තිය ලැබේවා. එලෙසින් ම සියලු කල්හි, අහස, පර්වත, වණ බිම්, තටාක, ගංගා හා මහසයුර, අරක්ගත් දෙවියෝ මගේ (ඔබගේ) රැකවරණය සලසත්වා. සියලු බුදුවරුන්ගේ, සියලු ධර්මයේ, සියලු සංඝයාගේ ආනුභාවයෙන්, බුද්ධ ධම්ම හා සංඝ යන තෙරුවන්ගේ ආනුභාවයෙන්, අසූහාරදහසක් ධර්මස්කන්ධයේ ආනුභාවයෙන්, ත්‍රිපිටකයේ ආනුභාවයෙන්, බුද්ධශ්‍රාවකයාණන්වහන්සේලාගේ ආනුභාවයෙන්, මාගේ (ඔබගේ) සියලු රෝග, සියලු භය, සියලු අනතුරු, සියලු කරදර, සියලු අශුභ නිවිති, සියලු සිත් නොපිනවන දේ වැනසේවා, දුරුවේවා. තව ද සියලු කල්හි, ආයුෂෙන්, ධනයෙන්, යසසෙන්, බලයෙන් ද, වර්ණයෙන් හා සැපයෙන් වර්ධනය වේවා. දුක්, රෝග, භය, වෛර, ශෝක ද, කරදර සමනය වේවා. නොයෙක් අනතුරු අන්තරාවන් ඒ තේජසෙන් විනාස වෙත්වා. ජයසිද්ධියද, ධන ලාභයද, සුව සම්පත, වාසනාවද, සැප බල හා ආයුෂ ද, වර්ණ සම්පත ද, භෝග වර්ණයද, කීර්තිය ද, සිය වසකට අධික කාලයක් ආයු වැඩීමද, දේව සිද්ධියද, මා හට (ඔබට) ලැබේවා. සියලු උවදුරු දුරු කෙරේවා. නසා රෝ දුක් බියකරු, නොවේවා අනතුරක් කිසිදා, දිනේවා ආයුෂ දිගු... යනුවෙන් සර්ව සුබසිද්ධිය ප්‍රාර්ථනා කරයි.
ලෞකික ජීවිතයේ අදෘශ්‍යමාන යම් අයහපත් බලවේගයකින් මිනිසාට හානි පැමිණෙන්නේ නම් ඉන් මි¼දීමට මෙය මහත් ශක්තියක් වනු ඇත. මෛත්‍රිය, කරුණාව යුක්ත සත්‍ය වචන නැවත නැවත දේශනා කරවා ගැනීමත්, එය අධිෂ්ඨානයක් ලෙස සිදු කිරීමත් ආදි පිරිත හා සබැඳි ක්‍රියා මුල් බුදු දහමට එකඟ වූ කාරණා සමූහයකි.
ජය පිරිතේ විශේෂ ලක්ෂණයක් නම් එය තමන්ට සජ්ඣායනා කිරීම තුළින් ද අනුන්ට ආශිර්වාද කොට ප්‍රාර්ථනා කිරිම තුළින් ද එම ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වීමයි.
ත්‍රිපිටකයේ ගුණ ඇතුළත්වන ජය පිරිතේ ඇත්තේ ලෝක සත්‍යයේ මහානුභාව සම්පන්න ගුණයි. එම නිසා මෙය ඇසෙන මිනිසුන්ට යථාර්ථයක් අවබෝධ වේ. එලෙස ම මෙය නිර්වාණගාමී මාර්ගයටත් සමීප දෙයකි. ජය පිරිත යම් ආයතනයක, ප්‍රදේශයක ශ්‍රවණය කරන්නට ඉඩ සලසනවා නම්, එය කළ යුතු ක්‍රමවේදයක් පවතී. එය උදේ සිට රාත්‍රිය වන තුරු කරදරයක් නොවන ආකාරයට ශ්‍රවණයට ඉඩ සැලැස්විය යුතු ය. එලෙසින්ම මෙය තමන් විසින් සජ්ඣායනා කිරීමේදී තුණුරුවන් වැඳ ,දෙවියන්ට ආරාධනා කොට එය සිදු කළ යුතු ය. ධර්මානුකූලව ජීවත්වන ලොකු කුඩා සෑමට මේ සත්‍ය වචනවල බලයෙන් පිහිටක් හා යහපතක් සැලසීම නිරන්තරයෙන් සිදු වේ.
උපදෙස්
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු සහකාර කථිකාචාර්ය, ගාල්ල අක්මීමන මහා විද්‍යාලයේ ධර්මාචාර්ය, රාජකීය පණ්ඩිත, දර්ශනපති,
බෙන්ගමුවේ ඉන්දරතන හිමි