වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
මරුට බිය නැති ගිවිසුමක්
මෙතෙක් කතාව
බරපතළ ලෙස දුප්පත්ව සිටින තරුණයෙකු වූ රූපට් ඔරේන්ජ් නැමැත්තා සමාජය තුළ මහත් කුතුහලයක් ඇති කරන්නට සමත් දිවි පෙවෙතකට හිමිකම් කියූවෙකි. එක්තරා ලේඛකයකු විසින් ඔහුගේ ජීවිත ඉරණම පිළිබඳ කතාන්තරය සොයා ගනී, දැන් ගලා යන්නේ එම කතාවය. එම කතාවට අනුව කෲර ඥාතිවරියක නිසා පාරට වැටුණු තරුණයකු වූ රූපට් ඔරේන්ජ් හට දිනක් රාත්‍රීකාලයේ ඇවිදීමට යද්දී අද්භූත මහලු මිනිසකු හමුවෙයි. මහලු මිනිසා තරුණයා කැටුව අවන්හලකට ගොඩවෙයි. එහිදී තරුණයාට ප්‍රකෝටිපතියකු වී මේ දුප්පත් දිවි පෙවෙතින් මිදීමේ අපූරු ක්‍රමවේදයක් මහල්ලා විසින් පැහැදිලි කරයි.
“ඔබේ අවිනිශ්චිතභාවය දුරුකරගන්න නම් දැන් මා කියන දෙසට ඇහුම් කන් දෙන්න. වසර පහකින් එළැඹෙන මරණය පිළිබඳ කාරණය අපි දැනට පැත්තකින් තියමු. මේ හෝටලයේ දොරටුවෙන් පිට වූ මොහොතේ පටන් මරණය වෙත ඔබව කැඳවාගෙන යා හැකි කාරණා කොතරම් තිබිය හැකි දැයි කල්පනා කර බලන්න. ඔබ කුසගින්න නිසාම සමහර විටක ඇද වැටී මිය යන්නට පුළුවන් වගේම ශීතලෙන් ආරක්ෂා වීමට නොහැකිව ඔබේ අවසානය සිදු වෙන්නටත් පුළුවන්. තවත් විටෙක දුප්පතුන් සඳහා වෙන් කළ රෝහලක කාගේවත් පිළිසරණක් නැතිව ඔබ මිය යා හැකි වගේම තව සුළු වේලාවකින් මහපාරේ දී අස් රියක් ඔබට යටකර දමා ගමන් කරන්නත් පුළුවන්.
එහෙත් මා ඔබට ඉදිරිපත් කළ යෝජනාවේ ඇති වැදගත්ම සහතිකය වන්නේ පස් අවුරුද්දක් මුළුල්ලේ ඉතා නීරෝගී පුද්ගලයෙකු ලෙසද සියලු සැප සම්පත් අනුභව කරමින් ද කල්ගත කිරීමට ඔබට අවස්ථාවක් උදා වීමයි”
මහල්ලා පැහැදිලි කරනු ලැබුවේ තවත් ෂැම්පේන් වඩියක් සිය කුසලානයට වත් කර ගනිමිනි. දැනටමත් මහලු මිනිසාගේ යෝජනාව පිළිගන්නට සිත හදා ගනිමින් සිටි රූපට්ගේ පිළිතුර වූයේ යම් විදියකින් තමා විසින් මේ යෝජනාව පිළිගනු ලැබුවහොත් ඉඳහිට රෝගී වීමට වුවද අකමැත්තක් නොමැති බවය. ඉන් පෙනී ගියේ සිය කාලය ගෙවී යාමත් සමඟ පැමිණෙන මරණය අරභයා තරුණයා තුළ එක්වරම බියක් ඇති වූ බවය. ඉක්බිති යළිත් තම වීදුරුව ෂැම්පේන්වලින් පුරවාගත් රූපට් සෙමින් සෙමින් එය තොලගාන්නට පටන් ගත්තේ මෙකී යෝජනාව අරබයා අවසාන වරටද හුදෙකලා විශ්ලේෂණයක යෙදුණේය. ඒ අවස්ථාවේදී තමා මුහුණ දී සිටින මේ අභියෝගය අරබයා අපූර්ව සංකේත රූපයක් කවියකු ද වූ ඔහුගේ සිතෙහි පහළ වූයේය.
