වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නෑ
ඔබ යම්කිසි සිදුවීමක් කිරීමට පෙර හා කර අවසන් වූ පසුවත් එය පිළිබඳව අනවශ්‍ය ලෙස සිතා හිතින් වද වන කෙනෙක්ද ?
“අයියෝ අපරාදේ මීට වැඩිය හිතන්න තිබ්බා, මෙහෙම කළා නම් හොඳයි, දැන් මොනවා වෙයිද දන්නෑ” යනුවෙන් නිරන්තරයෙන්ම පසුතැවීමක් ඔබටත් තිබේ ද? එයට හේතුව ඕනෑවට වඩා සිතීමයි. එවිට සතුට සැනසීම ජීවිතයෙන් පලායයි.
මනෝවිද්‍යාවට අනුව නම් අපගේ මනසේ සිතුවිලි ගලාගෙන ඒම නැතිනම් සිතීම යන කාරණය අපට නැවැත්විය නොහැකිය. එය ශරීරයේ අනෙකුත් අවයව ක්‍රියාකාරීත්වය හා සමානය. අපගේ මනසට පැමිණෙන සිතුවිලි අප එදිනෙදා ජීවිතයේ දකින, අසන, විඳින දේට සමාන්තරව ඇතිවේ. ඕනෑවට වඩා සිතීම නැතිනම් over thinking යම් යම් කාරණා පිළිබඳ වුවමනාවට වඩා සිතමින් ඒ තුළ බැඳී සිටීමය. තාක්ෂණයේ දියුණුවත්, කාර්‍යබහුල වීමත්, සමීපතමයන්ගෙන් දුරස් වීමත් නිසා මේ කාරණාව සමාජය තුළ බහුලව ම ඇති බව මනෝ විද්‍යාඥයන් විසින් පවසා ඇත. සමහර අවස්ථාවල එය සියදිවි නසා ගැනීම දක්වාම දුරදිග යෑමට ද හැකියාව ඇත. ඒ එක් එක් පුද්ගලයාගේ දරාගැනීමේ මට්ටම අනුවය.
කඤ්චනක්ඛන්ධ ජාතකයේ ඕනෑවට වඩා සිතීමේ කාරණාව මනාවට නිරූපණය වෙයි. එකල සැවැත් නුවර වැඩ සිටි අප බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට සැවැත් නුවරම වාසය කරන ලද තරුණයෙකු පැමිණියේය. භාග්‍යවතුන් වහන්සේගේ බණ දේශනාවන් ඇසූ ඔහු මහත් වූ ආශාවෙන් හා ශ්‍රද්ධාවෙන් මහණ විය.
කාලයත් සමගම ශීලය ගැන භික්ෂූන් වහන්සේ විසින් අති ගැඹුරු ධර්ම කොටස් පහදා දුන් පසු එය සම්බන්ධ ඕනෑවට වඩා සිතමින්, එනම් බොහෝ ශීලයන් රැකීමට තමන්ට අපහසු වේ යැයි මනස වියවුල් වී පසුගාමීව මහණදම් හැර යාමට තරම් සිතුවිලිවලින් පිරිණි. එහිදී සම්මා සම්බුදු රජාණන්වහන්සේ හමු වී ඒ පිළිබඳව විමසා කාරණු පැහැදිලි කර ගැනීමෙන් පසු අනවශ්‍ය බිය තුරන් කර ගැනීමට හැකි විය. සත්‍ය වටහා ගැනීමට හැකිවිය.
එබැවින් බුද්ධ කාලයේ හෝ වර්තමානයේ කියා වෙනසක් නොමැත. අනවශ්‍ය ලෙස ඕනෑවට වඩා සිතා තමාගේම ජීවිතයේ සතුට මගහැර ගැනීමට කාරණා ඕනෑතරම්‍ය. සෘණාත්මක බව අවම කරගෙන ධනාත්මකව සිතමින් හා අත්හැරීම ප්‍රගුණ කිරීමෙන් ගැටලු රාශියකට පිළිතුරු ලබාගත හැකි බව බුද්ධ දේශනාවන්හි අඩංගු වේ.
ඒ පිළිබඳවම සෙන් කතාවක් මඟින් ද පැහැදිලි කර ගැනීමට හැකිවනු ඇත.
“කඳු සහ දිය පාරවල් අතර පිහිටි කුඩා ලස්සන ගම්මානයක එක්තරා බුද්ධිමත් , නිර්මාණශීලීත්වයෙන් හෙබි තරුණියක් ජීවත් විය. ඇය සෑම විටම ඇයගේ ජීවිතය සම්බන්ධ සෑම අංශයක් දිහාම නැවත නැවතත් සිතා බැලීමට පුරුදුව සිටියේ අනවශ්‍ය ආතතියකින් හා බියකිනි. දුක, සතුට ලෙස බෙදීමකින් තොරව ඕනෑම කරුණක් ඕනෑවට වඩා සිතීමට ඇය පුරුදු වී සිටියාය . මෙනිසා ඇයගේ මනසට කිසිදු නිදහසක් නොවීය. වැඩිහිටියන් ඇයට උපදෙස් දුන්නේ එම ප්‍රදේශයේ සිටින වැඩිමහලු සෙන් භික්ෂුව හමුවුවහොත් ඇයගේ ප්‍රශ්නවලට හරවත් පිළිතුරක් ලබාගත හැකිය යනුවෙනි.
