වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
ඔබට වඩා ශක්තිමත් කෙනකු දකින්නට නම්...
උපන්දා සිට මිය යන තුරුම අපට විවිධාකාරයේ සංසිද්ධීන් මුණ ගැසෙයි. ඒවා සතුටුදායක පමණක් නොවේ. ප්‍රශ්න, ගැටලු ද විය හැකිය. එහිදී ඒවාට අප කෙලෙස මුහුණ දිය යුතුද? මගහැර යනවද? නැතිනම් තවත් උත්සාහ කර බලනවාද? යන්න තීරණය කිරීම ඉතා වැදගත්ය. බොහෝ විට එමඟින් අපගේ ජීවිතය පවා වෙනස්ම පැතිකඩකට හැරීමට හැකිය.
අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ එවැනි ඕනෑම අවස්ථාවකදී බුදුගුණ මෙනෙහි කරන්න. නැතිනම් ධර්මය සිහි කරන්න. නැතිනම් සඟරුවන සිහි කරන ලෙසයි. එය මේ ගාථාවෙන් ගම්‍ය වේ.
“ඒවං බුද්‌ධං සරන්‌තානං
ධම්‌මං සංඝඤ්‌ච භික්ඛවෝ
භයං වා ඡම්‌භිතත්‌තං වා
ලෝමහංසෝවා නහිස්සතීතී.” අප කෙතරම් ශක්තිමත් ද යන වග අපට වැටහීමට ඇත්තෙන්ම යම්කිසි දෙයක් සිදුවිය යුතුමය. නැහැ , බැහැ කියා පසුනොබැස සියලුදේම අභියෝගයක් ලෙස භාරගෙන කටයුතු කරන්නේ නම් අපට සාර්ථක අනාගතයක් නිර්මාණය වනු ඇත. පහත සෙන් කතාව තුළින් ඒ පිළිබඳව වෙනස්ම විවරණයක් ලබාගත හැකිය.
“ ජපානයේ එක්තරා ගමක කුඹුරු වැඩ තමාගේ ජීවනෝපාය බවට පත්කරගත් මැදි වියේ ගොවියකු සිටියේය. තමාගේ වගා කන්නයට අවශ්‍ය නිසි හිරුඑළිය හා වර්ෂාපතනය නොලැබීම නිසා ඔහුගේ සිත පීඩාකාරී බවින් යුක්ත විය. බොහෝ සේ කම්පාවට පත් වූ ගොවියා තමාගේ දුක හා කම්පාව පැවසීමට තෝරාගන්නා ලද්දේ එම ප්‍රදේශයේ භාවනානුයෝගීව වැඩ වාසය කරන මහලු සෙන් භික්ෂුවක්ය. එහිදී ගොවියා විසින් තමාට මුහුණ දීමට සිදුවූ විපත පිළිබඳව මෙලෙස පැවසුවේය.
“අනේ සෙන් භික්ෂුතුමනි මාගේ කුඹුරු අස්වැන්න මේ කන්නයේ හොඳටම අඩුවෙලා. මම වියදම් කළ මුදලවත් මට එකතු කරගන්නට බැරි තරමට අස්වැන්න නැති තරම්. මෙයට හේතුව තමයි හරියට අව්වක් වැස්සක් අවශ්‍ය කාලයේ දී කුඹුරට නොලැබීම. අනේ ගුරුතුමනි මට මේ කාරණාව සඳහා උපකාර කරන්න.”
“දරුවෝ, මේ දේවල් පාලනය කරන්නේ මම නෙමෙයි. සොබාදහම් දෙවියන් විසින් තමයි මේ සියල්ල සිදු කරන්නේ. මම භාවනානුයෝගීව සිටින විට ඒ දෙවියන්ට ඔබගේ දුක කියලා ඔබට ඒ දෙවියන් සමඟ කතා කිරීමට අවස්ථාවක් ලබා දෙන්නම්”
එවිට ගොවියා “මට ඒ අවස්ථාව ලබා දෙනවාට ගුරුතුමාට ස්තූතිවන්ත වෙනවා. මම දෙවියන් එක්ක කතා කරලා එතකොට දෙවියන්ට කියන්නම් වැස්සයි අව්වයි කොයි කාලෙටද හරියටම අවශ්‍ය කියලා.”