එනම් තමා ඉතා අලංකෘත සංස්කෘතික උළෙලක් සහිත කඳුකර ගම්මානයක වීදියක් දිගේ ඇවිද යන්නෙකු ලෙසය. වීදිය ඔස්සේ ඇවිද යන හෙතෙම ඒ දෙපස ඇති විවිධාකාර විචිත්‍ර ශ්‍රී විභූතියෙන් මෝහනයට පත්ව සිටින ආකාරයත්, පසුපසින් ඇති කඳුයායට ඉහළින් රොක් වී ඇති කළු වලා හා අසනිපාතයක් සමඟ පැමිණිය හැකි අකුණු හා නායයෑම් ආදිය ගැන අවධානයෙන් තොරව සිටන බවත්ය.
එය එසේම වූයේය. ඔහු යළිත් කල්පනා කරන්නට වූයේ තමා ධනවතකු වූ පසු කළ යුත්තේ කුමන කටයුතු ද යන්න පිළිබඳව පමණි. ඉතා වටිනා මුතු මැණික් හා දියමන්තිද, අති සුඛෝපභෝගී මන්දිරද, ලොව පුරා දුර්ලභ සියලුම වයින් වර්ගද ඒ ලැයිස්තුවටම අයත් වූ අතර, ප්‍රියංකර කාමාශක්ත සිනාවෙන් යුත් රූමත් කාන්තාවන්ද මෙකී මන්දිරවල අනිවාර්ය අංගයක් විය යුතු බව ඔහුගේ සිතෙහි පැළපදියම් වු එක් කරුණක් වූයේය. මේ කාරණා එකින් එක පෙළ ගැසෙද්දී සෙමෙන් සෙමෙන් ඉහළට මතුව ආවේ මේතාක් තමන්ව පෙළමින් සිටි සතුරන් පිළිබඳවය. බළලෙකුට කොටු වූ මීයකු සමඟ සෙල්ලම් කරන්නාක් මෙන් මොවුන්ගෙන් ක්‍රමිකව පළිගත යුතුය යන්න රූපට්ගේ අභිලාෂය වූයේය. එහෙත් සතුරන් පිළිබඳව අවදි වූ මේ සංකල්පනාවන් එක්වරම බිහිසුණු චේතනාවක් බවට පත්වූයේ තමාව මේ ආගාධයට ඇද දැමූ අනිස් නැමැති ගැහැනිය සිහිපත් වීම හේතුකොට ගෙනය.
ඒ සිතිවිල්ලත් සමඟ ඉද්ද ගැසුවාක් සේ පුටුවෙන් නැඟිටගත් හෙතෙම මුළු අවන්හලම දෙදරවන තරම් හඬින් “මේ අහන්න ” යයි පවසමින් මහලු පුද්ගලයා දෙසට සිය දබරඟිල්ල දිගු කළේය. මේ අනපේක්ෂිත හඬ තැලීම හේතුකොට ගෙන සුරාවේ ගැලී සිටි සියලු දෙනාගේ නෙත් ඔහු දෙසට යොමු වුණ මුත්, එය තමන්ට කෙරුණු ආමන්ත්‍රණයක් නොවන බව වටහා ගත් සැණින් යළිත් සුපුරුදු මධුවිත ආස්වාදනයෙහි ලා නිරත වුහ.
“මේ අහන්න මහත්මයා!”
ඔහු මහලු පුද්ගලයා ඇමතුවේ මේ පුවතට ඔහු සවන් දිය යුතුම බව අවධාරණය කරවමිනි.
“අද ඔබගේ නොමඳ අනුකම්පාවට ලක් වූ මා මේ තත්වයට ඇද දැමුවේ මේ නගරයේ වෙසෙන එක්තරා දුෂ්ඨ ගැහැනියක් විසින්. මාව මහ පොළවටම ඇද දැමු ඒ යක්ෂණිය මාව දුවිල්ලෙන් වසා දැමුවා පමණක් නොවෙයි, යළිත් නැඟිටිය නොහැකි ලෙස දෙපයින්ම පාගා දැමුවා. මේ නගරයේ දුක්ඛිතම ගැහැනිය ලෙස ඇයව වීදියක් පාසා ඇදගෙන යාමේ අවස්ථාව මා වෙත ලබා දෙන්න. හොඳයි මහත්මයා, තවත් කතා කළ යුතු නැහැ. පරළෝ සැපත් මගේ දෙමව්පියන්ගේ නාමයෙන් මා මේ ගනුදෙනුවට කැමැත්ත පළ කරනවා.”