දිනක් මේ තරුණිය උන්වහන්සේ හමුවීමට ආරාමයට ගොස් මෙලෙස පැවසුවාය. “ස්වාමීන් වහන්ස , මම මේ ජීවිතයේ ගන්න හැම තීරණයක් ගැනම ප්‍රශ්නයක් ගැනම හොඳක් නරකක් ගැනම නිතර නිතර සිතනවා. සිතෙනවා නෙවෙයි නිකම්ම සිතෙනවා. කල්පනා කරනවා. ඒක මට දැන් පුරුද්දට ගිහින්. හරිම අමාරුයි. ඔළුවේ ගලක් බැදගත්තා වගේ . මේ විශාල බරින් මම කොහොමද නිදහස් වෙන්නේ?”
එවිට සෙන් භික්ෂූන්වහන්සේ මඳ සිනහවක් පාමින්, “දරුවෝ එන්නකෝ මාත් සමඟ මේ ඉදිරියෙන් පෙනෙන මනරම් උයන වෙත යාමට” යැයි පැවසූහ.
බොහෝ සුවඳැති මල් යායක් හා උණ පඳුරු රාශියක් මැදින් උන්වහන්සේගේ දේශනාගාරය වෙත ගිය පසු වයසක සෙන් භික්ෂුව කළේ උතුරන වතුර ටිකක් ගෙන එයින් තේ සෑදීම ඇරඹීමයි. ඒ අතර සෙන් භික්ෂුව මෙලෙස තරුණියගෙන් අසයි.
“ඔබට මේ පැහෙන තේ කෝප්පය පෙනෙනවද?”
“එහෙමයි ස්වාමීනී.”
“මේ පැහෙන තේ කෝප්පය වගේ තමයි දරුවා ඔබේ මනසත්. ඔය ඕනෑවට වඩා සිතෙන දේවල් ,හොඳ ,නරක ප්‍රශ්න, ගැටලු සියල්ලම මේ කෝප්පයේ පැහෙන වතුර වගේ ඔබේ මනසේ දරාගෙන ඉන්නේ. මනස පිරිලා. එනිසා මුලින්ම ඔබ මේ කෝපප්ය හිස් කරගන්න පුරුදු වෙන්න” තරුණියට මේ පැවසූ දෑ එතරම් වැටහුණේ නැති බව දැනගත් සෙන් භික්ෂුව එය තවත් සරල ලෙස පැවසීමට විය.
“ඔබේ ජීවිතයට පැමිණෙන සෑම සිතිවිල්ලක්ම දිය පහරක මතුපිට පාවෙන කොළයක් මෙන් සිතන්න. කොළය දිය පහර දිගේ ගලාගෙන යන්නේ එක තැනකවත් නොනැවතෙමින්. ජලය යන දිශාවේ දිගටම ගමන් කරනවා. සැහැල්ලුයි. ජීවිතයේ මේ මනසට පැමිණෙන සිතිවිලි සමඟ ඇලෙන්නට යන්න එපා. මේ සිතුවිලි කාලයත් සමඟ නැතිවී යනවා. හැමදාම රැඳෙන්නේ නෑ. ඕනෑවට වඩා සිතෙන්නට කලින් ජල පහර දිගේ ගලා යන කොළයක් ලෙස එම සිතුවිල්ලටද මනසේ නොරැඳී යන්නට දෙන්න. ඕනෑවට වඩා සිතනවා කියන්නෙ අනවශ්‍ය භාණ්ඩ ටිකක් වගේ අනවශ්‍ය සිතුවිලි ටිකක් ඔබේ හිතේ තියාගෙන ඔලුව බර කරගෙන ඉන්නවා වගේ වැඩක්. ඕනෑම දෙයක් ඕනෑවට වඩා සිතන්නට එපා.කිසිවක ඇලෙන්නට එපා. අත්හැරීමේ කලාව ඉගෙන ගන්න. ජීවිතයට ගලාගෙන යන්න ඉඩ හරින්න.”
සියල්ල ඉතා හොඳීන් අසා සිටි තරුණිය හොඳ හුස්මක් ගෙන ඇගේ සිතේ ඇති සිතිවිලි ගොන්න මේ දිය පහර දිගේ කොළ ගලා යන්නා මෙන් ඉවතට පාවී යන ආකාරය මනසින් මෙනෙහි කළාය. ඒ පුරුද්ද ඇය ටිකෙන් ටික දියුණු කරන්නට පටන් ගත්තාය. කාලයත් සමඟ ඇයගේ මනසට නිදහසක් සැහැල්ලුවක් දැනුනේය.
ඇත්තෙන්ම අපි මේ ජීවත් වන ලෝකයේ කිසි දෙයක් නිත්‍ය නැත. ඇතිවී නැතිවී යන සුළුය. අපද එලෙසමය . එහිදී අප යම් යම් කාරණා නිසා සිත වෙහෙසකරමින් දුක් පීඩා විඳ ගත යුතුද ? ජීවත්වීමට ඇති සුළු කාලය සතුටින් ගත කිරීමට අප වග බලා ගත යුතුය .ඇලීමෙන් තොර ජීවිතය සැනසුමක් ගෙන දෙයි.
ආනාපානසති භාවනාව වැඩීම, මෛත්‍රිය, මුදිතාව මෙනෙහි කිරීම මේ ගැටලුවලට ඇති හොඳම විසඳුමකි.