දින කිහිපයක් ගෙවුණු පසු දෙවියන් සමඟ කතා කිරීමට ගොවියාට අවස්ථාවක් ලබා දීමට භාවනානුයෝගීව සිටි සෙන් භික්ෂුවට හැකිවිය. එහිදී ගොවියා විසින් තමන්ගේ කාලගුණ ගැටලු තමාට අවශ්‍ය පරිදි සකසා දෙන ලෙස සොබාදහම් දෙවියන්ගෙන් ඉල්ලා සිටියේය. දෙවෙනි කන්නයේදී කුඹුරට අවශ්‍ය පරිදි අවශ්‍ය කාලයේදී වර්ෂාවත් හිරු එලියත් ලබා ගැනීමට හැකි විය. ඔහුට අවශ්‍ය පරිදි ඔහු හිරු එළියත් වැස්සත් ලබා ගත්තේය. ගොවියා වී පැළ අවශ්‍ය ප්‍රමාණයට ඉතාම පහසුවෙන් වර්ධනය කර ගැනීමට පහසු පරිදි දෙවියන් සමඟ කතා කරමින් කටයුතු කර ගත්තේය. ඔහු ඉතා සතුටින් කාලය ගත කළේ කුඹුරේ අලංකාරවත් බව ද විඳීමිනි. කාලය කෙමෙන් ගත විය. දැන් වගාව බැලූ බැල්මට ඉතා සරුවට වැඩි ඇත. වී කරල් ද රන්වන් පාටින් දිලිසෙයි. ගම්වැසියන් ද ‘දැන් නම් කිසිම ගැටලුවක් නැතැයි කියන්නට විය. අස්වැන්න නෙලීමට කාලය උදා විය. ගොවියා ඊට අවශ්‍ය ආම්පන්න හා වැඩට පිරිස ද සමඟ ගොයම් කැපීමට සූදානම් විය.
එහෙත් පුදුමයකි. රන් පාටට දිලිසෙමින් තිබූ කුඹුරෙහි වී කරල් ඇත්තෙන්ම පැසුණු වී කරල් නොවීය. සියල්ලම බොල් වූ වී කරල් විය. මේ කන්නයේ කුඹුරු යායේ එකම එක සහල් ඇටයක්වත් භාවිතයට ගන්නට නම් ගොවියාට අවස්ථාවක් නැත. තමන් යෙදූ මුදල්, මහන්සිය, කාලය අන් සියල්ලම නිකරුණේම අපතේ ගිය බව ගොවියාට තේරුම් ගියේය. ගොවියාට ඇතිවූයේ පුදුම වේදනාවක් මුසු කලකිරීමක් හා කම්පනයකි. ඒ කම්පනය හිතේ තද කරගෙන ගොවියා නැවතත් භාවනානුයෝගීව වැඩ වාසය කරන සෙන් භික්ෂුව මුණ ගැසී සිදු වූ විපත පිළිබඳ හඬා වැටෙමින් කතා කළේය. “අනේ භික්ෂුවනි ඒ බලධාරී දෙවියන් වහන්සේ සමඟ කතා කිරීමට ඔබ වහන්සේ මට අවස්ථාවක් සලසා දුන්නා. මම උන්වහන්සේ සමඟත් කතාකර මගේ කුඹුරට අවශ්‍ය සියලු දේවල් ලබාගත්තා. අස්වැන්න ඉතා සරුසාරව පෙනුණා. රන් වන් පාටට කුඹුරු යායම දිස්වුණා. ඒත් තිබුණේ බොල් වුණු වී කරල් නේ හාමුදුරුවනේ. මට එය අදහා ගත නොහැකි වුණා. මෙච්චර හොඳට අවශ්‍ය සියලුම දේ කුඹුරට ලබා දීලත් කිසිම අඩුවක් නොකරත් මෙලෙස වුණේ කොහොමද? ස්වාමීනි”
මඳ වෙලාවක් කල්පනා කර මේ සෙන් භික්ෂුන්වහන්සේ ගොවියාට කරුණු පහදන්නට වූහ.