තිරසාර හඬින් පැවසූ රූපට් ඔරේන්ජ් තම සුරත මහලු පුද්ගලයා වෙත දිගු කළේය.
තමාගේ කෙට්ටු දැතින් රූපට්ගේ සුරත අල්ලා ගත් මහලු පුද්ගලයා රූපට්ගේ දෑස් වෙත එක එල්ලේ සිය දෙනෙත යොමු කර මද සිනහවක් නැඟීය. තෘප්තිමත් ප්රබෝධයකින් මහලු මිනිසාගේ දෙඅත් අසාමාන්‍ය ලෙස උණුසුම්ව පැවතියද එම දෙඅත අසාමාන්‍ය ලෙස ශීතලව තිබූ බව ඒ මොහොතේ රූපට් ඔරේන්ජ්ට වැටහී ගියේ නැත.
මේ ආකාරයට අද්භූත අමුත්තාගෙන් සමුගත් රූපට් ඔරේන්ජ් සිය නවාතැන බලා පිය නැඟුවේ ගීතයක් සිවුරුහම් බාමිනි. කිසිම ගිවිසුම් පත්‍රිකාවක අත්සන් නොකළ නමුදු මේ අහම්බෙන් හමු වූ පුද්ගලයාත් සමඟ ඇති කරගන්නා වූ ගිවිසුම පිළිබඳව අල්පමාත්‍ර වූද සැකයක් රූපට් තුළ ඇති නොවීමම එහි වු අද්භූත භයංකාරත්වයට දෙස් දෙන්නක් වූයේය. එහෙත් රූපට් තුළ ඒ මොහොතේ ඇති වී තිබුණේ එකම එක හැඟීමක් පමණක්ම වූයේය. එය නම් දුප්පත් අසරණයෙකු ලෙස ගත කරන මේ අවසාන පැය කීපය ගෙවා දමන්නේ කොයි ආකාරයෙන්ද යන්න පිළිබඳවය. එළැඹෙන හෙට දිනයේ සන්ධ්‍යා භාගය වන විට බොහෝ පුද්ගලයන් තමා වටා ඒකරාශී වන බව ඔහුට ඉතාමත් පැහැදිලිව හැඟී ගියේය. ඔහුගේ හදවත පුරා නැඟී ආ සන්තෝෂය කොතෙක් ද යත් එක් වරම මහමඟ දිගේ දිව යන්නට පටන් ගත් හෙතෙම එක්වරම උමතු වූවෙකු මෙන් සිනහාසෙන්නටද පටන් ගත්තේය.
මේ අසාමාන්‍ය විකට චර්යාව හේතුකොටගෙන කෝපයට පත් පොලිස් නිලධාරියකු ඔහුට තර්ජනය කොට එතැනින් ඔබ්බට එළවා දැමූවද, රූපට් තුළ ඔහු කෙරෙහි කෝපයක් හෝ තමා කෙරෙහි කිසිදු ආත්මානුකම්පාවක් ඇති නොවීය. මන්දයත් හෙට දින මධ්‍යාහ්නය වන විට අවශ්‍ය නම් නිව්යෝර්ක් නගරයේ හතර කොන දක්වාම කැමැති විදියට සිනා නඟමින් ඇවිද යාමේ බලයක් නිසැකවම තමාට හිමි වන බව ඔහු අතැඹුලක් සේ දැනසිටි බැවිනි. තට්ටු නිවාසයේ දොරටුව අසල සුපුරුදු පරිදි අන්ධකාරයේ ගිලී පැවතුණු අතර, ලියුම් බෙදන්නකු නිවාස පන්තියට අයත් තැපැල් පෙට්ටි අසල ගැවසෙන ආකාරය ඔහුගේ නෙත ගැටිණි.
රූපට්ව දුටු තැපැල් කරුවා හඬනගා ප්‍රශ්න කළේ මේ තට්ටු නිවාසයේ ජීවත්වන රූපට් ඔරේන්ජ් නම් තැනැත්තකු පිළිබඳව ඔහු දන්නේද යන්නය.
“මම තමයි රූපට් ඔරේන්ජ්” යි පැවසු හෙතෙම තැපැල්කරුවා වෙත තම සුරත යොමු කළේ ඔහු අත වූ ලිපිය ලබා ගනු පිණිසය. එහෙත් තැපැල්කරු තමා අත වූ ලිපිය ඔහුට දුන්නේ නැත.
(මතු සම්බන්ධයි)
වින්සන්ට් ඕ සුලිවන්ගේ කෙටි කතාවක් ඇසුරිනි