“ගොවි මහත්තයෝ කලින් කන්නයේ නම් අස්වැන්න ටිකක් හරි තිබුණ නේද? මේ කන්නයේ එහෙමවත් නැහැ නේද? මේ කාරණා තුල පුදුම ධර්මතාවක් හැංගිලා තිබෙනවා. මේ සර්වබලධාරි දෙවියන් විසින් අව්ව වැස්ස නිසියාකාරයට ලබා නොදෙන්නේද එක්තරා හේතුවකටයි. එහෙත් ඔබ මේ ශාකයට ඉල්ලන ඉල්ලන ආකාරයට වැස්ස ලබා දුන්න නිසා සිදුවුණේ මේ ශාකයට තමා පෝෂණය කරමින් ඉතාමත් ප්‍රබල ලෙස වර්ධනය වීමට අවශ්‍යතාවක් නොමැති කරවීමයි. ශාකයට ඕන විදියට ඔබ ජලය දුන්නා. හිරු එළිය දුන්නා. පොහොර දුන්නා. මේ ශාකයට තනිවම ගොඩනැගීමට අවශ්‍යතාවයක් වුණේම නැහැ. ශාකයට කිසිදු අභියෝගයකට මුහුණ දීමට සිදුවුණෙත් නැහැ. අවශ්‍ය පරිදි ඔක්කොම ලැබුණා. ශාකය දන්නෙත් නැහැ ඇයි මෙලෙස ශාකය වර්ධනය විය යුත්තේ කියා. අවසානයේ ලද දෙයින් මේ ශාකය ඉතාමත් නිදහසේ වර්ධනය වීමට පටන් ගත්තා. සරලවම මහත්තයෝ මේ වී ගහට කිසිම අභියෝගයක් මුණ ගැහෙන්නට ඔබතුමා අවස්ථාව දීලම නැහැ. මොකද එලෙස නොවන්නට ඔබ සියලුම දේවල් මේ ගොයම් ගසට ලබා දුන්නා. ඉතින් අභියෝග නැති වුණාම නිර්මාණය වන්නේ හිස් බොල් වී කරල් ගොවී මහත්තයෝ”
මෙය කියවන ඔබ අතරින් ඕනෑම කෙනෙක් මේ අවස්ථාවේදී පවා ජීවිතයේ කටුකබව, බලාපොරොත්තු රහිතබව, පීඩාවන්ගෙන් පිරුණු බව සහිත අවස්ථාවක් ගත කරනවා විය හැකිය. තවමත් ඒවාට පිළිතුරක් පේන මානයක නොමැති විය හැකිය. ජීවිතයට එන්නෙම මෙවැනි අභියෝග, ප්‍රශ්නම වීමට පුළුවන. කලකිරී හිත බිඳී තිබිය හැකිය. තමා තමන්ගෙන් ම ප්‍රශ්න කරනවා විය හැකිය. ඇත්තෙන්ම මේ සියල්ලම එක්තරා සැලසුමකි. ඔබ ප්‍රබලයෙකු කිරීමට යත්න දරන මෙය විශාල සැලසුමකි. ජීවිතයේ ඕනෑම සෘණාත්මක හෝ ධනාත්මක කාරණාවක් අප තුළට පැමිණෙන්නේ අප තව තවත් ශක්තිමත් කරන්නටයි. ජීවිතයේ ප්‍රශ්න ගැටලු නැතිනම් ජීවිතය බොල් වී කරලකට සමානය. කෙතරම් ප්‍රශ්න ගැටලු පැමිණිය ද තමාට තමා සමඟ සටන් කිරීමට හැකි නම් එය අගනේය. එය ඔබ අභියෝගයක් ලෙස භාරගෙන කටයුතු කර බලන්න, ඔබ තරම් ශක්තිවන්තයෙක් මින් පෙර ඔබට හමු නොවී ඇති බව ඔබටම වැටහෙනු ඇත.